ජනක ඉණිමංකඩ ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026’ ජය මූර්ති ප්‍රදානය, අගෝස්තු 31 දින, එනම් හෙට බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ග්‍රෑන්ඩ් බෝල් රූම් පරිශ්‍රයේදී විශේෂ ආරාධිතයන් 300 කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.විදර්ශන ප්‍රකාශන ආයතනය සංවිධානය කරන මෙම උළෙලෙහි සම්බන්ධීකාරක ලෙස අනෝමා රාජක…
ජනක ඉණිමංකඩ
‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026’ ජය මූර්ති ප්‍රදානය, අගෝස්තු 31 දින, එනම් හෙට බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ග්‍රෑන්ඩ් බෝල් රූම් පරිශ්‍රයේදී විශේෂ ආරාධිතයන් 300 කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.විදර්ශන ප්‍රකාශන ආයතනය සංවිධානය කරන මෙම උළෙලෙහි සම්බන්ධීකාරක ලෙස අනෝමා රාජකරුණා කටයුතු කරයි.‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026’ ජය මූර්ති ප්‍රදාන උලෙළ බටහිර සංගීත අනුඛණ්ඩවලින් සංගීතවත් කරන්නේ සාගර සුරේෂ් විජේසිංහ ප්‍රමුඛ වාද්‍ය කණ්ඩායම විසිනි. ඉන්දියානු රාගධාරී සංගීතයෙන් උළෙල වර්ණවත් කරන්නේ අසිත් චනුෂ්ක අතපත්තු ප්‍රමුඛ වාද්‍ය හා ගායන කණ්ඩායම විසිනි. වේදිකා සැකසුම තරංග අවුට්ඩෝ ඇඩ්වටයිසිං වෙතිනි.මේ, එම සම්මාන උළෙලෙහි සංවිධායක, විදර්ශන ප්‍රකාශන සමාගමේ අධිපති ජනක ඉණිමංකඩ සමග කළ පිළිසඳරකි.
ලංකාවේ සාහිත්‍ය සම්මාන උත්සව කීපයක් තියෙනවා. ඇයි තවත් එකක් කරන්න හිතුවෙ? මේ උළෙලෙහි තිබෙන විශේෂතා මොනවාද?
විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 දී අත්පිටපත් තරඟයක් හැටියට තමයි මුලින්ම ආරම්භ කළේ. මෙහිදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම අදාළ සාහිත්‍ය කෘති ඇගයීමට ලක් වෙනවා. ලංකාවේ සාහිත්‍ය උළෙල ගණනාවක් තිබුණත් භාෂා තුනම ඇගයීමට ලක් කරන්නේ සම්මාන උළෙල දෙකක පමණයි. මේ තුන්වෙනි උළෙල. අපි මුල ඉඳන්ම කල්පනා කළා සාහිත්‍ය සම්මානවල හැඩය පිළිබඳ අලුත් නිර්ණායකයක් සමාජයට ඉදිරිපත් කරන්න.
අපි මේ සම්මාන උත්සවය පවත්වන්නේ ඉතාමත් ගාම්භීර ආකාරයට. උත්සවය පවත්වන ස්ථානය හා ස්වභාවය අනුව එහි තියෙන ගාම්භීරතාව තීරණය වෙනවා. අපි විස්වාස කරනවා යම්කිසි ඇගයුමක් කෙරෙන කොට කෘතියකට වේවා පුද්ගලයකුට හෝ වේවා එය උපරිම ගෞරවනීය ලෙස කළ යුතුයි කියලා. ඒ නිසා විදර්ශන ප්‍රකාශන ආයතනයේ මේ කටයුත්තේදී මෙහි ගාම්භීරතාවය වසරින් වසර ඉදිරියට නංවමින් තියෙනවා. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන කාරණයක් තමයි යම් නිර්ණායකයක් සමාජයට හඳුන්වා දීම. ඒ කියන්නෙ කිසියම් ඇගයීමක් කරනවා නම් එය මේ ආකාරයෙන් විය යුතුයි කියන කාරණාව සහ ජාත්‍යන්තර ප්‍රමිතියන්ට ගැළපෙන ලෙස කටයුතු කිරීමට තියෙන වුවමනාව.
ඒකට එක උදාහරණයක් අපේ වේදිකාව.
දිගින් අඩි 40 ක් හා පළලින් අඩි 20 ක් වන මෙම වේදිකාවේ සුවිශේෂත්වය වන්නේ ආබාධිත හෝ පඩි නැගීමට අපහසු අය වෙනුවෙන් පහසු ප්‍රවේශ මාර්ගයක් සකසා තිබීමයි.
අනෙක් සාහිත්‍ය සම්මාන උළෙලවලට වඩා මෙහි සම්මාන තේරීමේ ක්‍රියාවලිය වෙනස් වෙන්නෙ කොහොමද?
සාහිත්‍ය කියන්නේ සාපේක්ෂ අර්ථ සහිත විෂයක්. එහි අර්ථය නිරපේක්ෂ නෑ. ඒ නිසා සාහිත්‍ය කෘතියක් කියවද්දී එකිනෙකාට වෙනස් අර්ථ හැඟෙන්න පුළුවන්. තමන්ගේ දැනුම, දැක්ම, පුහුණුව, විෂය පිළිබඳ තියෙන ප්‍රවීණත්වය කියන කාරණා තුළින් තමයි එකිනෙකාගේ රස වින්දන මට්ටම තීරණය වෙන්නේ. එතැනදී සංවිධායකයන් ලෙස අපි කළ යුත්තේ ප්‍රශස්ත ඇගයුමක් ලබාගත හැකි පිළිගත හැකි මට්ටමේ ඇගයුම් මණ්ඩල පත්කිරීමයි.
මම ඉහතදීත් කිව්වා වගේ අපි සමාජයට එකතු කරපු එක් අලුත් නිර්ණායකයක් තමයි, ඇගයුම් මණ්ඩලවල විනිවිදභාවය කියන කාරණය. අපි ලංකාවේ පළමු වතාවට, ලංකාවේ අනෙක් සාහිත්‍ය සම්මාන උළෙලවල නොකෙරෙන විදිහට ඇගයුම් මණ්ඩලය කලින්ම නිවේදනය කරනවා. එතකොට යම්කිසි ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තමන්ගේ කෘතිය මේ තරගය සඳහා ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහු හෝ ඇය දන්නවා තමන්ගේ කෘතිය ඇගයීමට ලක් වෙන්නේ කුමන පිරිසක් අතින් ද කියලා. ඇගයුම් මණ්ඩල කලින් නම් නොකිරීම පිළිබඳ ඇතැම් සම්මාන උළෙලවලින් කියන්නෙ සමාජයේ තියෙන අවිශ්වාසය හා සැකය පිළිබඳ කාරණාව. ලංකාවේ සමාජය තුළ මුල් බැසගත් කාරණාවක් තමයි පුද්ගලයන් හා ජාතීන් පිළිබඳව අවිශ්වාසයෙන් කටයුතු කිරීම. අපි ඒ අවිශ්වාසය කියන සාධකය අයින් කළා. අපේ ඇගයුම් මණ්ඩල වෙනත් කෙනෙකුගේ මැදිහත්වීමකට නම්මාගත නොහැකි පිරිසක් බවට අප තුළ තියෙන විශ්වාසය ප්‍රකාශ කිරීම තමයි ඇගයුම් මණ්ඩලය ප්‍රසිද්ධ කිරීම තුළින් අපි බලාපොරොත්තු වුණේ.
ඒ වගේම විවේචනය ඉතාම හොඳ දෙයක් හැටියටයි අපි දකින්නේ. විවේචනය තුළින් සිදුවන්නේත් සාහිත්‍ය පිළිබඳ තිබෙන සංවාදය දියුණු වීමයි. කාටහරි මේ ඇගයුමට ලක් කරන කෘතියක් ගැන විවේචනයක් තිබෙනවා නම් සාහිත්‍ය නිර්ණායක මත පිහිටා විවේචනය කරන විට සංවාද ගොඩනැගෙනවා. සාහිත්‍ය ඇගයීමකින් පසුව ගොඩනැගෙන සංවාදය ඉතාමත් වැදගත් දෙයක් ලෙස අපි විශ්වාස කරනවා.
විනිශ්චය මණ්ඩල තේරීමේ දී මොනවද සලකා බලපු නිර්ණායක?
මේ ඇගයුම් කිරීමේදී අපි සලකා බැලුව දෙයක් තමයි යම්කිසි සාහිත්‍යාංගයක් පිළිබඳ ඇගයුම් මණ්ඩල තුළ කොයි තරම් කියවීමේ පුහුණුවක් ලබපු අය ඉන්නවද?, අදාළ විෂය පිළිබඳ තේරුමක් ඇති අය ඉන්නවද? කියන කාරණා. ඒ වගේම සෑම ඇගයුම් මණ්ඩලයකටම අදාළ විෂයට එක එල්ලේ සම්බන්ධයක් නැති වෙනත් විෂයක ප්‍රවීණත්වයක් දරපු කෙනෙක් ඇතුළත් කළා. වෙනත් දෘෂ්ටියකින් ඒ සාහිත්‍ය නිර්මාණය දිහා බැලීම අවශ්‍ය වන නිසා. ඇගයුම් මණ්ඩලවල කාන්තා නියෝජනය පිළිබඳවත් අපි සැලකිලිමත් වුණා. සෑම ඇගයුම් මණ්ඩලයකම කාන්තා නියෝජනයක් තියෙනවා.
දේශපාලනික හා සමාජීය වශයෙන් ලංකාවේ සමාජයේ මේ වෙනකොට ඇතිවෙලා තියෙන සංවාද සාකච්ඡාවන් පිළිබඳව හා ඒ තුළින් වඩාත් ඉදිරියටම යන සහ ඉදිරියට ගත හැකි විශේෂතා තියෙන කෘති පිළිබඳව ඇගයුම් කළ හැකි අගැයුම් මණ්ඩල පත් කර ගත්තා. ඒ කියන්නේ පසුගාමී අර්ථ වෙනුවට ඉදිරිගාමී දැක්මක් සහිත අයව ඇගයුම් මණ්ඩල සඳහා තෝරාගැනීමට අපි සැලකිලිමත් වුණා.
සම්මාන උළෙලේ ආරම්භයේ සිට මේ දක්වා සිදු වී තිබෙන ගුණාත්මක වර්ධනයන් මොනවාද?
2024 දී අත් පිටපත් සඳහා ආරම්භ කළ විදර්ශන සාහිත්‍ය ත්‍යාග 2026 වන විට අත් පිටපත් සහ මුද්‍රිත පිටපත් කියන කාණ්ඩ දෙක සඳහාම සලකා බලනවා. ඒ වගේම අපි මේ වසරේදී දෙමළ සාහිත්‍ය සඳහාත් ජය මූර්තිකාවක් ලබාදෙනවා. ජීවිත කාලයක් පුරා සාහිත්‍ය වෙනුවෙන් කෙනෙක් කරපු මැදිහත්වීමට කරන ගෞරවයක් ලෙස ඒ මැදිහත්වීම අපි ඇගයීමට ලක් කරනවා.
සම්ප්‍රදායික සම්මාන නාමකරණයෙන් බැහැර වෙලා වෙනස් විදිහකට සම්මාන නම් කරන්න හේතුවක් තියෙනවද?
අපි විනිශ්චය කියන වචනය පාවිච්චි කරන්නේ නෑ. අපි පාවිච්චි කරන්නේ ඇගයුම කියන වචනය. අපි හිතනවා සාහිත්‍ය කෘතියක් ඇගයීමක් විතරයි කරන්න පුළුවන් විනිශ්චය කරන්න බෑ කියලා.
සම්මාන කියන වචනය වෙනුවට ජය මූර්තිකාව කියන වචනය අපි භාවිත කළා. ජයග්‍රහණයක් වෙනුවට ලැබෙන යම්කිසි ඇගැයීමක් කියන අර්ථයෙන් තමයි ඒ වචනය යොදාගත්තෙ.
ඇගයුම් ලබා දෙන කාණ්ඩ මොනවද?
මෙවර විදර්ශන සාහිත්‍ය ඇගයුම් 7ක් පිරිනැමෙනවා. නවකතා, කෙටිකතා, කාව්‍ය, පරිවර්තන (සිංහල), පරිවර්තන (ඉංග්‍රීසි), දෙමළ සාහිත්‍ය කෘතියක් සඳහා සහ සාහිත්‍යකරුවකු ජීවිත කාලය පුරා කරපු දායකත්වය සඳහා ඇගයුම් පිරිනමනවා.
මෙහිදී පරිවර්තන ඉංග්‍රීසි සඳහා අපි සලකා බැලුවෙ සිංහල හෝ දෙමළ භාෂාවෙන් මුලින් පළ වුණු කෘතියක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම කියන කාරණාව. එහිදී අපි බලාපොරොත්තු වුණේ ලංකාවේ සාහිත්‍ය ජාත්‍යන්තර භාෂාවකට පරිවර්තනය වීමේ වැදගත්කම ඇගයීමට ලක් කිරීමටයි. අපි එය ඇගයීමට ලක් කරන්නේ සිංහල වේවා දෙමළ වේවා ලාංකීය සාහිත්‍ය කෘති ජාත්‍යන්තර භාෂාවකට පරිවර්තනය වීමේ වැදගත්කම නිසයි.
මෑත කාලයේ බොහෝ කෘති පළ වෙනවා. නමුත් සමාජයේ මතයක් තියෙනවා ප්‍රමාණාත්මක වර්ධනයක් තිබුණට ගුණාත්මක වර්ධනයක් නෑ කියලා. බොහෝ දෙනෙක් BMICH පොත් ප්‍රදර්ශනය සහ සම්මාන උළෙලවල් ඉලක්ක කර ගෙන කෘති පළ කරන බවටත් විවේචනයක් තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
මේ පිළිබඳ මගේ තියෙන කියවීම තමයි ලංකාවේ ප්‍රමාණයට වඩා ලංකාවට පොත් ප්‍රකාශකයො වැඩියි. එතකොට ලෝකෙම ප්‍රකාශන කර්මාන්තය මුහුණ දෙන අර්බුදයක් තමයි ලෝකයේ අත්පිටපත් අතිරික්තයක් තියෙනවා. ඒ නිසා තමයි වට්පෑඩ්, ෆේස්බුක් ඇතුළු ඔන්ලයින් ෆ්ලැට්ෆෝම්වල ලියන්නෙ. මුද්‍රිත ප්‍රකාශනයක් බවට පත් වීමේදී තියෙන සමාජමය වගවීම පිළිබඳව මැදිහත්වීම ලංකාවේ සමාජය තුළ අඩුවෙලා තියෙන්නෙ. ලංකාවේ ප්‍රකාශකයො වැඩි නිසා ඒ අත්පිටපත් බොහොමයක් සමාජ වගවීමකින් තොරව පළ කරන බවක් පේන්න තියෙනවා. දියුණු රටවල අපිට දකින්න තියෙන දෙයක් තමයි සාහිත්‍ය සංස්කාරකවරු ඇතුළුව මෙවැනි කටයුතු පාලනය කළ හැකි පිරිස් ඉන්නවා. වට්පෑඩ් ඇතුළු යාන්ත්‍රික මෙවලම් තුළ කෘති පළ කිරීම සරල කටයුත්තක්, එහෙමත් නැත්නම් සංස්කරණයට ලක් නොවූ කෘති ලෙස තමයි හඳුන්වන්නෙ. ලංකාවේ එවැනි කෘති මුද්‍රිතව පළවෙනවා. ඒ සඳහා සමාජයේ විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතිනවා.
මේ විදර්ශන සාහිත්‍ය ත්‍යාගය උළෙල සංවිධානය කිරීම තුළින් අපි බලාපොරොත්තු වුණු කාරණාවක් තමයි යහපත් හා උසස් නිර්ණායක සමාජයට ඇතුළත් කිරීම. ඒ උසස් නිර්ණායක තුළින් පාඨකයා තුළ උසස් නිර්මාණයක් පිළිබඳ අදහසක් නිර්මාණය වෙනවා. ප්‍රබුද්ධ පාඨක සමාජයක් ගොඩනැගීම සඳහා මෙවැනි ඇගයුම් හේතු වෙනවා කියන එකයි මගේ අදහස.
ඒ විතරක් නෙවෙයි ප්‍රබුද්ධ පාඨක සමාජය මෙවැනි ඇගැයීම් උළෙලවල් අගය කිරීමට ලක් කරන්න පෙළඹෙනවා. මේ තියෙන ඇගයුම් උළෙල වලින් ඇගයුමට ලක් වූ ඒ කෘති ගැන අවධානය යොමු වෙනකොට සාහිත්‍ය සමාජය තුළ කතිකාවක් ගොඩනැගෙනවා. ඔබ මුලින් ප්‍රශ්න කළ සංස්කරණයකින් තොරව සිදුවන අඩි නිකුතුව පිළිබඳව අපිට දෙන්න පුළුවන් උත්තරය තමයි පාඨක සමාජයේ ප්‍රබුද්ධත්වයට පත් කිරීම.
ඔබ හුදු ප්‍රකාශකයෙක් පමණක් නෙවෙයි. ඔබේ පසුබිම බැලුවම 90 දශකයේ විකල්ප කලා සංස්කෘතික ප්‍රවණතාවක් නියෝජනය කරන කෙනෙක්. ඒ සංවාදයේ හිටපු කෙනෙක් සහ සාහිත්‍යයකරණයේ යෙදුණු කෙනෙක්. විශේෂයෙන් මම අදහස් කරන්නේ විභවි සංස්කෘතික සංවිධානය ගැන. ඔබ විභවිය නියෝජනය කරපු ඒ කණ්ඩායමේ හිටපු කෙනෙක් විදිහට මේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ සම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කළ යුතුයි කියන අදහස ප්‍රවර්ධනය කරපු ඒ වෙනුවෙන් පෙනී හිටපු සහ ඒ වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. මේ සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල ගත්තම එහි දිගුවක් නියෝජනය වන බවකුත් පෙනෙන්නට තිබෙනවා. නමුත් මේක විදර්ශන කියන පෞද්ගලික ආයතනය කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙන දෙයක්. ඔබටම තක්සේරු කළාම කලා සංස්කෘතික ප්‍රවණතාව කියන එක ඊට වඩා පුළුල්. බහු නියෝජනයක් තිබුණ එකක්. Colombo Literally festival එක වගේ. නමුත් මේ සම්මාන උළෙල ව්‍යාපාරයක් කේන්ද්‍ර කරගෙන තියෙන එකක්. විදර්ශන සන්නාමය යටතේ. එහි යම්කිසි සීමාවක් දකින්නේ නැද්ද? එහි හොඳ ලක්ෂණ තිබුණත් කෙනෙක්ට කියන්න පුළුවන් ව්‍යාපාරික අරමුණකින් මේක පවත්වනවා කියලා?
අපි හැම කෙනෙක්ටම ඕනෑම කටයුත්තක් කිරීමේදී ව්‍යාපාරික හෝ ව්‍යාපාරික නොවන හෝ අරමුණ තියෙනවා. උදාහරණයකට මම ජාතිවාදයට විරුද්ධ කෙනෙක් නම් මම ජාතිවාදී කටයුතු නොකර සිටීම තුළින් අදහස් වෙන්නේ මගේ තියෙන දැක්ම. ඒක ව්‍යාපාරික ද නැද්ද කියලා එකක් නෑ. දෘෂ්ටිවාදයක් හැම කෙනෙක් තුළම ක්‍රියාත්මක වෙනවා. එතකොට විදර්ශන ආයතනය අවුරුදු 29කටත් වැඩි කාලයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි සාහිත්‍යමය දෘෂ්ටිවාදයක් වෙනුවෙන්. ඒ සාහිත්‍යයමය දෘෂ්ටිවාදය වැඩිදියුණු වෙන සාහිත්‍ය කෘති තමයි විදර්ශනායතනය පළ කරන්නේ. එතකොට විදර්ශන ආයතනය මගින් සංවිධානය වෙන ඕනෑම කටයුත්තක් තුළ එහි හැඩය රූපය තිබෙන එක වළක්වන්න බෑ.
අපි හිතමු යම්කිසි කෙනෙක් ජාතිවාදී කියලා. ලංකාව බහු සංස්කෘතික, බහු ආගමික රටක් ලෙස පිළිගන්න කැමති නැත්නම් ධනවතෙක් ලෙස ඔහු යම්කිසි ආයෝජනයක් කරනවා නම් යම් කිසි කටයුත්තකට අර අදහසත් ඔහුගේ ධනය තුළින් ප්‍රකාශ වෙනවා.
හැම ප්‍රාග්ධනයක් තුළම එය අයිති පුද්ගලයාගේ දෘෂ්ටිය ඇතුළත් වෙනවා. එය නවත්තන්න බෑ. විදර්ශන සාහිත්‍ය උළෙලේ සහ කොළඹ සාහිත්‍ය සමය කියන දෙකේම ප්‍රධානියා ලෙස මම කටයුතු කරනකොට ඒ කටයුතුවලට මම අනෝමා රාජකරුණා වගේ කෙනෙක් තෝරා ගැනීම ඇතුළෙම තියෙනවා මගේ දැක්ම. මම වෙන කෙනෙක් නැතුව ඇයි අනෝමා වගේ කෙනෙක් තෝරගන්නෙ? ඇය මම වගේම මේ ජාතීන් අතරේ එකමුතුභාවය සහ බහු ආගමික දැක්ම පිළිබඳව අල්වබෝධයක් දැක්මක් තියෙන කෙනෙක්. එතකොට මගේ ප්‍රාග්ධනය පිටිපස්සෙ මගේ දෘෂ්ටිය තියෙනවා.
මම දැක්කා කවුද පුවත්පතකට කියලා තිබුණා කොළඹ සාහිත සමයට ඩයස්පෝරාවේ සල්ලි ලැබුණා කියලා. එයාට තේරෙන දේ තමයි ඒ කියන්නේ. මේ සිංහල ජාතිවාදී අදහස දරා ගත්ත පිරිසට හා ඒකට විරෝධතාවය පළ කරපු පිරිස් තමයි වැඩිපුර මේ කටයුත්ත එක්ක හිටියෙ. ඒක කෙරුණු ආකාරය ගැන අවබෝධයක් නැතුව එහෙම වෙන්න ඇතැයි අනුමාන කරලා එවැනි දේවල් කියනවා.
විභවි ස්වාධීන සාහිත්‍ය උළෙලේ තියෙන යම් යම් ලක්ෂණ විදර්ශන සම්මාන උළෙලේ තියෙනවා. නමුත් ඒ තරම් පුළුල් සංස්කෘතික දැක්මක් ව්‍යාපාරික ආයතනයකට ලඝු වෙනවා නේද ? යම්කිසි සීමාවක් සලකුණු වෙන්නෙ නැද්ද ?
පෙර කියූ දෙයටම දිගුවක් ලෙස නැවත කියන්න තියෙන්නෙ ඕනෑම කටයුත්තක දී අපි කාගේත් දෘෂ්ටිවාදීමය නැමියාව පෙන්නුම් කෙරෙනවා. අපි කාටවත් ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නෑ. ස්වාධීන දැක්මක් හෝ මතයක් කියා දෙයක් ඇති බවක් මම පිළිගන්නෙ නෑ. මගේ දෘෂ්ටිය මං කරන සෑම කටයුත්තක් තුළම අන්තර්ගත වෙනවා. විදර්ශන සාහිත්‍යය ත්‍යාගය ඇතුළෙත් මගේ දෘෂ්ටිය තියෙනවා. මේ තෝරාගැනීම් සියල්ල පිටුපස තියෙන්නෙ ප්‍රාග්ධනය යොදවන කෙනාගේ දෘෂ්ටිවාදය. ඒක සියල්ලටම පොදුයි.
ඔබට දැන් 90 දශකයේ වගේ පුළුල් බහුජන නියෝජනයක් ගැන, බහුජන ව්‍යාපාරයක් ගැන, ඒ මැදිහත් වීම ගැන විශ්වාසයක් නැද්ද ? නැවත ඒ වගේ වැඩ කරන්න අදහසක් නැද්ද ?
90 දශකයේ ඇති වී තිබුණ යුද්ධය එක්ක අපි එකල වැඩි වශයෙන් ඒ ගැන කතා බහ කළා. මේ වෙද්දි රටේ යුද්ධයක් නෑ. නමුත් ඒකෙන් සංවර්ධන වෙච්ච දේවල් මේ අපි කරන සියලුරෑ වැඩ ඇතුලෙ තියෙන්න පුළුවන්. උදාහරණයකට කොළඹ සාහිත්‍ය උළෙල කියන එක සංවිධානය කරනකොට ලංකාවේ ඉංග්‍රීසි කතා කරන ඉහළ සමාජයේ තිබුණ දෙයක් තමයි ලංකාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පන්තිය දක්වා අරගෙන ආවෙ. අපි භාෂා තුනෙන් වෙන වෙනම සාහිත්‍යයකරණයේ යෙදුණු අය එක බිමක හමුවන මට්ටමක් ගොඩනංවලා තියෙනවා.
විදර්ශන සාහිත්‍ය උළෙල ඇතුලෙත් භාෂා තුනම නියෝජනය කිරීම තුළින් ලංකාවේ තියෙන බහු ආගමික, බහු සංස්කෘතික, බහු භාෂාමය දැක්ම පිළිබඳ විශ්වාස කරනවා. ඒ විශ්වාසය එන්නෙ 90 දශකයේ තරුණ කණ්ඩායම් ලෙස අපි දරපු දේශපාලන අදහසේම දිගුවක් ලෙස තමයි අපි දැන් කරන කටයුතු තුළත් අපිට දකින්න පුළුවන්.
අවසාන වශයෙන් මොනවද විදර්ශන සාහිත්‍ය උළෙල පිළිබඳ සඳහන් කරන්න තියෙන්නෙ?
විදර්ශන ආයතනය හැරුණු කොට තවත් එක් ආයතනයක් අනුග්‍රහකත්වය සපයනවා. එම ආයතනයටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ කටයුත්ත සම්බන්ධීකරණය කිරීමේදී අනෝමා රජකරුණා මහත්මියගේ තියෙන දැක්ම, ඇයගේ සම්බන්ධතා සහ ඇය කටයුතු කරන ආකාරය අපිට විශේෂයෙන් වැදගත් වෙනවා. මේකෙදි විතරක් නෙවෙයි කොළඹ සාහිත්‍ය සමයටත් ඇගේ දායකත්වය උපරිමයෙන් ලබා දුන්නා. ඇය පිළිබඳවත් ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. මේක සාමූහික කාර්යයක් ඇත්ත වශයෙන්ම. විදර්ශන ප්‍රකාශන ආයතනයේ හෝ පුද්ගලිකව මගේ කටයුත්තක් විතරක් නෙමෙයි. මේක සාමූහික කටයුත්තක්. මේ අපි සමූහය ගැන පොදු අදහසක් පොදු දැක්මක් තුළ අපි මේ සමූහයේ කටයුතු කිරීම තුළ අන්තර්ගත දේ තමයි ඒ විදර්ශන සාහිත්‍ය ත්‍යාග උත්සවය හා කොළඹ සාහිත්‍ය සමය තුළින් පිළිබිඹු වෙන්නේ
සෝබා කෝලියවංශඋලෙළ එදින සවස 5.45 සිට සමාජ මාධ්‍ය හා යූ ටියුබ් හරහා සජීවීව විකාශය කෙරේ.
විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026 ජයමූර්තිකා ප්‍රදාන උළෙල හෙට
විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් අඛණ්ඩව තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ ජයමූර්තිකා ප්‍රදාන උළෙල’ 2026 අගෝස්තු 31 දා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත් වේ. මෙම වසරේ සිට විදර්ශන සාහිත්‍ය ත්‍යාගයට දෙමළ සාහිත්‍ය කෘති ද ඇතුළත් වෙයි. මේ අනුව භාෂා මාධ්‍ය තුනෙහිම සාහිත්‍ය කෘති ඇගයීමට ලක් කරමින් ජයමූර්තිකා සහ මුදල් ත්‍යාග පිරිනමන පෞද්ගලික ආයතනයකින් සංවිධානය කෙරෙන දැනට ක්‍රියාත්මක එකම ජාතික සාහිත්‍ය ඇගයුම් උළෙල බවට එය පත් වෙයි. මෙවර විදර්ශන සාහිත්‍ය ජයමූර්තිකා ප්‍රදානයෙහි තවත් නවාංගයක් වන්නේ සිය දීර්ඝ කාලීන ශාස්ත්‍රීය කාර්ය භාරය උදෙසා ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රවන්තයෙකුට හෝ ශාස්ත්‍රවන්තියකට ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන විශේෂ මූර්තිකාවකින් සම්භාවනාවට පාත්‍ර කිරීමයි. පහත නිර්දේශිත නම් අතරින් ප්‍රශස්තම කෘති සඳහා විදර්ශන ජයමූර්තිකාව පිරිනැමේ. (විදර්ශන සාහිත්‍ය ත්‍යාග ජයමූර්තිකා උළෙල සඳහා සහභාගි විය හැක්කේ ආරාධිතයන්ට පමණි.) නිර්දේශිත කෘති නවකතා ණයානන්දය – සුරත් ද මැල් ලේ සහ වතුර – අරුණ ප්‍රේමරත්න හරස් පාරෙන් ඇහුණ කට හඬක් – අනුරාධා නිල්මිණි කෙටිකතා ඒ ලස්සන තුවාල කැළැල – ප්‍රින්ස් සේනාධීර රිදී රැයකි කළු දිවියෙකි – පියල් කාරියවසම් සයිමන්ගේ මරණයට රතුපාට බයිසිකලයේ ඇති සම්බන්ධය – මංජුල වෙඩිවර්ධන කාව්‍ය අඬගසයි මට රාත්‍රිය – දිනූ රාජගුරු කන්ද නම් නිවන්නාගේ උරිස්සක ආලයක ආලෝක එළි – නඳුන් යසිත දසනායක සිහිනයක් ඇතුළත මියගිය සිහිනයක සිහිනයෙන් මිය යන සිහිනය (අත්පිටපතකි) – ඩොමිනික් චන්ද්‍රසාලි පරිවර්තන – සිංහල දුර දසුනක හිරු ගිනිගෙන – අනුෂා සිවලිංගම් හුදකලාවේ බයිබලය – මනික් කුරුප්පු සන්තෝකා තනේදා වම් කවියාගේ ජීවිතය සහ සෙන් හයිකු (අත්පිටපතකි) – ආනන්ද දේවප්‍රිය පරිවර්තන – ඉංග්‍රීසි Brief though these verses – Malinda Senevirathne Daisy Mango – Pramod Kandanarachchi The Masquerade(Selected Poems / Manuscript) – Subhashini Malika Dharmarathne දෙමළ සාහිත්‍ය Thalaivarkalin Kakkoosu (Manuscript) – Sutharmamaharajan Valiyin Vevveru Adukkuhal (Manuscript) – Abdul Majeed Kurshith












