ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනයට වසර හතරයි… පුස්කොළ පත්තිරු හදන පත්‍ර ගන්න තල ගස් අල්පයි… පුස්කොළ ලියන පන්හිඳ හදන කලා ශිල්පීන් නෑ… පුස්කොළ ලිවීම පිරිවෙන් අධ්‍යාපන විෂය මාලාවට අනිවාර්ය කරන්න ඕනෑ… පුස්කොළ ලිවීමේ පාඨමාලාවට අලුත් පරම්පරාවේ වැඩි කැමැත්තක්… මෙරට සමස…

ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනයට වසර හතරයි…

පුස්කොළ පත්තිරු හදන පත්‍ර ගන්න තල ගස් අල්පයි…

පුස්කොළ ලියන පන්හිඳ හදන කලා ශිල්පීන් නෑ…

පුස්කොළ ලිවීම පිරිවෙන් අධ්‍යාපන විෂය මාලාවට අනිවාර්ය කරන්න ඕනෑ…

පුස්කොළ ලිවීමේ පාඨමාලාවට අලුත් පරම්පරාවේ වැඩි කැමැත්තක්…

මෙරට සමස්ත දැනුම් පද්ධතිය ලේඛනාරූඪ වෙලා තියෙන්නෙ පුස්කොළ පොත්වල…

අටමහ පිංකම් අතර බුදුන් වහන්සේ අනුදත් ඉතා වැදගත් ආනිශංසදායී පින්කමක් ලෙස ධර්මය ලිවීම, ලියවීම සහ ධර්ම ග්‍රන්ථ බෙදාහැරීම හැඳින්විය හැකි ය. ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ සියලු දානයන්ට වඩා ධර්ම දානය ඉතා උසස් බවත්, ආනිශංසදායී බවත් බුදුන් වහන්සේ වදාළහ. එහෙයින් රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා ධර්මය ලිවීම, ලියවීම සහ බෙදාහැරීමට උත්සුක වූහ.

එමෙන්ම පරවාද හා අසම්මිශ්‍රව පිරිසිදු බුද්ධ භාෂිතය ඇදුරු පරපුරින් ආරක්‍ෂා කරගෙන ප්‍රථම වරට ක්‍රමානුකූලවත්, පරිපූර්ණවත් ලේඛනාරූඪ කිරීමේ ගෞරවය හිමිවනුයේ ‘මහාවිහාරීය’ සිංහල භික්‍ෂූන් වහන්සේලාට ය. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ වළගම්බා රාජ්‍ය සමයේ දී සිදු වූ එම ඓතිහාසික සිදුවීමෙන් පසුව මෙරට තුළ පුළුල් වූ පාලි, සිංහල ලේඛනගත සාහිත්‍යය සම්ප්‍රදායක් ගොඩනැඟිණි. එකල ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය නැවත, නැවත පිටපත් වෙමින් ලක්දිව දසත විහිදී ගියේ ය. පුස්කොළ පත්තිරුවල ත්‍රිපිටක ධර්මය ලේඛනගත කිරීම පහසු කාර්යයක් නොවූ බැවින් රජවරු තල උයන් ඇති කළ බව ද ඉතිහාසගත ය. ක්‍රිස්තු වර්ෂ පස්වන ශත වර්ෂයේ දී බුද්ධඝෝෂ තෙරුන් ප්‍රධාන පාලි අටුවාචාරී වහන්සේලා හෙළටුවා පෙළ බසට නැඟීමත් සමග ත්‍රිපිටක බුද්ධ භාෂිතය ද ථෙරවාද අර්ථ විවරණ ද ජාත්‍යන්තර වශයෙන් පැතිරි ගියහ. රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් ධර්මය ලියා, ලියවා පොත්ගුල් තනවා එහි තැන්පත් කළහ.

තල පත්‍රතම්බා ගන්නා අයුරු

ලන්දේසී ආක්‍රමණයට පෙර මෙරට ප්‍රධානම ලේඛන මාධ්‍ය පුස්කොළ ය. ආගමික ලේඛන පමණක් නොව, ශාස්ත්‍ර, රාජ්‍ය ලේඛන ඇතුළු සකල විධ ලේඛන සම්පාදනය වූයේ පුස්කොළ මාධ්‍යයෙනි. මෙරට සමස්ත දැනුම් පද්ධතිය ලේඛනාරූඪ වී ඇත්තේ පුස්කොළ පොත්වල ය. පුස්කොළ මත සටහන් කර ධර්මය විහාරස්ථානවලට පූජා කිරීමේ සංස්කෘතියක් 20 වැනි සියවස දක්වා මෙරට පැවති බවට ද සාක්‍ෂි බොහෝ ය. ග්‍රන්ථ ලියවා පූජා කිරීම විශාල පුණ්‍යකර්මයක් ලෙස සිංහල බෞද්ධ සමාජය සැලකුවේ ය. ‘අකරං ඒක මේකං වා බුද්ධ රූප සමං සීයා’ පුස්කොළ පොතේ ලියන එක අකුරක් බුද්ධ රූපයකට සමාන බවට ජන විශ්වාසයක් තිබිණි. එහෙත් මුද්‍රණ තාක්‍ෂණය හඳුන්වාදීමත්, කඩදාසි භාවිතයේ ආගමනයත් සමග පුස්කොළ මාධ්‍යය ක්‍රමයෙන් අභාවයට පත් විය. මෙරට පිරිවෙන් අධ්‍යාපනය තුළ පුස්කොළ ලිවීම ඉගැන්වීම කළ ද විධිමත් ආකාරයට එය සිදු නොවේ. එවැනි පසුබිමක පත්තිරු නිෂ්පාදනය, පන්හිඳ සැකසීම, පුස්කොළ ලිවීම සහ පුස්කොළ පොත් සංරක්‍ෂණය විධිමත්ව ඉගැන්වීම සඳහා කුරුණෑගල ඓතිහාසික රිදී විහාර භූමියේ ‘ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනය’ නමින් ආයතනයක් ආරම්භ කර ඇති බව කන වැකිණි. පසුගිය දිනෙක එම අධ්‍යයන ආයතනය සොයාගෙන අපි කුරුණෑගල රිදී විහාරයට ගියෙමු.

පුස්කොළ ලිවීමේ පුහුණු පාඨමාලා අවසානයේ රිදී විහාරයේ භාරකාර ධුරන්ධර, මල්වතු මහාවිහාරයේ කාරක සංඝ සභික පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමි සුරතින්සහතික පත්‍ර ලබා ගන්නා මෙහෙණින් වහන්සේ නමක්

කුරුණෑගල රිදී විහාර භූමියේ පිහිටි ‘ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනය’ මේ දිනවල නම් නිවාඩු ය. පසුගිය සෙනසුරාදා (22 වැනිදා) ආරම්භ වූ රිදී විහාර පෙරහැර මංගල්‍යය සැප්තැම්බර් මස 04 වැනිදා අවසාන මහා රන්දෝලි පෙරහැරෙන් අවසන් වන තෙක් රිදී විහාරය මහා පින්කම් පොළකි. රිදී විහාර දහම් පාසලේ ළමයි, පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනයේ ශිෂ්‍යයන් ඇතුළු රිදී විහාර දායක පින්වතුන් පෙරහැර මංගල්‍යයට ලහි, ලහියේ සූදානම් වන අයුරු ද ඇස ගැටිණි. රිදී විහාරයේ ආගමික කටයුතු භාරව වැඩ වසන, කුඹුරුලෙන ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනේ ආචාර්ය හෙම්මාතගම පියදස්සි හාමුදුරුවෝ ද අතිශය කාර්යබහුල ය. එහෙත් ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පියදස්සි හාමුදුරුවෝ පුස්කොළ ලිවීමේ පාඨමාලාව සහ එම අධ්‍යයන ආයතනයේ කාර්යභාරය අපට පැහැදිලි කිරීමට බිදුවක් හෝ මැළි නොවූහ. පුස්කොළ ලිවීමට පන්හිඳ නිර්මාණය කරගැනීමේ සිට පුස්කොළ සංරක්‍ෂණය දක්වා සරලව උන්වහන්සේ පැහැදිලි කළහ.

රිදී විහාරයේ ආගමික කටයුතු භාරව වැඩ වසන, කුඹුරුලෙන ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනේආචාර්ය හෙම්මාතගම පියදස්සි හිමි

“පුස්කොළ පොත් සංරක්‍ෂණයේදී ප්‍රධාන වශයෙන් වෙන්න ඕන එහි අන්තර්ගත ඥාන සම්භාරය සංරක්‍ෂණය කිරීම. ඥානය සංරක්‍ෂණය කරන්න නම් පුරාණ පුස්කොළ පොත් කියවන්න පුළුවන් පිරිසක් බිහි කරන්න ඕනෑ. වැදගත්ම කාරණය පුස්කොළ ලිවීමට දක්‍ෂ පරපුරක් නිර්මාණය කරන්න ඕනෑ. අවුරුදු හතරකට පෙර ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනය ආරම්භ කරනකොට පුස්කොළ පත්තිරු ලිවීමට මෙරට හිටියේ අතිශය සීමිත පිරිසක්. ඒ පිරිසත් පිටිසර විහාරස්ථානවල වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා, වෙද මහත්වරු. ඔවුන්ගෙන් බහුතරය පුස්කොළ පත්තිරු ලිවීමට පුරුදු වෙලා හිටියේ අවිධිමත් ක්‍රමයට. ඒ සියලු ගැටලු සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහිතව විධිමත්, දක්‍ෂ පළපුරුදු ඇදුරු මඬුල්ලක් යටතේ හය මාසික පුහුණු පාඨමාලාවක් විදිහට පුස්කොළ පත්තිරු ලිවීමේ පාසල අපි ආරම්භ කළා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු, භික්‍ෂුන් වහන්සේ අපේ ආයතනයේ ගුරුවරු විදිහට සේවය සපයනවා. භික්‍ෂූන් වහන්සේ, විශ්වවිද්‍යාල සිසුන්, රාජ්‍ය ආයතනවල සේවකයන්, විවිධ වෘත්තිකයන්, උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින ළමයි අපේ ආයතනයේ පුස්කොළ ලිවීමට පුහුණු වෙනවා. ඒ කිසිදු ශිෂයකුගෙන් රුපියලක්වත් අය කරන්නේ නෑ. අපේ ආයතනයේ උගන්වන ගුරුවරු කිසිදු මුදලක් අය කරන්නෙත් නෑ. සියල්ල සිද්ධ වෙන්නේ නොමිලේ. මේ වෙනකොට දෙසීයපනහකට වැඩි පිරිසක් පුස්කොළ පත්තිරු ලිවීමේ පුහුණුව ලබාගෙන විසිර ගිහින් තියෙනවා…” හෙම්මාතගම පියදස්සී හාමුදුරුවෝ පුස්කොළ ලිවීමේ කලාව දීර්ඝව පැහැදිලි කළහ.

පුස්කොළ ලිවීම සඳහා උල් කටුව සහ පන්හිඳ භාවිත කරනු ලැබේ. උල් කටුව භාවිත කරනුයේ පුස්කොළ ලේඛන කලාව පුහුණු වන ශිෂ්‍යයන් ය. ලේඛනය විධිමත්ව පුහුණු වූ වෘත්තීමය ශිල්පීන් පන්හිඳ භාවිතයෙන් පුස්කොළ ලිවීම සිදු කරනු ලැබේ. එහෙත් පුස්කොළ මත පන්හිඳෙන් සිදු කරනුයේ ලිවීමක් නොව, අක්ෂර කැපීමකි. පත්තිරු ලියා අවසාන කොට කළු මැදීමෙන් පසුව පන්හිඳෙන් කැපූ අක්ෂර හොඳින් ඉස්මතු වෙමින් දර්ශනය වේ. පන්හිඳ රිදී, පිත්තල, තඹ සහ වානේ යොදා සකස් කරගත හැකි ය. එමෙන්ම ඡත්‍ර, පත්‍ර, නළ, ගන්ඪ, ලේඛනේ යනුවෙන් පන්හිඳ කොටස් හතරකින් සමන්විත ය. පන්හිඳේ ලේඛනය (තුඩ) සකස් කරනුයේ ‘හුළං වානේ’ ලෝහයෙන් පමණි. එහෙත් කනගාටුවට කරුණ නම් පන්හි ද සකස් කරන නිර්මාණකරුවන් සොයාගැනීමට අතිශය අසීරුවීම ය. ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනයට පන්හිඳ කිහිපයක් සකස් කරගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව ද පියදස්සී හාමුදුරුවෝ අප සමග පැවසූහ.

“පන්හිඳ හැත්තෑ ගාණක් විතර අපිට අවශ්‍ය වුණා. මහනුවර උපෝෂත පුෂ්පාරාම විහාරද්ව්‍යාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාරවංශික, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක මහහිමිපාණන් පන්හිඳ සකස් කරගන්න අවශ්‍ය වියහියදම් ලබාදුන්නා. ඒත් නියම තාක්‍ෂණයට පන්හිඳ සකස් කරන නිර්මාණකරුවෙක් සොයාගන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. අවසානයේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ කලා පරපුරකින් පැවතෙන නිර්මාණකරුවෙක් තමයි පන්හිඳ නිර්මාණය කරදුන්නේ. ඒත් සියයට, 100%ක් නිවැරැදි ආකාරයේ පන්හිඳක් සකස් කරගන්න බැරි වුණා. ඒ වගේම පත්තිරු නිෂ්පාදනය කරන තල ගස් කළුනික ගානට හිඟ වෙලා තියෙනවා. තල පත්වල දැඩි හිඟයක් තියෙනවා…” නැවතත් අපි කතාවට එකතු වීමු.

තල සහ තල් ගස් දෙවර්ගයකි. උතුරු පළාතේ තල් ගස් බහුල වුවද පත්තිරු සැකසීම සඳහා තල් ගොබ භාවිත කරනු නොලැබේ. පුස්කොළ ලිවීම සඳහා භාවිත කරනුයේ තල ගොබ ය. තල ගස යනු අතු පතර විහිදී යන මහ විශාල රුක්ෂයකි. තල ගස ගැන කරුණු පෙළගැසෙනවිට ජන කවියක් මතකයට නැඟිණි.

අත්ත සොඳයි පොද වැස්සට ඉහළන්ටපිත්ත සොඳයි තද වර මදු අඹරන්ටගොබය සොඳයි දස ධර්මය ලියවන්ටඑන මල සොඳයි බොදු මඟුලට ගෙනියන්ට

පුරාණ ලංකාවේ සෙල් ලිපිවල සඳහන් ආකාරයට ‘තලන් මී වන් නොකපනු ඉසක්’ එහි අර්ථය තල සහ මී ගස් කැපීම තහනම් බව ය. එමෙන්ම පුරාණයේ තල ගසට දැඩි ගෞරවයක් දක්වා ඇති බව ද සැබෑ ය. තල ගොබ කපනුයේ අමාවක දිනක ය. එවිට තල පත්‍රයෙන් නිෂ්පාදනය වන පත්තිරුවල පැවැත්ම වැඩි ය. තල ගොබය කැපීමට සති කිහිපයකට පෙර ගොබයේ පහළ සිට ඉහළට වර පටවලින් තදින් වෙළනු ලැබේ. එවිට ගොබය දිග නොහැරී මාංසල ස්වභාවය දැඩිව වර්ධනය වේ. ගොබය කැපීමට පෙර තල ගස යට පහන් දල්වා, ඉෂ්ට දේවතා නමස්කාරය කොට ගසට නැඟ ප්‍රවේශමෙන් තල ගොබය කපා පහළට බා ගනු ලැබේ. අනතුරුව සුරක්‍ෂිතව අදාළ ස්ථානයට රැගෙනැවිත් තල ගොබයේ ඉරටු, බඩ ඉරටු පරිස්සමට ඉවත් කරනු ලැබේ. බඩ ඉරටුව යනු පත්තිරු දෙකක් එකට එකතු කර ඇති නාරටියයි. පරිස්සමට වෙන් කරගත් තල පත්තිරු රෝල් කර කැප්පෙට්ටියා කොළ, පැපොල් ගැට, වල් අන්නාසි, අරංකහ ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් සහිත හැළියක දමා හොඳින් තම්බාගෙන පවනේ වියළා ගනු ලැබේ. තම්බා, වියළා ගත් තල පත්තිරු සති කිහිපයක් සඳ එළියේ සහ පින්නේ පදම් කරනු ලැබේ. අවසානයේ ගැඩුබ හෝ පුවක් කඳක් භාවිත කරමින් පත්තිරුව හොඳින් මැද ගැනීම සිදු කරනු ලැබේ. පහසුවෙන් පන්හිඳෙන් ලිවීමේ ප්‍රමිතියට පත් වන තෙක් පත්තිරුව මැදගනු ලැබේ. අනතුරුව සම්ප්‍රදායික ප්‍රමාණයන්ගෙන් යුත් අච්චු භාවිතයෙන් අවශ්‍ය ප්‍රමාණයට පත්තිරු කපාගනු ලැබේ. අවසානයේ පොත් ගෙඩියක් සදාගනු ලැබේ.

පොත් ගෙඩිය යනු අකුරුවත් නොලිය වූ හිස් පත්තිරු සහිත පොතකි. එය පුහු ගෙඩිය යනුවෙන් ද හඳුන්වනු ලැබේ. අතීතයේ ජන සමාජයේ කෙනෙක් මියයෑමට පෙර පරිස්කාර එකතු කරගැනීමට පුරුදු වී සිටියේ ය. මියගිය පුද්ගලයා එකතු කරගත් පරිස්කාර ඥාතීන් විසින් හත්දවසේ දානයේ දී මහා සංඝරත්නයට පූජා කරනු ලැබේ. පුහු ගෙඩිය ද ඒ පරිස්කාර අතරින් එකකි. එමෙන්ම පුස්කොළ ලේඛන කලාවේ මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය යනුවෙන් සම්ප්‍රදායන් දෙකකි. ත්‍රිපිටකය, අටුවාව, ව්‍යාකරණ, සාහිත්‍ය කෘති මහා සම්ප්‍රදායට අයත් වන අතර වෙදකම, නක්ෂත්‍රය, ශිල්ප කලා ඇතුළු ලෞකික දැනුම් සම්භාරය චූල සම්ප්‍රදායට අයත් වේ. තල පත්‍රයෙන් සකස් කරගන්නා පත්තිරුවේ හොඳම කොටස භාවිත කරනුයේ ත්‍රිපිටකය ලේඛනගත කිරීමට ය. එමෙන්ම පත්තිරු ලිවීමේ සම්ප්‍රදායක් ද පවතී.

පත්තිරු පදම් කරන අයුරු

“සමානි සම පාදානි – සමාංසානි සමං සිර:අක්‍ෂරානි ප්‍රතිෂ්ටව්‍යා – මෘදුනී ලලිතානි ච”

අක්‍ෂර සහ ඉස්පිලි පාපිලි ද සමානව ලියවිය යුතු ය. අක්‍ෂරවල පාද සමාන වියයුතු ය. අකුරු අතර පරතරය එක සමාන වියයුතු ය. අක්‍ෂර මුදුව ලියවිය යුතු ය. පත්තිරුවේ දෙපැත්තේම ලිවීම සිදු කළ බැවින් පත්තිරුවේ මැද කොටු දැල නොකැපෙන ආකාරයට මාංසලය මත පමණක් අක්‍ෂර කැපීම සිදු කළ යුතු ය. මෘදු බවින් යුක්තව සිත්ගන්නාසුලු ආකාරයට අකුරු කැපීම පුස්කොළ පොතට ද වටිනාකමකි. එමෙන්ම පුස්කොළ ලිවීමේ අක්ෂර ශෛලීන් පහකි. හසකුරු (හංසයකුගේ ගමන් විලාසය පෙන්වන අක්‍ෂර. තුඩු සහිත අකුරු ලාලිත්‍යයෙන් යුක්තය) මහනුවර යුගයේ දී බහුලව ත්‍රිපිටක පොත් ලියා ඇත්තේ හසකුරුවලිනි. ගජකුරු (හස්තියකුගේ ගමන් විලාසය පෙන්වන අක්‍ෂර. දිගැටි විශාල අකුරු වේ) පිරුවානා පොත් වහන්සේ ලිවීමට භාවිත කර ඇත්තේ ගජකුරු ය. සිහකුරු (සිංහයකුගේ මුහුණ වැනි අක්‍ෂර ය. වෘත්තාකාර විශාල අකුරු ය) සිහකුරු අක්‍ෂර ශෛලීන් භාවිත කර ඇත්තේ ද පිරුවානා පොත් වහන්සේ ලිවීම සඳහා ය. මුතුකුරු (ඕවලාකාර හැඩයක් සහිත සියුම් අකුරු ය) කාකාක්ෂර (විධිමත් අක්ෂර ශික්ෂාවක් නොලද ග්‍රාමීය ලේඛන කලාවට භාවිත කරන ලද අකුරුය) බොහෝවිට දේශීය ඥානය සම්බන්ධ පුස්කොළ පොත් ලියා ඇත්තේ කාකාක්ෂරයෙන් බැවින් කාකාක්ෂර පුස්කොළ පොත් අතිශය වැදගත් ය. පාරම්පරික වෙදකම, හෙළ සටන් කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, නක්ෂත්‍රය වැනි පොත් ලියවීමට භාවිත කර ඇත්තේ කාකාක්ෂර ය. එම අක්ෂර ශෛලීන් ද සකස් වී ඇත්තේ ගුරුකුල අනුවය. ගෝලයා ලියනුයේ ගුරුවරයා ලියන අක්ෂරමය. එමෙන්ම ඇඟිලි තුඩුවලින් පන්හිඳ හැසිරවීමේ කලාවක් ද තිබේ. පුස්කොළ බැඳීමේ සම්ප්‍රදායක් සහ ගබඩා කිරීමේ ක්‍රමවේදයන් ද තිබේ. පුස්කොළ පිටපත් කිරීම ද වෙනම කලාවකි. නැවතත් පියදස්සී හාමුදුරුවෝ හඬ අවදි කළහ.

“තල පත්‍ර කැපීමේ සිට පත්තිරු ලියා පුස්කොළ පොත් සංරක්‍ෂණය දක්වා සියලුම විෂයන් ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනයේ දී උගන්වනවා. මාස හයේ පුහුණුවේදී මාස දෙකහමාරක් න්‍යායික කරුණු උගන්වනවා. ඉතිරි කාලයේදී ප්‍රායෝගික පුහුණුව ලබාදෙනවා. අපේ අධ්‍යයන ආයතනය ආරම්භ කළේ ශිෂ්‍යයන් හතළිස්දෙනකුගෙන්. මේ වෙනකොට පැහැදිලි සංවර්ධනයක් වෙමින්, පුස්කොළ ලේඛන කලා පුහුණුව ලබාගැනීමට පැමිණෙන ශිෂ්‍යයන්ගේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරනවා. පුස්කොළ ලේඛනය ඉගෙනීමට 2000 වර්ෂයෙන් පසු පරපුර දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම ඔවුන් දේශීය සම්ප්‍රදායන්, සම්ප්‍රදායක ඥානය පිළිබද අතිශය සංවේදී බවක් පෙන්නුම් කරනවා. ඒ නිසා තරුණ ශිෂ්‍යයන් පිරිසකට පුස්කොළ පත්තිරු නිෂ්පාදනය සහ ලිවීමේ කලාව ඉගැන්වීමට අවස්ථාව ලැබෙනවා. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි පාඨමාලාවක් විදිහට පවත්වාගෙන යන මේ පාඨමාලාව හැදැරීමට කැමැති ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. පාඨමාලාව අවසානයේ ලබාදෙන සහතික පත්‍රය නිකුත් කරන්නෙත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ මගින්. ජාති, ආගම්, කුල, වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙක්ට අප සමග එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඓතිහාසික රිදී විහාරයේ භාරකාර ධුරන්ධර, මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවන්ගේ උපදෙස් මත ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනය ජාත්‍යන්තර තත්ත්වයට දියුණු කිරීමට අවශ්‍ය අඩිතාලම අපි සකස් කරගෙන යනවා…” පියදස්සී හාමුදුරුවෝ අනාගත සැලසුම් ද විස්තර කළහ. පුස්කොළ කලාව ඉගෙනගැනීමට කැමැති ඔබට අනාගතය සුබ ය.

පුස්කොළ පොත්වල තිබෙන භෞතිකමය වටිනාකම අගයමින් භෞතික වශයෙන් පුස්කොළ පොත් සංරක්‍ෂණය කිරීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන බෞද්ධ සංවිධාන කටයුතු කරමින් සිටින බව පෙනේ. එහෙත් පුස්කොළ පොත්වල අන්තර්ගත ඥාන සම්භාරය සංරක්‍ෂණය කිරීම සම්බන්ධයෙන් එම ආයතනවල අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි. එවැනි පසුබිමක මානව ප්‍රජාවගේ යහපත පිණිස, නූතන විද්‍යාත්මක විෂයන් සමග ගළපමින් නූතන ගැටලු විසඳාගැනීමට පුස්කොළ පොත්වල අන්තර්ගත ඥාන සම්භාරයේ වැදගත්කම සමාජයට අවබෝධ කරදීම සහ පුස්කොළ පොත් සංරක්‍ෂණය සඳහා රිදී විහාර ‘ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන පර්යේෂණ ආයතනය දරන වෑයම සුවිශේෂී ශාසනික මෙහෙවරක් බව සැබෑ ය. ඒ මහා ශාසනික කටයුත්ත සාර්ථක කරගැනීමට රජයේ උපරිම සහයෝගය ලබාදිය යුතු බව ද සැබෑ ය. බෞද්ධ සමාජයෙන් ද හැකි උපරිම සහයෝගය ලබාදිය යුතු ය.

මෙරට ඓතිහාසික ලේඛන සම්ප්‍රදාය දෙවැනි වන්නේ චීන මූලාශ්‍රවලට පමණි. මෙරට සම්ප්‍රදායක අත් ලිපිවලට ජාත්‍යන්තරයේ ඉහළ වටිනාකමක් හිමි වී ඇති බව ද වාර්තා වේ. එහෙත් හෙළ පුස්කොළ පොත් ලෝක උරුමයක් බවට පත් කරගනිමින් සංචාරක කර්මාන්තයට ශක්තියක් කරගැනීමට මෙරට කිසිදු රජයක් කටයුතු නොකිරීම ජාතියේ කරුමයකි.

තරංග රත්නවීර