ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස අවුරුදු 226 ක ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ, සර්වෙයර් ජනරාල් තනතුර ප්‍රථම වතාවට මිනින්දෝරුවරියකට හිමිවී ඇත. රජයේ මිනින්දෝරුවරියක ලෙසට මේ දෙපාර්තමේන්තුවට බැඳී, දශක හතරකට ආසන්න වෘත්තීය අත්දැකීම්වලින් මෙන්ම ඊට අදාළ අධ්‍ය…

ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස අවුරුදු 226 ක ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ, සර්වෙයර් ජනරාල් තනතුර ප්‍රථම වතාවට මිනින්දෝරුවරියකට හිමිවී ඇත. රජයේ මිනින්දෝරුවරියක ලෙසට මේ දෙපාර්තමේන්තුවට බැඳී, දශක හතරකට ආසන්න වෘත්තීය අත්දැකීම්වලින් මෙන්ම ඊට අදාළ අධ්‍යයන සුදුසුකම්වලින් ද සන්නද්ධව මෙම අභියෝගාත්මක තනතුර භාර ගත් ඇය ඕ.ටී.එම්. ඉඳුමිණි තිලකරත්නය. එනිසා මෙම අවස්ථාව විශේෂත්වයක් අත්කර ගන්නේ එම තනතුරට කාන්තාවක් පත්වීමේ ප්‍රවෘත්තිය නිසාම නොව, සුදුස්සාටම සුදුසු තැන ලැබීමේ දුර්ලභ අවස්ථාවක් ද වන හෙයිනි. මෙය එක්තරා අයුරකින් පුරා වෘත්තයක් ලෙස ද සැලකිය යුතු වන්නේ, එහි මැනුම්පති තනතුර මතු නොව මිනින්දෝරු වෘත්තියට පිවිසීම පවා විප්ලවකාරී සංසිද්ධියක් වූ කාලයක භද්‍ර යෞවනියක ලෙස මිනින්දෝරු වෘත්තියෙහි යෙදීමට ඇය ගත් තීරණය මෙම ගමනෙහි ආරම්භය වන හෙයිනි.

මේ 1989 වසරේ ඔක්තෝබර් මස 09 වෙනිදාය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට එදින අලුත් කණ්ඩායමක් බඳවා ගන්නා ලදී. ටී – 18 නමින් හඳුන්වනු ලැබූ මේ කණ්ඩායම තුළට මෙහි කතානායිකාව වන ඉඳුමිණි තිලකරත්න නමැති යෞවනිය ද ඇතුළත් වූවාය.

දියතලාවේ රමණීය භූමි භාගයක පිහිටි මැණුම් සහ සිතියම් ගත කිරීමේ ආයතනය මේ පිරිසගේ ද තක්සලාව වූ අතර, එදා මෙදාතුර ශ්‍රී ලංකාවට මින්දෝරු වෘත්තිකයන් බිහිකරනු ලැබුවේ මේ තුළිනි.

අත්ල මත තබා ගත් ස්මාර්ට් දුරකතනයක් උපයෝගී කරගනිමින් ජීපීඑස් තාක්ෂණය හරහා ලෝකයම මැනිය හැකි අද මෙන් නොව, අත්ලක් තරම් කෑල්ලක් මනින්නට වුවද, කැලෑවක් කැපිය යුතු කාලයක, වග වළසුන්ට සහ අව්වැසිවලට මුහුණ පාමින් ඇරඹූගමන් මඟෙහි ඉහළම කෙළවරට අද ඇය පැමිණ සිටින්නීය. ඒ සමස්ත දේශයේ හැම බිම් අඟලකම දිග පළල පිළිබඳව සහතික කරන අධිකාරී බලයක් සහිත අත්සනෙහි ගෞරවනීය හිමිකාරිය වෙමිනි.

මේ ආකාරයේ දිගු මංපෙතක් ඔස්සේ පිය නැගූ ඉඳුමිණි තිලකරත්න වෘතාන්තය ගැන කතා කරද්දී කාන්තාවන්ට මිනින්දෝරු වෘත්තියේ ඉඩ හසර ලබා ගැනීමේ අවස්ථාව සඳහා මුල්වූ තවත් පුද්ගලයෙකු ගැන ද සඳහන් කළ යුතුමය. විශේෂත්වය වන්නේ ඇය ද කාන්තාවක වීමය. ඒ බණ්ඩාරවෙල ඒ. බී. නන්දනීය.

එවකට තම නිවස අවට උස් කඳු ශිඛරයන් මත නැගී භද්‍ර යෞවනයන් මිනින්දෝරු පුහුණුවේ යෙදෙන අයුරු නිරන්තරයෙන් නෙත ගැටුණු නන්දනී තුළ ද මහපොළොවේ දිග පළල මනින මෙම අපූරු රස්සාව ගැන ඇති වූයේ බරපතළ ඇල්මකි. එහෙත් මේ කාලයේ මිනින්දෝරු රැකියාවට කාන්තාවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් නන්දනීගේ මිනින්දෝරු සිහිනය ලත් තැනම ලොප් වන තත්ත්වයක් ඇති විය. එහෙත් ඉන් අධෛර්මත් නොවූ ඇය එවකට විපක්ෂ නායකවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට ලිපියක් තැපැල් කළාය. ඉන් කියවුණේ කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබාදීමේ පියවරක් වශයෙන් ඔවුන්ට ද මිනින්දෝරු වෘත්තියට ඇතුළත් වීමට අවස්ථාව උදාකර දෙන ලෙසටය. ඒ 1976 වසරේය.

1977 වසරේදී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වූ අතර, 1978 වසරේ ඇතිකළ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවෙහි කාන්තාවන්ට ද පිරිමින් හා සම තැන ලැබෙන බව කියවුණේය. ඒ තූළ නන්දනීගේ ඉල්ලීමට ද අවස්ථාවක් ලැබී තිබුණේ මිනින්දෝරු වෘත්තියට කාන්තාවන් බඳවා ගන්නා බවද සඳහන්ව තිබූ හෙයිනි.

1980 ජනවාරි 01 වෙනිදා දියතලාවෙහි පිහිටි මැණුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයට වෘත්තිය මිනින්දෝරු පුහුණුවට 100 ක කණ්ඩායමක් බඳවා ගනු ලැබූ අතර, එම පිරිස අතරට තරුණියන් 25 දෙනකු ඇතුළත් වූයේ ඒ අනුවය. එහි අපූර්වත්වය වූයේ පෙර කී ලිපිය ලියනු ලැබූ නන්දනී නමැති යෞවනිය ද මේ තරුණියන් 25 දෙනා අතරට තේරී සිටීමය. ඉතිහාසයේ සැඟව ගිය අපූරු කතාවක් වූ මෙය පෙර දවසක නන්දනී විසින් මෙම ලියුම්කරුට පවසා තිබිණි.

තමන් විසින් කපා දෙන්නට මුල් වූ මාවතෙහි වැඩිදුරක් නොගිය ද ශ්‍රී ලංකාවේ තරුණියන් වැඩි පිරිසකට මෙකී ගෞරවනීය වෘත්තියේ ඉඩ හසර ලබාදෙන්නට ඇය විසින් තැබූ පළමු පියවර අද මේ මොහොතේ යෝධ පිය සටහනක් බවට පත්ව තිබෙන බවට හොඳම සාක්ෂිකාරිය වන්නී වත්මන් සර්වෙයර් ජනරාල් ඉඳුමිණි තිලකරත්නය.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ උපන් ඉඳුමිණි තිලකරත්න, නිවිතිගල සුමන මහා විද්‍යාලය, රත්නපුර ෆර්ගියුෂන් උසස් බාලිකා විද්‍යාලය හා සීවලී මධ්‍ය මහා විද්‍යාලය වෙතින් පාසල් අධ්‍යාපනය හමාර කර තිබුණාය.

ඉක්බිති දියතලාවේ පිහිටි මැණුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයට ඇතුළත්ව මිනින්දෝරු විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රීය පුහුණුව නිමකිරීමෙන් අනතුරුව මෙම යෞවනිය ක්ෂේත්‍ර පුහුණුව සඳහා පිටත්ව යන්නේ දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල ප්‍රදේශයටය.

වැදි පරපුරක “රාජධානියක්” වූ එහිදී මේ තරුණ මිනින්දෝරුවරියගේ නෙත ගැටෙනුයේ බණ්ඩියා, කිරා හා ගෝමීන් ආදී විවිධ නම් ගම්වලින් හඳුන්වනු ලැබූ ආදී වාසීන්ය. මෙම පිරිස මුලින්ම දුටු ඇයගේ සිතට ඔවුන් තුළ වූ මනුෂ්‍යත්වය හේතුකොට ගෙන මහත් ආදරයක් ද එම දුක්ඛිත දිවි පෙවෙත දැකීමෙන් ඉමහත් කනගාටුවක් ද ඇති වූ බව පවසයි.

“අපේ රටේ ආදිවාසීන් කියන ජන කොටස මුලින්ම එදා තමයි මම දැක්කේ.. ඒ වගේම මගේ රැකියාව තුළින් මුලින්ම සේවය ලබාදුන්නේ මේ ආදිවාසී ජනතාවට. ඒ මිනිස්සු ඉතාම ගෞරවණීය ලෙස අපට සැලකූ ආකාරය කිසිදා අමතක නොවන්නක්” නව සර්වෙයර් ජනරාල් ඉඳුමිණි තිලකරත්න මහත්මිය තම සේවයේ ආරම්භය ගැන කරන අතීත ආවර්ජනය එවැන්නකි.

“මම පරණගම, හේනානිගල කියන ගම්වල ක්ෂේත්‍රයේ මැණුම් කටයුතු කළේ ඉතාම දුෂ්කරතා මධ්‍යයේ. අපට වැඩට යන්න වාහන නෑ. හැතැප්ම ගණන් පයින් ඇවිද ගෙන ගිහින් තමයි ඉඩම් මැන්නේ.

ඒ නමුත් ඒ අත්දැකීම් ගැන මතක් වෙන කොට අද තිබෙන්නේ බලවත් සතුටක් මිස දුකක් නෙමෙයි” මෙහිදී ඇය සිහිපත් කර දුන් තවත් කාරණයක් වන්නේ ආදිවාසීන් රාජ්‍ය සේවයට මුලින්ම බඳවා ගනු ලැබුවේ ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් බවය. එය විශ්‍රාම වැටුපක් ලැබෙන රැකියාවකි.

මේ යොවුන් මිනින්දෝරුවරියගේ ඊළඟ පත්වීම ලැබුණේ ඌව පරණගම ප්‍රදේශයේ පේරවැල්ලය. එතැනින් පසුව බලංගොඩ ප්‍රදේශයට අයත් කූරගලය. මෙවැනි හද්දා පිටිසර දුෂ්කර ප්‍රදේශවල රාජකාරි කරන අතරේදී පවා තම වෘත්තියට අදාළ වැඩි දුර අධ්‍යයන කටයුතුවල නිරත වීමට ඇය අමතක නොකළාය. මැසි මදුරුවන්ගේ නොනවතින හිරිහැර මධ්‍යයේ ලන්තෑරුම් එළියෙන් පාඩම් කිරීමේ නිරත වූ ඇය සිය විභාග කඩඉම් එකින් එක සාර්ථකව ජය ගැනීමට සමත් වූවාය.

ඒ අනුව ඇය 1998 වසරේදී මිනින්දෝරු විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී (ගෞරව) උපාධිය ලැබූ අතර 1998 අවුරුද්දේ සහකාර මිනින්දෝරු අධිකාරි තනතුරට උසස් වීමක් ලැබ නුවරඑළියට පත්ව ආවාය.

ඉන් පසුව ඇය නැවතත් බලංගොඩ ප්‍රදේශයට ස්ථාන මාරුවීමක් ලැබුවාය. ඉඳුමිණි තිලකරත්න මහත්මිය විවාහ වන්නේ විපුල අබේරත්න මහතා සමඟය. වෘත්තියෙන් මිනින්දෝරුවරයෙකු වූ විපුල අබේරත්න මහතා පසුව සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපණ පීඨයේ පීඨාධිපතිවරයෙකු විය. ඇය දෙදරු මවකි.

“2000 අවුරුද්දේ තමයි මගේ ලොකු දුව හසිනි උපන්නේ. දැන් ලොකු දුව හසිනි සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අතර, පොඩි දුව රුවිනි රුහුණු විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබනවා. මැණුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයේ කථිකාචාර්යවරියක් ලෙසට මම පත් වෙන්නේ 2001 අවුරුද්දේදී. ඒක මේ මම ආපු ගමන් මඟේ නොමැකෙන සංධිස්ථානයක්. මේ අවස්ථාවට ඉතා ඉක්මනින් මට මඟ පෑදුණේ මිනින්දෝරු අධිකාරි නන්දනී දිසානායක මහත්මිය නිසා බව කිසිසේත්ම අමතක කළ නොහැකියි. ඒ නිසා මේ අවස්ථාවේදී මම එතුමිය ද ස්තුති පූර්වකව සිහිපත් කළ යුතුමයි” ඇය පවසන්නීය.

2002 වර්ෂයේදී ඉඳුමිණි තිලකරත්න මහත්මිය සිය පශ්චාත් උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් මත ජර්මනියේ ස්ටාටගර්ට් විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් වූ අතර, සිය ස්වාමිපුරුෂයා වන විපුල අබේරත්න මහතා ද පාශ්චාත් උපාධිය හැදැරීම සඳහා එකී විශ්වවිද්‍යාලයටම ඇතුළත් වූයේය. අවුරුදු එකහමාරක මෙම අධ්‍යයන කාලය සඳහා මෙම දෙමව්පියන් සමඟ සිය වැඩිමහල් සිඟිති දියණිය ද ජර්මන් ගමනට එක් වූවාය. ඉඳුමිණි තිලකරත්න මහත්මිය එහිදී “ඡායාරේඛනමිතිය සහ භූමිතිය” පිළිබඳව එහිදී පශ්චාත් උපාධිය ලැබ මැණුම් හා සිතියම් ගත කිරීමේ ආයතනය වෙත යළි සේවයට පැමිණියාය. 2017 වසර වන තෙක්ම ඇය එහි කථිකාචාර්යවරියක ලෙස සේවය කළාය.

ඉන්පසුව වසර තුනක්ම ඇයගේ සේවය කැප වූයේ ඌව පළාත භාර පළාත් ස්වෙයර් ජනරාල්වරිය ලෙස කටයුතු කරනු පිණිසය.

මේ ආකාරයට ජීවිතයේ බොහෝ බාධක ජයගැනීමේ හැකියාවකින් යුතුව ඉදිරියට පැමිණිය ද 2023 අප්‍රේල් මාසයේදී සිය සැමියා වන විපුල අබේරත්න මහතා හෘදයාබාධයකින් මරු වසඟයට පත්වීමෙන් වළකාලන්නට ඇය ශක්තිමත් වූයේ නැත.

“ඒ එක්කම මගේ ජීවිතයේ හැම දෙයක්ම කඩා වැටුණා. මම දුවලා දෙදෙනා සමඟ තනි වුණා. නමුත් දුවලා වෙනුවෙන් මම යළිත් ජීවිතයට මුහුණ දෙන්නට තීරණය කළා”

ජීවිතයේ සියල්ල කඩා වැටුණු මේ නිමේෂයේදී ඇයට කොළඹ ප්‍රධාන කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබිණි. ඒ උසස්වීමක් සමඟය. එහෙත් ඇය එම උසස්වීම පසෙකලා, දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු කඩා බිඳ වැටෙන්නට නොදී බදුල්ලේම රැදී සිටියාය. දෙවන දියණිය ද ඒ සාමාර්ථ තුනක් ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතු`ථවීමට සුදුසුකම් ලබනුයේ මේ අතරතුරය.

2024 වසරේ ඉඳුමිණි තිලකරත්න මහත්මිය දියතලාව මැණුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයෙහි අධ්‍යක්ෂවරිය වන්නීය.

’‘මේ මම ඉගෙන ගත් තැන. මම හැදුණු වැඩුණු තැන, මම එහිදී හිතපු දේවල්, හිතේ තිබුණු සැලසුම් ක්‍රියාත්මක කළා. විශාල මිනින්දෝරු සිසු පිරිසකට නිසි වෘත්තීය පුහුණුවක් ලබාදුන්නා. ආචාර් ධර්ම පිරුණු වෘත්තිකයන් පිරිසක් මේ රටට බිහිකරන්න දායක වුණා. මේකට හැම කෙනෙක්ම උදව් කළා. හැමෝම හොඳ හිතින් එකතු වුණොත් ඕනෑම ආයතනයක් දියුණු කරන්න පුළුවනි” ඉඳුමිණි තිලකරත්න නව සර්වෙයර් ජනරාල්තුමිය ඉතා සතුටින් සිය ගුරු භූමිකාව ස්මරණය කරන්නේ එලෙසිනි.

සිය රාජ්‍ය සේවය හෙනානිගල වැදි ගම්මානයකින් පටන්ගෙන, අතිදුෂ්කර සේවා ස්ථාන පසුකරමින් පියවරින් පියවර ඉහළට ආ ඉඳුමිණි තිලකරත්න මෙරට 59 වැනි සර්වේයර් ජනරාල් ලෙස තම කේෂ්ත්‍රයට අයත් ඉහළම පුටුවේ වාඩි වූයේ අප රටෙහි කාන්තා මිනින්දෝරුවරියක් පළමු වරට සර්වෙයර් ජනරාල් ලෙස පත්වීමේ ඓතිහාසික කතාන්දරය ය.

“මගේ කාලය තුළ මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙන මානයකට හරවා ගන්න උත්සාහ ගන්නවා” ඇය පැවසුවේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට පැමිණ මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හෙවත් සර්වේයර් ජනරාල් තනතුරට පත් වූ පළමු කාන්තා මිනින්දෝරුවරිය ලෙසට ඉඳුමිණි තිලකරත්න යන නම දැන් ඉතිහාසයට එක් වී ඇත. එමෙන්ම මිනින්දෝරු ඉතිහාසයේ මතු කිසියම් දිනක වුව ඇය අභිබවා යන්නට කිසිම මැණුමකට හැකි වන්නේ නැත. මක්නිසාද යත් පළමු වැන්නී ඇය වන හෙයිනි.

සුනිල් කුසුම්සිරිබලයලත් මිනින්දෝරු