හොර දොස්තරලගෙන් ප්‍රතිකාර ගත් වැඩි දෙනෙක් ආසාත්මිකතාවයන් නිසා රෝහල් ගත වෙනවා හොර දොස්තරවරු අල්ලගත්තට වැඩක් වෙන්නේ නැහැ…පොඩි දඩයක් ගහල නැවත එළියට දානවා රජයේ වෛද්‍යවරයෙක් කියයි රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් පවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවී සිටීම නිසා හොර වෛද්‍ය මධ්‍යස්ථ…

හොර දොස්තරලගෙන් ප්‍රතිකාර ගත් වැඩි දෙනෙක් ආසාත්මිකතාවයන් නිසා රෝහල් ගත වෙනවා

හොර දොස්තරවරු අල්ලගත්තට වැඩක් වෙන්නේ නැහැ…පොඩි දඩයක් ගහල නැවත එළියට දානවා

රජයේ වෛද්‍යවරයෙක් කියයි

රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් පවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවී සිටීම නිසා හොර වෛද්‍ය මධ්‍යස්ථාන වැටලීම අද දුෂ්කර කාර්යයක්

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

හොර දොස්තරවරු 40,000ක් තාමත් රට පුරා

2024- 2025 වසර වලදී මෙරට පුරා පවත්වා ගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථාන 400ක් වටලලා

මේ වනවිට වෛද්‍යවරයකු විදිහට ව්‍යාජ ලෙස බොහෝ තැනැත්තන් පෙනී සිටීම අපේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තියෙන බරපතළ ප්‍රශ්නයක්

වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ

ඈත අතීතයේ සිට අප ජනවහරේ කියැවෙන කතාවක් තිබේ. ඒ ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ කියන කතාව ය. මේ කතාව හැදෙන්නේ අතීතයේ බරපතළ ලෙස උදරයේ රෝගයක් උත්සන්නව සිටි රෝගියකුට විරේක කිරීම සඳහා දැඩි ඖෂධ මාත්‍රාවක් එක්තරා වෙදැදුරකු ලබා දීමෙන් පසුව එම රෝගියා මියයෑම නිසාය. රෝගියාගේ ඥාතීන් වෙදැදුරාට දොස් පැවරීමේදී වෙදැදුරා කියන්නේ අප ඉහත කී කතාව ය. එහි තේරුම “දුන් බෙහෙත නිසා ලෙඩා මැරුණ ද බඩ නම් හොඳින් සුද්ද වූ බවය.” එකල ද ලෙඩා මරණයට පත්වීම වෙදැදුරාට ප්‍රශ්නයක් නොවිණි. ඔහු එහිදී උත්සාහ ගන්නේ තමන් කළ ප්‍රතිකාරය සාර්ථක වූවා යැයි පවසමින් ඇතිවූ ප්‍රශ්නය සාධාරණීකරණය කරන්නට ය. මේ කතාව අදට ද වලංගු යැයි අපට සිතෙන්නේ ‘රෝග සුවපත් කරන්නට කියා’ හන්දියක් හන්දියක් ගානේ බෙහෙත් සාප්පු දමා ගෙන රෝගීන්ට ප්‍රතිකාර කරන ‘හොර දොස්තරලා’ නිසා ය.

හොර දොස්තරලා හැම තැනම

හොර දොස්තරලා ගැන ආසන්නතම සිද්ධියක් වාර්තා වන්නේ අලුත්ගම, ධර්ගා නගරය ප්‍රදේශයෙනි. ඒ වෛද්‍ය සභාවේ (SLMC) හි ලියාපදිංචි නොවී වෛද්‍යවරුන් ලෙස පෙනී සිට දීර්ඝ කාලයක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කළ ‘හොර දොස්තරලා’ දෙදෙනකු ගැන ය. මේ හොර දොස්තරවරු අත්අඩංගුවට පත් වන්නේ අලුත්ගම, ධර්ගා නගරය ප්‍රදේශයේ රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑමේදී කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් කළ මෙහෙයුමකදී ය. ඔවුන් දෙදෙනාට කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මාස 06ක සිරදඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණේ ය. එසේ දඩ හා සිර දඬුවම් නියම වූයේ බේරුවල ප්‍රදේශයේ පදිංචි අයකුට සහ කල්මුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ය. මේ පුවත පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ හා අනෙකුත් මාධ්‍යයන් වල පුවත් මවන්නක් බවට පත්වී තිබිණි. එහෙත් මේ හොර දොස්තරලා ගෙන් ප්‍රතිකාර ගත් අයට සිදු වූයේ කුමක් ද යන්න අදටත් අනාවරණය වී නොතිබිණි. එදා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් කළ මෙහෙයුම නොතිබුණේ නම් ඒ ප්‍රදේශයේ රෝගී ජනතාවට ‘දෙයියන්ගේම පිහිට’ ය. එහෙත් මිනිසුන්ගේ පූරුවේ වාසනාවට එය එසේ විසඳී තිබිණි. මේ ලංකාවේ හොර දොස්තරලාගේ එක් කතාවක් පමණි. මේ කතාව අද වනවිට අලුත්ගම, ධර්ගා නගරයට පමණක් ද සීමා නොවූවකි. එය අද රට පුරාම පැතිරගොස් ඇති භයානකම සමාජ භීතිකාවකි.

ඒ පිළිබඳව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියන්නේ මේ වනවිට දිවයින පුරා හොර දොස්තරවරු 40,000ක් පමණ විසිරී සිටින බව ය. ඔහුගේ මේ කතාව ඇසූවිට ද අපට ද බියක් දැනෙන්නේ කුමන හෝ අවස්ථාවක ප්‍රතිකාර ගැනීමට අපද වෛද්‍යවරයකු වෙත යා යුතු බව මතක් වීම නිසාය. ඒ තරමටම හොර දොස්තරලාගේ ප්‍රශ්නය මෙරට සෞඛ්‍ය පද්ධතියේ උඩුදුවා තිබේ. එහි බැරෑරුම්කම වන්නේ අද වනවිට මෙරට ජනතාවට ප්‍රතිකාර ගැනීමට පෙර ‘දොස්තර’ හා ‘හොර දොස්තර’ වෙන්කර හඳුනා ගැනීමට සිදුව තිබීම ය.

“මේ වනවිට වෛද්‍යවරු විදිහට ව්‍යාජ ලෙස බොහෝ තැනැත්තන් පෙනී සිටීම අපේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තියෙන බරපතළ ප්‍රශ්නයක්. අද ඒ විදිහට පෙනී සිටින කණ්ඩායම් කිහිපයක්ම ඉන්නවා. එකක් තමයි කිසිම සුදුසුකමක් නැතිව වෛද්‍යවරු විදිහට පෙනී සිටින කණ්ඩායම. ඒ අයට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැහැ. ඒ වගේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෛද්‍යවරුන් නොවන කණ්ඩායම් ඉන්නවා අද වෛද්‍යවරුන් විදිහට පෙනී සිටින. තවත් අය ඉන්නවා බටහිර වෛද්‍යවරුන් විදියට පෙනී සිටින බටහිර වෛද්‍යවරුන් නොවන කණ්ඩායමක්. එයට උදාහරණයක් තමයි හෝමියෝපති වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්. ඒ අයට නීත්‍යානුකූලව බැහැ බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකර්ම කරන්න. ඒ අයට නීතිමය අවසරය තියෙන්නේ හෝමියෝපති නම් ඒක විතරයි. ආයුර්වේද වෛද්‍ය කර්මය නම් ඒක විතරයි. ඒ අයත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරනවා නම් හොර දොස්තරලා ගානට තමයි වැටෙන්නේ. ලංකාවේ නීතිය අනුව සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් විදිහට ප්‍රතිකාර කරන්න නම් වෛද්‍ය සභාවක ලියාපදිංචි විය යුතුයි. බටහිර වෛද්‍යවරයෙක් නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුයි. ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් ආයුරේවේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුයි.හෝමියෝපති වෛද්‍යවරයෙක් නම් හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුයි. මේ තුනෙන් එකක නැති කිසිම කෙනෙකුට රෝගීන් සඳහා ප්‍රතිකාර කළ නොහැකියි.

මේ අනුව ලංකාවේ ඇතුළත ගත්තොත් සාමාන්‍යයෙන් 40,000කට ආසන්න ප්‍රමාණයක් හොර වෛද්‍යවරුන් ඉන්නවා. එයාලා මේ කියන හැම කාණ්ඩයකටම අයත් වන අය. මේක බරපතළ සමාජ ප්‍රශ්නයක්. මොකද ජනතාවගේ ජීවිතත් එක්ක තමයි මේ නිශ්චිත සුදුසුකම් නැති, අවබෝධය නැති, අධ්‍යාපනය නැති හොර දොස්තරවරු සෙල්ලම් කරන්නේ. මේක යම් ආකාරයක මිනීමැරුමක් දක්වා සැලකිය හැකියි.” දීර්ඝ කරුණු දැක්වීමකින් පසු වෛද්‍ය චමිල් විජේසිංහ එසේ නිහඬ වන්නට විය.

නීතියේ බුරුල හා ලිහිල් දඬුවම්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ වෛද්‍ය වෘත්තියේ යෙදෙන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ රාජකාරිය ද එක් ආයතනයකට පමණක් තනිවම කළ නොහැක්කකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය නිලධාරීන්ට, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ද එකී වගකීම පැවැරී තිබෙන්නෙකි. එහෙත් ප්‍රශ්නය වන්නේ අත්අඩංගුවට ගන්නා හොර දොස්තරවරුන්ට නැවත එම වැරැද්ද නොකිරීමට තරමේ ලබාදිය හැකි දඬුවම් මෙරට නීති පද්ධතිය තුළ නොතිබීමය. ඒ සඳහා ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන මෙරට නීති පද්ධතිය තුළ නොතිබීම අද වනවිට මේ ප්‍රශ්නය බොහෝ දුර ගෙන යන්නක් බව රජයේ වෛද්‍යවරුන් ද පවසන්නකි.

“හොර දොස්තරවරු අල්ලගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒ අයට පොඩි දඩයක් ගහල නැවත එළියට දානවා. ඒකත් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටීම කියන කාරණාව නිශ්චිතව වැරැද්දක් ලෙස කොහේවත් අර්ථ දක්වලා නැහැ. එහෙම දෙයක් නීති පොතේත් නෑ. ගොඩක් වෙලාවට ඔය කියන හොර දොස්තරලාට දාන්නේ අවසරයකින් තොරව ඖෂධ ගබඩා කිරීම, නැත්නම් තව කෙනෙක් විදිහට ව්‍යාජව පෙනී හිටීම කියන කාරණා වලට විතරයි. ඇත්තටම බැලුවොත් පෙනී සිටීම විතරක් නොවෙයි මේ හොර වෛද්‍යවරුන් බෙහෙත් කරලා ලෙඩෙක් මිය ගියොත්, කුමක් හෝ සංකූලතාවක් ආවොත් ඒවාට දඬුවමක් දෙන ක්‍රමයක් අද කොහේවත් නැහැ. පොදුවේ ගත්තොත් තියෙන ප්‍රශ්නය තමයි අද තියෙන නීතිමය ප්‍රතිපාදන ශක්තිමත් භාවයක් නැති එක. අපි අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට, නීතිපති දෙපාර්තමේන්තුවට, අධිකරණ අමාත්‍යවරුන්ට මේ ගැන කරුණු දැක්වූවා. ඒ නිසා ඇතැම් නීති යම් යම් මට්ටමට ගිහිල්ලත් තියෙනවා. අපි හැම ආණ්ඩුවකම සෞඛ්‍ය ඇමැති කෙනෙක් ගෙන්ම ඉල්ලුවේ මේවාට අදාළව නීතිමය ප්‍රතිපාදන ශක්තිමත් කරන්න කියලයි. එහෙම නැතිව කොච්චර හොර දොස්තරලා ඇල්ලුවත් වැඩක් නෑ. මොකද ඒ අය අද රුපියල් පන්දහසක විතර දඩයක් ගෙවලා ඇවිත් හෙට ඇවිත් ආයෙත් හොරට බෙහෙත් දෙන්න පටන් ගන්නවා.” එසේ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තවත් වෛද්‍යවරයෙකි.

හොර දොස්තරලාගේ ගානත් අඩුයිලු

පඳුරකට පයින් ගැසුවොත් විසිවන තරමේ රටේ නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලට ද අද වනවිට හොර දොස්තරලාගේ ‘බෙහෙත් කඩ’ බිහිවී තිබීම ඇත්තකි. ඔවුන්ගේ අපූරු ප්‍රතිකාර ක්‍රම නිසාම වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින මේ අයට අපූරු නම් පවා පටබැඳී ඇති වගක් පෙනෙන්නට තිබේ. අප ඒ බව දැනගන්නේ එක්තරා වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගත් රෝගියකුම අපට කී කතාවකිනි.

“ඒ දොස්තර මහත්තයා ළඟ ගානත් අඩුයි. අරහෙන් මෙහෙන් පරීක්‍ෂණ අරන් එන්න කියන්නෙත් නෑ. හරියටම ලෙඩේට හරියන බේත දෙනවා. එක පාරයි යන්නත් ඕන. ‘වන් ෂොට්’ කියල කිව්ව නම් පළාතේ ඕන කෙනෙක් දන්නවා.” ඔහු එසේ කියන්නේ ප්‍රදේශයේ නම්දරා ඇති එක්තරා වෛද්‍යවරයකු ගැනය. මේ වෛද්‍යවරයා ගැන එම පළාතේ වැසියන් ද අමුතුම ආකාරයේ ගුණකථන ද කරන අවස්ථා අප දැක තිබේ. එහෙත් පසුගිය දිනක ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් කළ මෙහෙයුමකදී ඔහුව කුදලාගෙන ගිය බව අපට සැලවන්නට විය.

“අපි දකින දේ තමයි මේ දොස්තරලා කියන අය කරන වැරදි ප්‍රතිකාර. ඇත්තටම මේවා ප්‍රතිකාර කියලා කියන්න බැහැ. මේ විදිහට මේ අය රෝගීන්ට ලබාදෙන වැරදි ප්‍රතිකාර ක්‍රම නිසා විශාල රෝගීන් ප්‍රමාණයක් රෝහල් ගත වනවා විවිධ සංකූලතාත් එක්ක. ඒක අපි දැක්කා ඩෙංගු වසංගතය වැනි රෝග පැතිරෙන කාලවල දී. ඒ අයට සමහර තැන් වල වේදනා නාශක දෙනවා. තවත් වැරදි විකල්ප ප්‍රතිකාර රෝගීන්ට ලබාදෙන අවස්ථාත් අපි දකිනවා. මේ නිසා ඒ අයට විවිධ සංකූලතා ඇතිවෙලා ඩෙංගු රෝගය උත්සන්න වෙලා මරණ පවා පසුගිය කාලයේ සිදුවුණ අවස්ථා තිබුණා. මේ හොර දොස්තරවරු එක පැත්තකින් මිනිස්සුන්ගේ මුදල් ටික සූරා කනවා. අනිත් පැත්තෙන් ජනතාවගේ ජීවිත අවධානමකට දානවා. රටේ ජාතික ධනයත් මේ නිසා නිකරුණේ නාස්ති වෙනවා. මෙහිදී වැදගත්ම කාරණය තමයි මේ ජාවාරම් රටින් තුරන් කරන්න එක් පාර්ශ්වයකට පමණක් නොහැකි වීම. ඒකට රජයේ වගකිවයුතු පාර්ශ්ව කිහිපයක් සහභාගී විය යුතුයි. නැතිව මේක වෛද්‍ය සභාවට තනිවම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට, සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරුණු විශාල වගකීමක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයට තියෙන ප්‍රධාන වගකීම් වලින් එකක් තමයි මේක. ඒත් හොර දොස්තරලා අල්ලන එක අද අසීරු කාරණාවක් වෙලා. ඒකට හේතුව හොර දොස්තරලාට ගම් මට්ටමින් පවා සිවිල් බලයක් පවා නිර්මාණය වී තිබීම.ගොඩක් වෙලාවට මේ හොර දොස්තරවරුන් දවස පුරාම බෙහෙත් දෙනවා. ඒ නිසා මිනිස්සු වැඩියෙන්ම යන්නේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා ඉන්න දොස්තර ළඟට වඩා හොර දොස්තරවරු ළඟටයි. ඒ අය ගන්න ගානත් සුළු ගානක්. මේ පිළිබඳව නොදැනුවත් මිනිස්සු ඔහුව ආරක්‍ෂා කරන්නත් දැන් පටන් අරගෙන තියෙනවා. සමහර තැන්වල වැටලීම් කරන්න ගියාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට තර්ජන ඇති වුණ අවස්ථාත් අපි දැකල තියෙනවා.” පෙළ ගැසෙන කතාවට තවත් රජයේ වෛද්‍යවරයකු පිළිතුරු බැන්දේ එසේ ය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියන්නේ අද වනවිට හොර වෛද්‍යවරුන් වැටලීමේ වගකීම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් මඟහරින තත්ත්වයක් ඇතිවී තිබෙන බවය.

ඔහු වැඩිදුරටත් කියන්නේ දිවයින පුරා සුදුසුකම් නොමැති පුද්ගලයන් වෛද්‍යවරුන් ලෙස රැඳී සිටින නමුදු, ඒවා වැටලීමේ වගකීම පවතින්නේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට බවත්, ඔවුන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා හොර වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩිවෙමින් තිබෙන බව ය.

“දිවයින පුරා හොර වෛද්‍යවරුන් හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් සිටින බවට පසුගිය කාලයේදී වාර්තා වුණා. වෛද්‍ය සිසුන්, හෙද නිලධාරීන්, සාත්තු සේවකයන්, සුදුසුකම් නැති ආයුර්වේද වෛද්‍යවරුන්, බිරිඳ හෝ සැමියා වෛද්‍යවරුන් වන පුද්ගලයන්, ඖෂධවේදීන් ඇතුළු විශාල ප්‍රමාණයක් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ප්‍රාදේශීය මට්ටමින් රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇතත්, රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් පවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවී සිටීම නිසා හොර වෛද්‍ය මධ්‍යස්ථාන වැටලීම අද දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබෙනවා.” විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කතාව අවසන් කළේ එසේ ය.

මේ තවත් හොර දොස්තරවරයකු ගෙන් ප්‍රතිකාරගත් නම් හෙළි කිරීමට අකමැති වූ අයකු කී කතාවකි.

“අපි බෙහෙත් ගන්න දොස්තර මහත්තයා නම් හරි හොඳයි. සිංහල බෙහෙත් බොන්න බෑ කිව්වොත් ඉංග්‍රීසි බෙහෙත් දෙනවා. ඉංග්‍රීසි බෙහෙත් බොන්න බෑ කිව්වොත් සිංහල බෙහෙත් දෙනවා. එයා සර්වාංග දොස්තර කෙනෙක් නිසා ඕන ලෙඩකට ප්‍රතිකාර කරනවා. එයා සිංහල වෙදෙක් වුණාට වැඩි හරියකට දෙන්නේ ඉංග්‍රීසි බෙහෙත්” ඒ ඔහුගේ කතාව ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව 2024-2025 වසර වලදී මෙරට පුරා පවත්වා ගෙන ගිය හොර සායන 400කට වඩා වසා දමා තිබේ. පසුගිය කාලයේදී ද අත්අඩංගුවට ගත් හොර දොස්තරවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් සිටි අය බව ද දැන් අනාවරණය වී තිබේ. එහෙන්ම බොහෝ වෛද්‍යවරුන් පවසන්නේ හොර වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ගත් වැඩි දෙනකු පසුගිය කාලය තුළ නොයෙකුත් සංකූලතාවයන් හා ආසාත්මිකතාවයන් නිසා රෝහල් ගත කළ බවත් ඇතැම් රෝගීන්ගේ ජීවිත මරණයෙන් පවා කෙළවර වූ බව ය. පසුගිය මාසයේ කොළඹ දී හෙපටයිටිස් ඊ එන්නතක් වෙනුවට vitamin injection එකක් දීමෙන් දරුවන් 3 දෙනෙකු රෝහල් ගතකර තිබුණේ ය. එයට හේතුව සොයා බැලීමේදී හෙළි වූයේ එකී එන්නත් නියම කර තිබුණේ හෙද නිලධාරිනියක විසින් බව ය. තව ද අපේක්‍ෂා රෝහලේ වෛද්‍යවරයකු අප හා පැවසුවේ කිමෝ (Chemo) කරන රෝගීන්ට ව්‍යාජ පිළිකා බෙහෙත් විකිණීම නිසා ද අවසානයේ එවැනි රෝගීන් දැඩිසත්කාර ඒකක වලට එන බවය.

දැන් රජයේ වෛද්‍යවරුන් කියන හැටියට හොර දොස්තරලා හා හරි දොස්තරලා හොයා ගැනීම මහජනයාට භාර ය. හොර දොස්තරලාගේ බෙහෙත් කඩ ඉදිරිපිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නැත්නම් SLMC ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය කොට නැත. හරි දොස්තරලා නම් ඔවුන්ට සායන බලපත්‍රය නැත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ගේ අනුමැතිය තිබිය යුතු ය. බෙහෙත් වට්ටෝරුවේ අදාළ වෛද්‍යවරයාගේ නම, අංකය, නිල මුද්‍රාව ද තිබිය යුතුය. එහෙත් බොහෝ වෛද්‍යවරුන් කියාගන්නා උදවියගේ නම් පුවරුවල UK, India උපාධි යැයි සඳහන්ව තිබුණ ද ඔවුන්ගේ නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ද සඳහන් වී නොතිබීම ගැටලුවකි.

1927 අංක 26 දරන වෛද්‍ය ආඥා පනත අනුව SLMC ලියාපදිංචියකින් තොරව වෛද්‍ය වෘත්තියේ යෙදීම වසර 5 දක්වා සිරදඬුවම් සහ ලක්‍ෂ 5ක දඩයක් ලැබිය හැකි වරදකි. එහෙත් ගැටලුව වන්නේ හොර දොස්තරලා අල්ලන්නට අපේ රටේ සිදුකරන වැටලීම් ප්‍රමාණවත් නොවීම ය. ඒ සඳහා අවශ්‍ය කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ හා සෙසු සෞඛ්‍ය නිලධාරීන් එක්වේලාවකදී රැස්කර ගැනීමට නොහැකි වී තිබීම බලවත් ගැටලුවකි. රජයේ වෛද්‍යවරුන් කියන හැටියට ද බොහෝ වැටලීම් සිදු කළ ද ඔවුන් අත්අඩංගුවට ද ගත නොහැක්කේ ජනතාවගේ අඩුවට බෙහෙත් ගැනීමේ බලාපොරොත්තුව නිසා හොර වෛද්‍යවරුන් වටා පිරිස් බලයක් නිර්මාණය වී තිබීම නිසා ය.

අවසානයේ මෙරට හොර දොස්තරවරු ගැන කතා කිරීමේදී ඇඟ හිරිවැටෙන තවත් කතාවක් කියන්නට තිබේ. ඒ කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝගීන්ට බෙහෙත් නියම කරන ෆාමසිකරුවන් ද මේ හොර දොස්තරලා ගොඩේම සිටින බව ය. ඇතැම් විට නිවැරදි ඖෂධය වෙනුවට වැරදි ඖෂධය රෝගියාට ලබාදෙන මේ හොර ෆාමසිකරුවන් නිසා බොහෝ විට රෝගීන්ගේ ජීවිතයට පවා හානිවන අවස්ථා නැතුවා ද නොවේ ය. මේ අයුරින් බැලූවිට හොර දොස්තරලා මෙන්ම හොර ෆාමසිකරුවන් ගෙන් ද දැන් කවුරුත් ප්‍රවේශම් විය යුතු ය.

රමින්ද මාවතගේ