පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා වසරකට මිලියන 3500ක් ආහාර හා නිල ඇඳුම් සඳහා 2024දී රුපියල් විසිතුන්කෝටි අසූලක්ෂ අනූහතර දහස් හත්සිය හතළිස් හතරක මුදලක් වැය කරලා 2025දී ආහාර පාන සඳහා රුපියල් විසිහතර කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක්25 හිටපු කථානායකගේ 2023-2024 යන වසර දෙකේ ඉන්…

පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා වසරකට මිලියන 3500ක්

ආහාර හා නිල ඇඳුම් සඳහා 2024දී රුපියල් විසිතුන්කෝටි අසූලක්ෂ අනූහතර දහස් හත්සිය හතළිස් හතරක මුදලක් වැය කරලා

2025දී ආහාර පාන සඳහා රුපියල් විසිහතර කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක්25

හිටපු කථානායකගේ 2023-2024 යන වසර දෙකේ ඉන්ධන වියදම කෝටි හතරහමාර පනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලැබෙන වරදාන වරප්‍රසාද පිළිබඳ පසුගිය කාලයේ රට්ටුන් අතර දැඩි කථාබහක් නිර්මාණය වී තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල පිළිබඳ මූලික ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කොට ඇත. ඊට අමතරව එය ස්ථාවර නියෝග හා 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත මගින් තවදුරටත් තහවුරු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති පහසුකම් අතර මන්ත්‍රී වැටුප හැරුණුවිට රැස්වීම් දීමනා, කාරක සභා දීමනා, කාර්යාල දීමනා, නිවාස පහසුකම්, සංග්‍රහ දීමනා, රියදුරු දීමනා, ඉන්ධන, දුරකථන, දීමනා මෙන්ම රක්ෂණ හා වෛද්‍ය පහසුකම්, නිදහස් තැපැල් පහසුකම් හා පුද්ගලික කාර්ය මණ්ඩල පහසුකම් ද අයත් ය.

මෙවන් පසුබිමක් තුළ අද වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා ආහාර පාන මිලදී ගැනීමට වැයකොට ඇති මුදල පිළිබඳවද සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන්ගේ ආහාර පාන සඳහා වැයකරණ මුදල සහ ඉන්ධන දීමනාව පිළිබඳ මාතෘකාව යළිත් වතාවක් කරළියට පැමිණ තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යෑම සඳහා වාර්ෂිකව මහා භාණ්ඩාගාරය විසින් සාමාන්‍යයෙන් රුපියල් මිලියන 3500කට ආසන්න මුදලක් වෙන්කරනු ලබයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකිර්ණයෙහි ස්ථාපිත කිරීම සිදු වූයේ 1982 වර්ෂයේ දිය. ඒ සමගම ආහාර පාන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ නව දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිත විය. මේ සඳහා මෙරට තරු පංතියේ හෝටල් ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පුම්‍රඛ පෙළේ හෝටලයක් වූ ලංකා ඔබරෝයි හෝටලයේ තාක්ෂණික හා වෘත්තියමය ප්‍රවීනත්ව මෙහෙයුම් හා උපදේශකත්වය ලැබි තිබිණි. මෙකී දෙපාර්තමේන්තුව ආහාර භෝජනාගාර හා ගෘහ පාලන අධ්‍යක්ෂකවරයකු යටතේ ක්‍රියාත්මක වන්නකි. එම භෝජනාගාරය තුළ පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වෙන සාමාන්‍ය දිනකදී පුද්ගලයන් 1200ක් සඳහා සහ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයන්හි දී පුද්ගලයන් 1800ක් සඳහා සාමාන්‍යයෙන් දිවා ආහාරය සැකසීම සිදු වන්නකි.

එහි භෝජනාගාර 04ක් ක්‍රියාත්මක ය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය සඳහා එක් භෝජනාගාරයක් ද, විධායක කාර්ය මණ්ඩලය සඳහා තවත් එක් භෝජනාගාරයක් ද ක්‍රියාත්මක වේ. මන්ත්‍රීවරුන් සඳහා එක් භෝජනාගාරයක් ක්‍රියාත්මක වන අතර මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සඳහා අනික් භෝජනාගාරය ක්‍රියාත්මක වේ. මෙම ඒකකයේ සේවය කරණු ලබන කාර්ය මණ්ඩලය 234කි.

පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන්ගේ ආහාර පාන සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැයකරණ බවට රට්ටුන් තුළ මතයක් නිර්මාණය වී තිබුණ ද සැබෑ තත්ත්වය එය නොවේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිකුත්කරනු ලැබූ විශේෂ විගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා 2020,2021, හා 2022 යන වර්ෂවලදී ආහාර පාන හා නිල ඇඳුම් සඳහා වියදම් වෙන්කර නොතිබිණි. 2024 වර්ෂයේ දී ආහාර පාන සඳහා පමණක් වියදම් කොට තිබිණි.

ඒ අනුව 2023 හා 2024 යන වර්ෂවල මන්ත්‍රීවරුන්ගේ ආහාර පාන සඳහා වැයකොට ඇති මුදල රුපියල් අනූපන්ලක්ෂ අනූතුන්දහස් පන්සිය අනූවකි. (9,593,590)2024 වර්ෂයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආහාර හා නිල ඇඳුම් සඳහා වැයකොට ඇති මුදල රුපියල් විසිතුන්කෝටි අසූලක්‍ෂ අනූහතරදහස් හත්සිය හතළිස් හතරකි. (238,094,744) මින් වැඩිම මුදලක් වැයකොට ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා වන අතර එම මුදල රුපියල් විසි දෙකෝටි, අනූලක්ෂ විසිනමදහස් නමසිය හතළිස් අටකි. (229,029,948) පසුගිය වසර පහ තුළ පමණක් (2020-2024) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පමණක් ආහාර හා නිල ඇඳුම් සඳහා වැයකොට ඇති මුදල රුපියල් අසූහත්කෝටි තිස්හත් ලක්ෂ තුන්දහස් දෙසිය අනූහතරකි. (873.703,294) කථානායකවරයාගේ කාර්යාලය සඳහා පමණක් මේ සඳහා රුපියල් එක්කෝටි හත්ලක්ෂ දාසය දහස් නමසිය හැත්තැ නමයක, මුදලක් (10,716,979) වැයකොට තිබිණි.

මෙකී දත්ත විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ ආහාර හා නිල ඇඳුම් සඳහා වැඩිම මුදලක් වැයකොට ඇත්තේ පාර්ලිමෙන්තු කාර්ය මණ්ඩලය සඳහා බව ය.

2025 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ආහාර පාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිහතර කෝටි,හැත්තෑ ලක්ෂ, හතළිස් නමදහස් දහයයි ශත අටක මුදලක් වැයකොට තිබිණි. (247,049,010.08) පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා වැයකොට ඇති මුදල රුපියල් විසි දෙලක්ෂ හැත්තැ අටදහස් හත්සිය පනස් අටයි ශත දොළහකි. (2,278,758.12) මෙම මුදල් වැයකොට ඇත්තේ මන්ත්‍රීවරුන්ට ආහාර පාන සැපයීම සඳහා පමණක් නොව පාර්ලිමෙන්තු කාර්ය මණ්ඩලය, කථානායක කාර්යාලය, මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සඳහා බව ද සඳහන් කළ යුතුව ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් සීමාවක් පනවා නොතිබිණි. මේ නිසා කථානායකවරයාට තමන්ට රිසිසේ ඉන්ධන භාවිත කිරීමට අවස්ථාව සැලසී තිබුණේ ය. මෙරට 09 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වූයේ මහින්ද යාපා අබේවර්ධන මහතාය. කථානායකවරයා සඳහා 2023 හා 2024 යන වර්ෂයන් වෙනුවෙන් ඉන්ධන සඳහා රුපියල් හාරකෝටි පනස් හතර ලක්ෂ දහඅටදහස් නමසිය හැටනමයක (45,418,969) මුදලක් වැයකොට ඇති බව අනාවරණය වී ඇත. ඒ ජාතික විගණන කාර්යාලය විසින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සිදුකරණු ලැබූ විශේෂ විගණන වාර්තාවකට අනුවය.

ඒ අනුව 09 වැනි පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයා වන මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් 2023 වර්ෂයේ දී මාසිකව ඉන්ධන ලිටර් 3,994ක් භාවිත කොට තිබිණි. ඒ අනුව 2023 වර්ෂය සඳහා ඉන්ධන සඳහා වැයකොට ඇති මුදල රුපියල් එක්කෝටි අනූතුන් ලක්ෂ හැත්තැතුන්දහස් අටසිය හැටහයකි. (19,373,866) 2024 වර්ෂයේ දී මාසිකව ඉන්ධන ලිටර් 6,122ක් භාවිත කොට තිබූ අතර වාර්ෂිකව ඉන්ධන සඳහා රුපියල් දෙකෝටි හැටලක්ෂ, හතළිස් පන්දහස් එකසිය තුනක (26,045,103) මුදලක් වැයකොට තිබිණි.

ඉන්ධන ලීටර් ප්‍රමාණයේ වර්ධනය 2022 වර්ෂයට සාපේක්‍ෂව 2023 වර්ෂයේ දී සියයට 66කි. 2022 වර්ෂයට සාපේක්‍ෂව 2024 වර්ෂයේ දී ඉන්ධන ලීටර් ප්‍රමාණයේ වර්ධනය සියයට 155කි. මෙය ප්‍රශ්න ගත වර්ධනයක් බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. ඒ අනුව අනෙකුත් වර්ෂයන්ට සාපේක්ෂව මෙම වර්ෂයන් දෙකෙහිදී ඉන්ධන භාවිතය සැළකිය යුතු ප්‍රමාණයක වැඩිවිමක් බව ද විගණනය මගින් පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ කථානායකවරයාගේ කාර්ය මණ්ඩලය වෙත ඉන්ධන හා වාහන වෙන් කිරීමේ දී රජය විසින් වරින්වර නිකුත් කරණු ලබන නිතිරිති රෙගුලාසීන්ට යටත්ව සිමාවන් ඇති කිරීමට ගත හැකි පියවර පිළිබඳ අවාධනය යොමු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ අනුව පැහැදිලි වන්නේ හිටපු කථානායකවරයා විසින් අසීමිතව ඉන්ධන භාවිත කොට ඇති බවය. 2008 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කැබිනට් නොවන අමාත්‍ය ධුරයකට සමාන කොට තිබිණි. ඒ අනුව නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් සඳහා හිමි වරප්‍රසාද හා දිමනා ලබා දී තිබිණි. නියෝජ්‍ය කථානායකවරයාට ද සිමාරහිත ලෙස ඉන්ධන භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබිණි. හිටපු පාලයකයන් විසින් තමන්ගේ වරදාන හා වරප්‍රසාද වැඩි කරගත්තේ ඒ අයුරිනි.

නියෝජ්‍ය කථානායකවරයාට නිල වශයෙන් හිමි වාහන සංඛ්‍යාව තුනකි. කෙසේ වුව ද 2023 හා 2024 යන වර්ෂයන් වලදී නියෝජ්‍ය කථානායකවරයාට හිමි නිල වාහන තුනට අමතරව පුද්ගලික මෝටර් රථයක් සඳහා රුපියල් අසූපන් ලක්ෂ හතළිස් පන්දහස් තිස්හතක (8,545,037) මුදලක් ඉන්ධන සඳහා වැයකොට තිබිණි. ඉන්ධන ලීටර් 21,299ක් ලබා ගෙන තිබූ අතර එය නියෝජ්‍ය කථානායකට හිමි ඉන්ධන දිමනාව ඉක්මවා ලබා ගෙන ඇති බව අනාවරණය වි ඇත. ඒ විතරක් නොව 2023 වර්ෂයේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් නිල වාහන 03 සඳහා ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණය ඉක්මවා ඉන්ධන ලිටර් 6,980ක් ලබා ගෙන තිබිණි. 2024 වර්ෂයේ දී නිල වාහන 02 සඳහා නියමිත සිමාව ඉක්මවා ලබා ගෙන ඇති ඉන්ධන ලීටර් ප්‍රමාණය 1515කි.

නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුර නියෝජ්‍ය කථානායක ධුරයට පහළ තනතුරකි. එහෙත් එකී තනතුර සඳහා නිල වාහන 03ක් වෙන්කර සිමාරහිත ලෙස ඉන්ධන ලබා දීමට කටයුතු කර තිබූ අතර මෙම තනතුර සඳහා හිමි වාහන සංඛ්‍යාව හෝ ඉන්ධන ප්‍රමාණය තීරණය කර නොතිබිණි. හිටපු පාලකයන් විසින් තමන්ගේ වරිගයා වෙනුවෙන් වරප්‍රසාද බෙදාගනු ලැබුවේ ද ඒ අයුරිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නොව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ද නීතිරිති වෙනස් කරමින් අසිමිත ලෙස වරදාන වරප්‍රසාද භුක්තිවිඳ තිබිණි.

පාර්ලිමේන්තු මහ ලේකම් විසින් 2022 හා 2023 යන වර්ෂයන්හිදී නිල වාහන දෙකක් එකවර භාවිතා කොට තිබිණි. එම නිල වාහන දෙකෙහිම ධාවන සටහන් පත්‍ර පරීක්ෂාවේදී එකම කාලපරිච්ජේදය සඳහා එම නිල වාහන දෙකම ධාවනය සඳහා ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇත. පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුර සඳහා සීමාරහිතව ඉන්ධන භාවිත කිරීමට අවස්ථාව සලසාදී තිබිණි.

2022 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් රුපියල් හැට ලක්ෂ හැත්තැ එක්දහස් හයසිය අනූවක් වටිනා ඉන්ධන ලීටර් 15,063ක් භාවිත කොට තිබිණි. ඉන්ධන ලීටර් ප්‍රමාණයේ වාර්ෂික සාමාන්‍ය ලීටර් 5,021කි. වර්තමානයේ රාජ්‍ය සේවයේ ඉහළම ඉන්ධන ප්‍රමාණයක් හිමිවන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට වන අතර අමාත්‍යාංශ ලේකම් තනතුර හා සැසඳීමේ දී පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ඉන්ධන ලීටර් 2,300ක් වැඩිපුර ලබා ගෙන ඇති බව හෙළිවී ඇත. කොටින්ම කිවහොත් පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලය සඳහා හිමිවී ඇත්තේ අනිකුත් රාජ්‍ය සේවකයන්ට හිමි නොවන වරප්‍රසාද හා වරදාන බව විගණනය මගින් අනාවරණය කොට තිබිණි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා සහකාර මහ ලේකම් තනතුර දරන නිලධාරීන් සඳහා වරප්‍රසාදයක් ලෙස රාජකාරි ගමන් සඳහා සිමාරහිත ලෙස ඉන්ධන ලබා දෙන අතර පුද්ගලික ගමන් සඳහා මාසිකව උපරිම දුර කිලෝමීටර් 1200ක් සඳහා ඉන්ධන භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබිණි. පාර්ලිමේන්තුවේ මෙම නිලධාරීන්ට ලබාදී ඇති වරප්‍රසාදය අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට ලබා දී නොමැති වරප්‍රසාදයකි. වරප්‍රසාදයක් ලෙස ලබා දී ඇති කිලෝමිටර් ගණන ඉක්මවා පුද්ගලික ගමන් සිදුකර ඇති අවස්ථාවන්හිදී පෙර මාසයන්හි ඉතිරිව ඇති කිලෝමීටර් ගණන ද අඩු කළ පසුව ද වැඩිපුර භාවිත කොට තිබුණේ නම් එක් කිලෝමීටරයක් සඳහා අයකොට ඇත්තේ රුපියල් අටක මුදලකි. ඉන්ධන මිල අනුව එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන මුදලකි. කෙසේ වුවද 2022 වර්ෂයේ ජුනි මාසයෙන් පසුව නියමිත සිමාව ඉක්මවා වාහන පුද්ගලිකව භාවිත කළේ නම් වැයවන ඉන්ධන ප්‍රමාණයට අදාළව වෙළෙඳපොළ මිල ගණන් ගැලපීම සිදුකොට තිබිණි.

2016 වර්ෂයේ සිට භාවිත කරණු ලැබූ වාහන පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී සහකාර පාර්ලිමේන්තු මහ ලේකම් (පාලන) සහ සහකාර පාර්ලිමේන්තු ලේකම් (ව්‍යස්ථාදායක කටයුතු) වරින්වර වාහන කිහිපයක් වෙන්කොට දී තිබිණි. එම නිලධාරීන් සඳහා එකම වාහනයක් වෙන්කර දීමකින් තොරව එකම මාසය තුළ වාහන 05ක් වෙන්කොට දී තිබිණි. එමෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය නිවසේ සිට පාර්ලිමේන්තුව දක්වා නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබිණි. ගමනාන්ත 09ක් වෙනුවෙන් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් මේ සඳහා බස්රථ 09ක් යොදවා තිබිණි. 2016 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ මේ සඳහා රජය විසින් දරා ඇති පිරිවැය රුපියල් තිස්තුන් කෝටි, පනස්හය ලක්ෂ, හැටතුන් දහස් දෙසිය පනස් තුනකි. (335,663,253) 2023 හා 2024 යන වර්ෂ සඳහා මේ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 60කි. බස්රථ 09 රියදුරන් හා රිය සහායකයන්ට වැටුප් හා දිමනා ගෙවීම සඳහා වැයකොට ඇති මුදල රුපියල් රුපියල් පනස් අට ලක්ෂ අසූහත් දහසකට අධික මුදලකි.

2005 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා වරින් වර නිකුත්කොට තිබූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ඇතුළු අනිකුත් චක්‍රලේඛ 33ක් ශ්‍රි ලංකා පර්ලිමේන්තුව විසින් අන්තර්ග්‍රහණය කර තිබිණි. ඉන් චක්‍රලේඛ 30ක් පමණ වැටුප් හා දිමනා සම්බන්ධ චක්‍ර ලේඛයන් වි තිබූ බව අනාවරණය වි ඇත. එහෙත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා වියදම් සිමා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් ඉන්ධන සීමා කිරීම වැනි චක්‍රලේඛ අන්තර්ග්‍රහණය කර ගැනීමට ප්‍රමාණවත් අවධානයක් යොමුකොට නොතිබිණි. ඒ විතරක් නොව සියලු රාජ්‍ය නිලධාරීන්ට අනුගත වන ආයතන සංග්‍රහයට අනුගත නොවි වසර 70ක් පමණ පැරණි 1953 අංක 09 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත අනුව කටයුතු කර තිබිණි. පාර්ලිමේන්තුව තුළ සේවය කරනු ලබන රාජ්‍ය නිලධාරීන්ට එක් වරකට වැටුප් වර්ධක එකකට වැඩි ගණනක් ලබාදීමට කටයුතු කර තිබිණි. පාර්ලිමේන්තුවේ සේවය කරණු ලබන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීමේ දී අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමි නොවන විශේෂ වරප්‍රසාදයක් ලබා දී තිබිණි.

2016 වර්ෂයේ සිට 2024 දක්වා කාලය තුළ විදේශ සම්බන්ධතා සහ සන්ධනා කාර්යාලය මගින් මෙහෙය වූ ජාත්‍යන්තර් සංගම් වෙත විදේශ සංචාර 83ක් සඳහා පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනෙකු සහභාගි වී තිබිණි. මේ සඳහා වැයකොට ඇති මුදල රුපියල් පන් කෝටි හැටනම ලක්ෂ, විසිඅටදහස් හාරසිය දාහතරකි. (56,928,414) මෙම නිලධාරීන් විදේශිය පුහුණු වැඩසටහන් සඳහා සහභාගිවීම තුළින් ලබාගත් දැනුම හා අත්දැකීම් සන්නිවේදනය කිරීමේ විදිමත් ක්‍රමවේදයක් නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට තිබිණි. මෙකී විදේශ සංචාර සඳහා මෙම කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 451 දෙනෙකු සහභාගිවී තිබූ අතර ඒ සඳහා රුපියල් විසිකෝටි අසූනම ලක්ෂ තිස් දෙදහස් නමසිය අසූහයක මුදලක් (208,932,986) වැයකොට තිබිණි.

රට්ටුන්ට නොලැබෙන වරප්‍රසාද හා වරදාන රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ අයුරින් හිමි වී තිබේ. ඒ විතරක් නොව පාර්ලිමේන්තුව ද රාජ්‍ය ආයතනයකි. එහෙත් අනිකුත් රාජ්‍ය සේවකයන්ට නොලැබෙන ප්‍රතිලාභ රැසක් පාර්ලිමේන්තු සේවකයන්ට ද ලැබී තිබීම ඇත්ත ය.

ලලිත් චාමින්ද