සිංහල සාහිත්‍යයේ තිත්ත ඇත්ත… මේ ලිපිය සම්පාදනය කෙරෙන්නේ සාහිත්‍යය හා විචාරය පිළිබඳ අපගේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමට නොවේ. මෙහිදී උද්ධෘත කොට දැක්වෙන්නේ අපගේ මතකයට නගා ගැනීම තරමක් අසීරු වූ එක්තරා යුගයකදී මේ රටේ සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි වරින්වර මතු වූ ප්‍රවණතා පිළිබඳ තතුවිත්ති…

සිංහල සාහිත්‍යයේ තිත්ත ඇත්ත…

මේ ලිපිය සම්පාදනය කෙරෙන්නේ සාහිත්‍යය හා විචාරය පිළිබඳ අපගේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමට නොවේ. මෙහිදී උද්ධෘත කොට දැක්වෙන්නේ අපගේ මතකයට නගා ගැනීම තරමක් අසීරු වූ එක්තරා යුගයකදී මේ රටේ සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි වරින්වර මතු වූ ප්‍රවණතා පිළිබඳ තතුවිත්ති ය. මේ අදහස් පළකරන්නේ කේ. ජයතිලක නම් වූ කෘතහස්ත නිර්මාණකරුවා ය; චින්තකයා ය. මේ අතීත කතා ඔහු විසින් කරළියට ගෙන එනු ලබන්නේ දිවිගමනේ පශ්චිම භාගයේ දී ය; ජීවිතයේ දශක අටක් ඉක්ම වූ පසුව ය.

ජීවිතයේ දශක අටක් ගෙවා දැමූ මිනිසකු තුළ, විශේෂයෙන් නිර්මාණවේදියකු තුළ සත්‍යවාදී වීමේ කැමැත්තක් හටගැනීමේ සම්භාවිතාවක් පවතින බව පොදුවේ පිළිගැනෙයි. කලාතුරකින් ඊට වෙනස් ආකාරයේ පුද්ගලයන් ද (ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි) සිටිය හැකි වෙතත් ඒ වැඩි ප්‍රතිශතයක් නම් නොවේ. කාලාම සූත්‍රයේදී බුදුන් වහන්සේ දෙසූ කරුණු සම්පිණ්ඩනය කරමින් කේ. ජයතිලකයන් පොත ආරම්භයේදීම පවසන්නේ කුඩා කාලයෙහි සිට මුඛපරම්පරාවෙන් පැවත එන ප්‍රවෘත්ති මාත්‍රයෙන් වත්, වැඩිහිටියන් විශ්වාස කළ නිසා යමක් සත්‍ය යැයි සිතාගෙන වත්, යමෙකු විසින් කියූ පලියට වත්, පුහු තර්ක නිසාවත්, තමා සිතාගත් දෙයක් අනුමානයෙන් තීරණය කර ගැනීමෙන් වත්, දෘෂ්ටිගතවීමකින් වත්, යමක් ප්‍රකාශ කරන තැනැත්තාගේ ගුණයහපත්කම් ගැන (කරුණු නොවිමසා) පැහැදීමෙන් වත්, කියන තැනැත්තා

ගරු කටයුතු තැනැත්තකු ලෙස පූර්ව විනිශ්චයක යෙදීමෙන් වත්, ඕනෑම දෙයක් පිළිගත යුතු නොවන බව ය. කවුරුත් පාහේ දන්නා මේ කරුණු කිහිපය යළි උද්ධෘත කර දක්වන්නට සිතුණේ මේ ලිපියේ අඩංගු කරුණු සලකා බැලීමට සිදුවන්නේ ද කාලාම සූත්‍රයට අනුව වන හෙයිනි.

මේ අදහස්, ආකල්ප සංගෘහිතව ඇත්තේ කේ. ජයතිලකයන්ගේ අභාවයට වසර දෙකකට පමණ පෙර – 2009 වසරේදී පළ වූ ගුරු මුෂ්ටි නමැති පොතෙහි ය. කෘතියේ ප්‍රස්තාවනාවෙන් ඔහු ගෙනහැර දක්වන්නේ විද්‍යාඥයකු මෙන් ම එක්තරා දුරකට දාර්ශනිකයකු ද වූ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ගේ අවධාරණයකි.

ප්ලේටෝ මගේ මිත්‍රයෙකි;ඇරිස්ටෝටල් ද මගේ මිත්‍රයෙකි;එසේ වුවත් සත්‍යය මගේ හොඳම මිත්‍රයා ය.

‘ඇත්තටම සත්‍යයට වඩා හොඳ මිතුරෙකු කාට නම් සිටිය හැකි ද?’ කියා මීටම අදාළව ප්‍රශ්නයක් නගන්නේ ද කේ. ජයතිලකයන්ම ය.

පිටු 129 කට සීමා වූ මේ කුඩා කෘතිය කොටස් 2 කින් යුක්ත ය. එහි මුල් කොටස වෙන්වන්නේ ‘සාහිත්‍යය’ සම්බන්ධයෙනි. දෙවැනි කොටස කතා කරන්නේ බුදුදහම හා විශ්වාස පද්ධතීන් ගැන ය.

විසිවන සියවසේ 4-5 වන දශකවලදී පටන් 21 වන සියවසේ වසර 25 ක් ඉක්ම යන තුරුම අප අඛණ්ඩවම කතා කරන නිර්මාණ සාහිත්‍යය කෘති ගැන මෙන් ම ඒවා රචනා කළ විශිෂ්ටයන් පිළිබඳව ද අප නොදන්නා කතා ගණනාවක් මේ කුඩා පොත නූතන පාඨකයා හමුවේ නිරාවරණය කරයි. මේ නිරාවරණය පාඨකයාට මතක් කරදෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය, විරාගය වැනි නිර්මාණ මේ රටේ බිහිවූ විශිෂ්ටතම නිර්මාණ යැයි ද ඒ හා සමාන විශිෂ්ට නිර්මාණ මේ පොළොවේ යළි බිහිවිය හැකි නොවන බවට ද ඇතැම් ශාස්ත්‍රාලයීය විද්වතුන්, නිර්මාණවේදීන් සිංහල සාහිත්‍යය සම්භාෂණවලදී පළ කර ඇති අදහස් හා ඒවා යළි විමසා බැලිය යුතු ද යන ප්‍රශ්නයයි.

මහගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මෙන් ම කිවියර මහගම සේකර ද සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රබල සලකුණු ශේෂ කර ඇති බව අවිවාදිත ය. එහෙත් සෑම කල්හිම, සදාතනිකවම ඒ සලකුණුවලට ඒ අයුරින්ම මුද්‍රා තබන්නට ඉඩ තැබිය යුතු ද? ඒවාට අභියෝගයක් එල්ල විය හැකි සියලු ඉසව් වසා තැබීම සාධනීය ප්‍රයත්නයක් විය හැකි ද? තවමත් අප කියවන සාහිත්‍ය විචාර කෘතියක, අප කියවන සාහිත්‍ය දේශනයක නිසැකවම, නොවැරදීම සඳහන් වන්නේ මේ නම් කිහිපය නොවන්නේ ද?

ආසන්න දිනෙක (අගෝස්තු 12) 2026 රාජ්‍ය සාහිත්‍ය උලෙළට පූර්වගාමීව, ‘පරිඥානීය ධනවාදය, කෘත්‍රිම බුද්ධිය සහ සාහිත්‍යය’ මැයෙන් මහාචාර්ය ප්‍රභා මනුරත්න විසින් ඉදිරිපත් කරනු ලැබූ අතිශයින් කාලීන දේශනය මීට මඳක් වෙනස් මගක් ගෙන තිබූ අතර එහි ඡේද කිහිපයකින් සාක්කි සැපයුණේ ද මේ තත්ත්වය පිළිබඳව ය. ‘කෘත්‍රිම බුද්ධියට විහිළු තේරෙනවා ද?’ යන අනුමාතෘකාව ඔස්සේ දේශන පිටපතේ V කොටසින්, ‘මම ගැහැනියක් නෙවෙයිලු’ යන කෘතියේ අඩංගු කවියක් ඉස්මත්තට ගනිමින් ඇය මෙසේ කියයි.

මේ කවිය විහිළුවක් ලෙස ගැනීම නිසා කිවිඳිය මා සමග අමනාප නොවෙතියි සිතමි. එහෙත් අප ඉහතින් ද සාකච්ඡා කළ පරිදි මෙහි ‘විහිළුව’ ඇත්තේ, නන්දා පියල්ට කියන කතාව තුළ ය. සාහිත්‍යය පංති කාමරවල, විභාග ප්‍රශ්නෝත්තරවල තාමත් ගම්පෙරළිය වමාරමින්, අප වැනි ඇදුරන් ඊට දෙන කෙළවරක් නැති අර්ථ අතර මේ කිවිඳිය සමස්ත සිංහල සාහිත්‍යයේම මුදුන් මල්කඩක් වැනි වූ ගම්පෙරළියේ නන්දාට සිදු වන ඇබැද්දිය, නූතන යථාර්ථයට රැගෙන එන්නේ සම්මත භාෂාව පමණක් නොව මහා සාහිත්‍යයේ එන ඇතැම් යෙදුම් පවා ක්ෂුද්‍රකරණයට (trivialize) ලක් කරමිනි.

(දේශන පිටපත – 41 පිටුව)

කෙසේ වුව ද කේ. ජයතිලකයන් මේ මතක ආවර්ජනා අක්ෂර බවට පත්කරන්නේ විරෝධයක්, කෝන්තරයක් හේතුවෙන් නම් නොවන බවට සහතිකයක් නිකුත් කරන්නේ ‘මාර්ටින් වික්‍රමසිංහ හා එදිරිවීර සච්චන්ද්‍ර’ නම් වූ පොතේ 5 වන පරිච්ඡේදයයි.

සෙනරත් පරණවිතාන, ඩබ්ලියු ඒ. සිල්වා, රැ. තෙන්නකෝන්, වල්පොල රාහුල හිමියන් අතුරෙන් එක් එක් අය වරක් හෝ දෙකක් හමුවී වචන දෙක දෙක තුන බැගින් කතා කර ඇතත් ඒ කිසිවෙකුගේ ළඟ ඇසුරක් නොවී ය. මුනිදාස කුමාරතුංගයන්ගේ දේශනයකට සවන් දී ඇති නමුත් කතා බස් කර නැත. පියදාස සිරිසේනගේ නම් ලබා ඇත්තේ දර්ශන මාත්‍රය පමණකි.

මෙවන් වියළි පසුබිමක් යටතේ මාර්ටින් වික්‍රමසිංහත් එදිරිවීර සරච්චන්ද්‍රත් පසුව හෝ දැන හැඳින ළඟින්ම ඇසුරු කරන්නට ලැබීම මහත් වාසනාවක් කොට සැලකිය හැකි ය. ඒ දෙදෙනාගෙන් කෙනෙකු ළඟට පැමිණි අයෙකුට හැඟෙනුයේ මහා කන්දක් අසලට ආ අයෙකුට දැනී යා හැකි අන්දමේ අල්පමානී හැඟීමකි. කතාවට පිවිසි විට දියලුම ඇල්ලෙනුත් දුන්හිඳ ඇල්ලෙනුත් පරිද්දෙන් දැනුම් ජලධාරාව ඔවුන් කෙරෙන් නොකඩවා පහළ ගලා බසී. පිපාසිතයන්ට ඉන් ඇති තරම් දැනුම ලබා ගෙන තෘප්තිමත් වීමට පුළුවන්කම තිබිණ. වඩා උස් ශිඛරයකින් හෙමිහිට සුන්දර ලෙස ගලා බස්නා දියලුම ඇල්ල වික්‍රමසිංහටත් ඊට වඩා මිටි තැනක සිට වැඩි ජලධාරාවක් ප්‍රබල ලෙස කඩා හැලෙන දුන්හිඳ ඇල්ල සරච්චන්ද්‍රටත් සමාන කළ හැකි ය.

(ගුරු මුෂ්ටි – 65-66 පිටු)

මේ අවධාරණය ද සමගින් මෙසේ එළිදැක්වෙන්නේත් ඒ අතීතයටම නෑකම් කියන තවත් අන්දරයකි.

වික්‍රමසිංහ සිංහල සාහිත්‍යයේ නැගීම ලියූ විට දියලුම ඇල්ලෙන් රන් පිළිමයක් සේදී ඔප වැටී යන්නාක් මෙන් පැරණි සම්භාව්‍ය සාහිත්‍යය ඔප වැටී දීප්තිමත් විය. සරච්චන්ද්‍ර Modern Sinhalese Fiction ඉංග්‍රීසියෙනුත් එම අදහස් ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ නමින් සිංහලෙනුත් ලියූ විට පුංචි පැළෑටියක් දුන්හිඳ ඇල්ලට අසු වී කීතු කීතු වී යන්නාක් මෙන් එතෙක් වැඩෙමින් පැවති සිංහල නවකතාව කැබලි කැබලි වී ඒ ජලයෙහිම ගිලී ගියේ ය. එසේ විනාශ නොවී ඉතිරි වී ගියේ වික්‍රමසිංහයන්ගේ යථාර්ථවාදී ශාඛාව පමණකි.

මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍ය කලාව ලිවී ය. එදිරිවීර සරච්චන්ද්‍ර සාහිත්‍ය විද්‍යාව ලිවී ය. මේ දෙකම ස්වාධීන කෘතීන් හැටියට ඉදිරිපත් වුවත් ඒවායේ ඇති ස්වාධීනත්වයක් නොවී ය. දෙදෙනා දෙපැත්තකින් ඉඳ ගෙන කෙළේ එවකට කේම්බි්‍රජ්හි ප්‍රචලිත වෙමින් පැවැති ප්‍රායෝගික විචාරය අනවසරයෙන් ලිහිල් සිංහලෙන් ලිවීමක් පමණක් විය.

මහා පිපිරීම සිදු වූයේ මේ අතරවාරයේදී ය. ඒ වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නිකුත් වීමත් සමග ය. ඩබ්ලියු.ඒ. සිල්වාගේ විජයබා කොල්ලය හැරුණු විට එය එතෙක් ලියවුණු හොඳම නවකතාව විය. එහෙත් විජයබා කොල්ලය ඍජු පරිවර්තනයක් යයි සිතෙන තරමට යුරෝපීය නාටකයක අනුකරණයක් විය.

ගම්පෙරළිය පිටවීමත් සමගම කතුවරයාටත් වඩා ඒ ගැන සිතට ගෙන තිබුණේ එහි විචාරකයා වූ සරච්චන්ද්‍ර ය. ගම්පෙරළිය හොඳ නවකතාවක් වුවත් මහා නවකතාවක් නම් නොවේ. මහා නවකතාවක් විය හැක්කේ එමගින් ඉදිරිපත් කෙරෙන සමාජ තත්ත්වයට, පරිසරයට, සංස්කෘතියට අනුකූලව එහි චරිතවල, අඩු තරමින් ප්‍රධාන චරිතවලවත් චෛතසික ක්‍රියාකාරිත්වය ද විවරණය වෙතොත් පමණකි.

(ගුරු මුෂ්ටි – 67 පිටුව)

මේ අදහස ගැන මධ්‍යස්ථව සිතාබැලීමට අවකාශයක් විවර විය යුතු නොවන්නේ දැයි අපට ද හැඟී ඇති මුත්, ඒ ගැන විවෘතව අදහස් පළකර ඇත්තේ අතළොස්සකි. ‘යථාර්ථවාදී රීතිය’ අතික්‍රමණය කරමින් ලෝකය දිගු ගමනක යෙදී ඇතත් අදටත් අපට හමුවන්නේ ගම්පෙරළියේ යථාර්ථවාදය ගැන පුන පුනා කතා කරන්නෝ ය.

මිනිසාගේ චෛතසික ක්‍රියාකාරිත්වය වඩා සක්‍රීය ලෙස හා පාඨක මනසට කාවදින ආකාරයෙන් නිරූපණය කර ඇත්තේ ජී.බී. සේනානායකයන්ගේ ‘මේධා’ නවකතාව නොවන්නේ දැයි කුකුසක්, විචිකිච්ඡාවක් දරාගෙනම කලක් මුළුල්ලේ අපි නිහඬව සිටියෙමු. රුසියානු මහාලේඛක පියදෝර් ඩොස්ටොයෙවුස්කිගේ මනෝවිශ්ලේෂණීය නිර්මාණ ප්‍රතිභාවේ සෙවණැල්ලක් මේ රට තුළදී අපට පෙනී ගියේ ද ජී.බී. සේනානායකයන්ගේ නවකතා කිහිපයකිනි. තවත් පැත්තකින් සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතා ද්වය අප බෙහෙවින් ආකර්ෂණය කර ඇති සන්දර්භයක් තුළ ඒ සම්බන්ධයෙන් අප නොසිතූ, අපට මතක් කර ගත හැකි නොවූ තවත් පැත්තක් හෙළිපෙහෙළි කරන්නේ ද මේ පරිච්ඡේදයම ය.

එදිරිවීර සරච්චන්ද්‍ර නවකතාකරුවෙක් වත් කෙටිකතාකරුවෙක් වත් නොවේ. ඒ අංශයන්හි ලා ඔහුගේ සියලු කෘති අසාර්ථක ය. ඔහුගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, විලාසිනියකගේ ප්‍රේමය යන කෘතීන්හි අපූරු ගීතවත් බවකින් ගලා යන භාෂා ශෛලියක් ඇත. නවකතාවක විශිෂ්ටත්වය ගීතවත් බස් වහරින් පමණක් නිර්ණය කළ හැකි නොවේ.

(ගුරු මුෂ්ටි – 71 පිටුව)

මේ රටට විද්වතුන්ගේ අඩුපාඩුවක් නොපවතින මුත්, මෙය චින්තකයන්ගේ කාන්තාරයක් ද යන ප්‍රශ්නාර්ථය සමග එකෙළ-මෙකෙළ වෙමින් සිටින අතරේ ලියෝ තොල්ස්තෝයිගේ ‘යුද්ධය හා සාමය’ හෝ ඩොස්ටොයෙවුස්කිගේ ‘අපරාධය සහ දඬුවම’ හෝ (එවැනි නවකතා) මෙහි ලියැවී ඇත්දැයි යනුවෙන් නැඟුණ ප්‍රශ්නයට එක්තරා පිළිතුරක් සැපයුණේ ද කේ. ජයතිලකයන්ගෙනි. ගමේ සෞන්දර්යය හා ගැමියාගේ නිකැළැල් දිවිසැරිය ගැන බොහෝ විට, බොහෝ ලේඛකයන් ඉහළින් පාරම්බාන සන්දර්භයක් තුළ කේ. ජයතිලක ඒ ගැන කියන්නේ මෙවැනි කතාවකි.

ගම පුංචි නගරයක් වන්නා සේම පුංචි ලෝකයක් ද වෙයි. වඩාලාත් ඒ අභ්‍යන්තරික පක්ෂයෙනි. මිනිසා තුළ බල පවත්නා ආදරය, කරුණාව, තෘෂ්ණාව, ක්‍රෝධය, බලකාමය ආදිය අතින් කොහි සිටියත් මිනිසා එකෙක්ම වෙයි. ඒවායේ ප්‍රමාණය වෙනස් විය හැකි ය. එසේම ඒවා ආවිෂ්කරණය වන මාර්ග ද වෙනස් වෙයි. මිනිසා තුළ පවත්නා මේ හැඟීම් විශාල සමාජයක තරම් ප්‍රබල ලෙස කුඩා සමාජයක් තුළ ආවිෂ්කරණය වන්නේ නැත. ඌනා මූනෝ හෝ

ගාර්ෂියා ලෝකා සිය චරිත මගින් විදාරණය කරන හැඟීම් ස්පාඤ්ඤය වැනි විශාල රටක් තුළ විනා ලංකාව වැනි කුඩා රටක සමාජය තුළින් ඒ තරම් ප්‍රබල ලෙස දැක්වීම අපහසු වනු ඇත. මෙසේම යුද්ධය හා සාමය හෝ අපරාධය හා දඬුවම වැනි කෘතියක් කුඩා සිංහල සමාජය පසුබිම් කර ගෙන ලිවිය හැකියයි නොසිතේ.

(ගුරු මුෂ්ටි – 31-32 පිටු)

ගොන්චරෝෆ් නමැති රුසියානු ලේඛකයා විසින් ලියන ලද ‘ඔබ්ලමෝෆ්’ නමැති අපූරු නවකතාව සිංහල භාෂාවට නැගූ ආනන්ද අමරසිරි, වරක් පුවත්පතකින් (සම්මුඛ සාකච්ඡාවකින්) ප්‍රකාශ කර තිබුණේ ‘විරාගය’ ලියන්නට පෙර වික්‍රමසිංහයන් ‘ඔබ්ලමෝෆ්’ කියවා ඇති බව නිසැක යැයි කියා ය. කේ. ජයතිලකයන් මේ පවසන්නේ ද ඒ ම ය.

මේ කෘතියට ප්‍රධාන ආභාසය ලැබී ඇත්තේ ගොන්චරොෆ් නමැති රුසියානු ලේඛකයාගේ ඔබ්ලමොෆ් නමැති නවකතාවෙනි. ඊට අමතරව සමර්සෙට් මෝම් නමැති ඉංග්‍රීසි ලේඛකයාගේ රේසර්ස් එජ් (දැලිපිහි තුඩ) නමැති කෘතියේ ආලෝකය ද එයට ලැබී ඇත. එහෙත් මෙතැන දක්නට ලැබෙන මහත් අඩුපාඩුවක් ඇත. එනම් ඉහත කී නවකතාවල ප්‍රධාන චරිත පැන නැගුණ පරිසරයට සමාන පරිසරයක් ලාංකික ගැමි සමාජයෙහි නොතිබීමයි. එය බෝසත් චරිතයකට සමාන කිරීමට කතුවරයා නොයෙක් තැන උත්සාහ කර ඇතත් බෝසත් චරිත මේ ආකාරයට අහේතුක ලෙස සමාජයෙහි පාවෙන්නේ නොවේ.

(ගුරු මුෂ්ටි – 71 පිටුව)

ගොන්චරෝෆ් නමැති ලේඛකයා සිය නවකතාවේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නාගේ හැසිරීම්, ගතිපැවතුම් හා ආකල්පමය වෙනසට තුඩුදුන් හේතුසාධක ගැන පැහැදිලි හා දීර්ඝ තොරතුරු අනාවරණය කර ඇතත් විරාගයේ අරවින්දගේ හැසිරීම් රටාවට තුඩුදුන් පසුබිම ගැන, ඒ මනෝභාවයන්ට උපත දුන් හේතුසාධක ගැන විශ්වසනීය තොරතුරක් විරාගයේ අඩංගු වන්නේ ද?

අවසාන වශයෙන් යළිත් වරක් ලියන්නට සිදුවන්නේ ‘පාඨකයාට වඩා හොඳ විනිසුරුවෙක් සිටී ද?’ යනුවෙන් ලියැවෙන මේ ලිපියේ ශීර්ෂපාඨයම ය. එහි යථාර්ථයට සාක්කි සපයන්නේ කේ. ජයතිලකයන්ම ය.

1959 වර්ෂයේ නිකුත් වූ කෙටිකතා පොත් සඳහා ත්‍යාග දීමට ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය අවසාන වටය සඳහා පොත් ඉදිරිපත් කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහට ය. මේ සඳහා තිබී ඇත්තේ පොත් දෙකක් පමණකි. එකක් පියසේන නිශ්ශංකගේ

ගිනිසිසිල ය. අනික මේ කතුවරයාගේ කටු සහ මල් ය. මෙයින් තෑගි දීම සඳහා වික්‍රමසිංහ විසින් තෝරන ලද්දේ ගිනිසිසිල ය. නිශ්ශංක අවුරුදු ගණනාවක් ඔහුත් සමග එකම කාර්යාලයේ එකට වැඩකළ මිතුරෙකි. ඔහු තෑගි දීම සඳහා තෝරා ගත්තේ තම මිත්‍රයාගේ එම කෘතියයි.

ප්‍රශ්නය ඇත්තටම එය නොවේ. මෙකියන ත්‍යාගලාභී පොත 1959 දී මුද්‍රණය වූවාට පසුව තවත් එකම වරක් වත් මුද්‍රණය වී නොමැත. කටු සහ මල් 1959-2009 කාලය ඇතුළත, කිසිම විනාශයකට නියම නොවී එකොළොස් වතාවක් ප්‍රකාශ කරනු ලැබ ඇත.

පාඨකයාට වඩා හොඳ විනිශ්චයකරුවෙක් තවත් සිටී ද?

(ගුරු මුෂ්ටි – 79 පිටුව)

බොහෝ විට අප ‘පාඨකයා’ යැයි කියන්නේ අතින් මුදලක් ගෙවා පොත් මිලදී ගෙන කියවන්නාට ය. පාඨකයා මේ මූල්‍යමය පාඩුව විඳ දරා ගන්නේ හොඳ පොතක් කියවීමෙන් ඔහුට ඊට වැඩි වෙනත් ලාභයක් හිමිවන හෙයිනි. විනිශ්චයකරුවාට හෝ සමීක්ෂකයාට පොත් කියවීම වෙනුවෙන් කිසියම් මුදලක් ද ලැබෙයි. එහි වරදක් ඇත්තේ ද නැත. මේ මතක් කිරීම කළේ පාඨකයා හා විනිශ්චයකරුවා වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට පමණි.

● කැත්ලීන් ජයවර්ධන