රෑක තනියම කාමරේ ලයිට් නිවලා ඇඳට වෙලා ඇස් පියාගත්තම, නැත්නම් උදේම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් තමන්ගේ මූණ දිහා බලද්දී හිතට එන පළමුවැනි හැඟීම මොකක්ද? මහන්සියක් විතරක්ම නේද? මුළු දවසම මැරීගෙන දුවල දුවලා, අන්තිමට හිත ඇතුළේ ඉතිරි වුණ පාළුවක්, කියාගන්න බැරි ලොකු හිස්කමක් විතරක් නේද? මේ වචන…
රෑක තනියම කාමරේ ලයිට් නිවලා ඇඳට වෙලා ඇස් පියාගත්තම, නැත්නම් උදේම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් තමන්ගේ මූණ දිහා බලද්දී හිතට එන පළමුවැනි හැඟීම මොකක්ද? මහන්සියක් විතරක්ම නේද? මුළු දවසම මැරීගෙන දුවල දුවලා, අන්තිමට හිත ඇතුළේ ඉතිරි වුණ පාළුවක්, කියාගන්න බැරි ලොකු හිස්කමක් විතරක් නේද? මේ වචන කියවද්දී ඔබේ හදවත මොහොතකට නතර වෙලා, “මේ කියන්නේ මම ගැනමයි නේද” කියලා ඔබට හිතෙයි. ඔව්, මේ ලියන්නේ අද සමාජයේ හුස්ම හිරවෙමින් ජීවත් වෙන ඔබ ගැනමයි.
ටිකක් නතර වෙලා හිතන්න. අද ඔබ ඇඳලා ඉන්න ඇඳුම, අතේ තියෙන ෆෝන්එක, ඔබ පදින වාහනය…. මේ හැම දෙයක්ම ගත්තේ ඇත්තටම ඔබේ සතුටටද? නැත්නම් “අනිත් අය මොනවා හිතයිද, මාව පහත් කරලා මනියිද” කියන බයටද?
අපි රස්සාව කරන්නේ අපිට අකැමැති මිනිස්සුන්ට පේන්නයි. අපි ලේ කඳුළු කරලා හොයන සල්ලි වියදම් කරන්නේ, ඇත්තටම අපිට කිසිම වටිනාකමක් නැති මිනිස්සුන්ව සතුටු කරන්නයි. අපේ ලේ, මස්, නහර දිය කරලා හොයන සල්ලිවලින් අවසානයේ සතුටු සැප විඳින්නේ කවුද කියලා ඔබ මොහොතකටවත් හිතුවාද?
මහා පරිමාණ සමාගම් සහ බැංකු පද්ධතීන් අපේ මේ “ළාමක මනෝභාවයන්” සහ දුර්වලකම් ඉතා සියුම්ව පාවිච්චි කරනවා. ඔවුන් අපේ ඔළුවට ව්‍යාජ අවශ්‍යතා මවල දීලා අපිට “ලෝන්” සහ “ක්‍රෙඩිට් කාඩ්” දීල දීලම අපිව සදාකාලික වහලුන් බවට පත් කරලා ඉවරයි. අන්තිමට අපිට අපේම මනස අහිමි වෙලා, ජීවිතේ කියන්නේ තනිකරම මිරිඟුවක් විතරක්ම වෙලා !
බොරු ෂෝ එකට අහුවෙන ලොකුම උගුල,
අද කාලේ දරුවකුගේ උපන්දින සාදයක් හෝ මංගල උත්සවයක් ගන්න වෙලාවට අපි කරන්නේ මොකක්ද? “නෑදෑයෝ මොනවා කියයිද?” ඔෆිස් එකේ අය ආවම මදිකමක් වෙයිද?” කියලා හිතලා තමන්ට දරන්න බැරි තරම් ලොකු හෝටල් වෙන් කරලා, ලක්ෂ ගණන් ණය වෙලා, රත්‍රං බඩු උකස් කරලා අපි ලොකු ෂෝ එකක් දානවා.
හැබැයි ඇත්තම යථාර්ථය මොකක්ද? ඒ උත්සවයට ඇවිත් කාලා බීලා යන අයගෙන් බහුතරයක්ම කරන්නේ හෝටලයෙන් එළියට බහින ගමන් කෑමේ අඩුපාඩු කියවන එක හරි, පිටිපස්සෙන් හිනාවෙන එක හරි විතරයි. අන්තිමට අර එක දවසක බොරු පෙනුම වෙනුවෙන් ගත්ත ණය ටික ගෙවන්න මාස ගණනාවක්, අවුරුදු ගණනාවක් තිස්සේ මස් ලේ නහර දිය කරලා දුක් විඳින්න වෙන්නේ ඔබට විතරයි. එදාට අර සාදයට ආපු කිසිම කෙනෙක් ඔබේ දුකට පිහිට වෙන්න එන්නේ නැහැ.
ටිකක් හිතන්න… අපි මේ කරන්නේ ඇත්තටම “මඟුල් කෑමක්ද”? නැත්නම් අනෙක් අයට පේන්න, සෝබනයට, ජීවිතයේ බොහෝ කාලයක් තිස්සේ විඳවන්න වෙන “මඟුලක් නැටීමක්ද”? මේ ව්‍යාජ ආටෝපය වෙනුවෙන් තමන්ගේ මුළු අනාගතයම උකසට තියන එක මොන තරම් ඛේදවාචකයක්ද?
මාසේ අන්තිමට පඩිය අතට එද්දිම ක්‍රෙඩිට් කාඩ් බිල් එකට, ලීසිං එකට, ලෝන් එකට කැපිලා යද්දී පපුව හෝස්ගාලා පත්තු වෙනවා නේද? තව කොච්චර කල් මේ විදිහට මැරීගෙන වැඩ කරන්න වෙයිද මට මේ ණය ටික ගෙවලා ඉවර කරන්න? කියලා හිතෙද්දී ඇස්වලට උනන කඳුළු පිසදාගෙන සිවිලිම දිහා බලන් සුසුම් හෙළන මිනිස්සු අද ඕනෑ තරම් ඉන්නවා. ලෝකෙට පේන්න ණය වෙන එක නිදහසක් නෙවෙයි, ඒක අපි අපේම අතින් අපේම බෙල්ලට දාගත්ත මළ පුඩුවක්.
ණය නැති බවේ සැබෑ සුවය,
මීට අවුරුදු 2500 කට කලින් බුදුරජාණන් වහන්සේ ගිහියකුට විඳිය හැකි ඉහළම සැපයන් හතරක් ‘අනණ සූත්‍රයේදී’ දේශනා කළා. ඒ අතරින් උන්වහන්සේ ‘අනණ සුඛය’ හෙවත් “ණය නැති බවේ සතුට” අනෙක් හැම සැපයකටම වඩා උතුම් බව වදාළහ. ණය නැති මනුස්සයා පැදුරේ නිදාගත්තත් එයාට දැනෙන සුවදායක නින්ද, ලෝකෙට පේන්න ජීවත් වෙන කෝටිපති ණයකාරයකුට සුවපහසු යහනකවත් ලැබෙන්නේ නැහැ.
නූතන මනෝවිද්‍යාවේ ‘Glass Mind Theory’ (වීදුරු මනසක්) ලෙස හඳුන්වන, බුදුදහමේ එන ‘උපේක්ෂාව’ ඇති මිනිසා තීරණ ගන්නේ බොහොම තර්කානුකූලවයි. සල්ලි කියන්නේ ලෝකෙට පේන්න විසිකරන දෙයක් නෙවෙයි. සල්ලි කියන්නේ ඔබේ ආත්ම ගෞරවය. නමුත්, සල්ලි ටිකක් අතට ගත්ත සැණින් පරණ ණය මතක් වෙලා හිත වධ දෙනවා නම් එහි මොන නිදහසක්ද?
කවදා හරි දවසක ඔබ වටා ඉන්න, ඔබ දිරිමත් කරන මේ රඟපාන සියලු දෙනා ඔබව දාලා යනවා. එදාට ඔබට ඉතිරි වෙන්නේ ඔබත් ඔබේ සන්සුන් කරගත් මනසත් විතරයි. ඒ නිසා අදම ඔය බොරු රඟපෑම නතර කරන්න. රැල්ලට ගහගෙන යන, මායාවන් අස්සේ හිරවුණ 99% ක් මිනිස්සු අතරින් අයින් වෙන්න.
අදම ඔබේ හදවතින්ම මේ තීරණය ගන්න,
“මම අද ඉඳන් අනුන්ව සතුටු කරන්න, ලෝකෙට බොරු පෙනුමක් මවන්න කවදාවත් ණය වෙන්නේ නැහැ. මගේ දහදිය මහන්සියෙන් උපයන සල්ලි මගේ සැබෑ සතුට වෙනුවෙන් විතරක්ම කළමනාකරණය කරගන්නවා. ලද හැටියට සතුටට පත් වෙනවා. මාස අවසානයේ පපුව පත්තු කරවන, ඊට නින්ද අහිමි කරන මේ සියලුම “ණය බරින්” මම ඉක්මනින්ම නිදහස් වෙනවා”
ඔබේ මනස විනිවිද පෙනෙන වීදුරුවක් කරගන්න. ණය නැති, බර නැති සැබෑ නිදහස අදම විඳින්න !
‘බෞද්ධ’ මනෝවිද්‍යාවේදී,රාජකීය පණ්ඩිත නිල්ලඹ කමලජීව භික්ඛු












