ආදරකතාමය ප්‍රවර්ගයේ (Romance) සිනමාපටයක ප්‍රධාන ම ලක්ෂණය වන්නේ චරිත රසායනයයි. සමාන මට්ටමින් කලා කෘතියකට පොදු ගැටුම, ඉමිහිරි සංගීතය, සිත්ගන්නාසුලු දෙබස්, සහ දෘශ්‍ය සුන්දරත්වය ආදරකතාමය සිනමාපටයක් ඉහළට ඔසවා තබයි. අසල්වැසි සිනමාවේ කරන් ජොහාර්, සංජේ ලීලා බන්සාලි වැන්නන් අනුදක්නා පන්න…
ආදරකතාමය ප්‍රවර්ගයේ (Romance) සිනමාපටයක ප්‍රධාන ම ලක්ෂණය වන්නේ චරිත රසායනයයි. සමාන මට්ටමින් කලා කෘතියකට පොදු ගැටුම, ඉමිහිරි සංගීතය, සිත්ගන්නාසුලු දෙබස්, සහ දෘශ්‍ය සුන්දරත්වය ආදරකතාමය සිනමාපටයක් ඉහළට ඔසවා තබයි. අසල්වැසි සිනමාවේ කරන් ජොහාර්, සංජේ ලීලා බන්සාලි වැන්නන් අනුදක්නා පන්නයේ සිනමාවක් මෙරට තවමත් නිර්මාණය වී නැති බව අප පිළිගත යුතු ය. කෙසේ වෙතත් අතීතයේ පටන් එවැනි වෑයම් මෙහි නොගත්තේ නොවේ.
එම ප්‍රවර්ගයෙන් කතාබහ කළ හැකි දිල්ශාන් අමරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ ආදරණීය තරුවක් සිනමාපටය මේ දිනවල තිරගත වේ. සාරංග දිසාසේකර, ශනුද්‍රි ප්‍රියසාද් ප්‍රධාන චරිත මවන සිනමාපටය රූප සෞන්දර්යය අතින් බොලිවුඩ් සිනමාව ස්පර්ශ කිරීමට දරා ඇති උත්සාහය අගය කළ යුතු ය. රොමෑන්ස් ප්‍රවර්ගයේ සිනමාපටයක ඇස් ඇද ගන්නා වර්ණ කැමරා කෝණ ආදී තාක්ෂණ කලා භාවිතය අගය කළ යුතු මට්ටමක ඇති බව පළමුව කිව යුතු ය. මෙරට සිනමාවේ විවිධ ප්‍රවර්ගවල අනලස්ව හැසිරෙන කැමරා අධ්‍යක්ෂ විශ්වජිත් කරුණාරත්න මෙම ඉසව්වේ ද ඔහුගේ වැඩ කිඩ පෙන්වා තිබේ. වර්ණ රසායනයෙන් සහ සංස්කරණයෙන් ආනන්ද සහ සිතුම් ඊට අගය එක් කර ඇත.
කෙසේ වෙතත්, බොලිවුඩ් වර්ණය තැවරීම පමණකින් නොනැවතී බොලිවුඩ් සිනමාපටවල කතා තේමාවන් මත රැඳීමට තීරණය කිරීම සිනමාපටයේ ගුණය හීන කර තිබේ. විශේෂයෙන් ම කරන් ජොහාර් 2016 දී අධ්‍යක්ෂණය කළ Ae Dil Hai Mushkil සිනමාපටයේ තිරපිටපත මත යැපෙමින් ආදරණීය තරුවක්හි තිරපිටපත නිර්මාණය කර ඇති බව පැහැදිලි වේ. එය වරදක් නොවේ. මෙරට 70 දසකය වර්ණවත් කළ තුෂාරා වැනි සිනමාපට ගත්තත් එවක හින්දි වට්ටෝරුගත සිනමාව හා සමාන ලක්ෂණ බොහෝමයක් දැරූ බව කිව හැකි ය. එහෙත් ඒවායේ ස්වීය ලක්ෂණ කැටි කරන්නට නිර්මාණකරුවෝ සමත් වූහ.
ආදරණීය තරුවක්හි පිටපතේ මූලික දුර්වලතාවක් වන්නේ, තර්කානුකූල බව බිඳ වැටීමයි. සුපිරි ගායකයකු බවට පත්වන්නට නික්ලේශ් (සාරංග)ට ඇති හැකියාව ගැන විශ්වසනීයත්වයක් පිටපත විසින් ගොඩ නංවන්නේ නැත. සැබෑ ජීවිතයේ ගායන හැකියාවක් ද සහිත සාරංග හරහා එය පෙන්වීමට හැකියාවක් කොහොමත් තිබුණි. Ae Dil Hai Mushkil හි Ayan Sanger (රන්බීර්) චරිතය ගොඩ නංවා ඇති අයුරු බැලීමෙන් එය වටහාගත හැකිය.
සිනමාපටය් මුල් අදියරේ ඇති වර්ණවත් ස්වභාවය දෙවැනි අර්ධයේදී බිඳ වැටේ. විශේෂයෙන් ම නික්ලේශ්ගේ චරිතයට ස්වාධීනත්වයක් ඇත්තේ නැත. අනෙක් අතට තාරා (සංගීතා)ගේ චරිතය පවා අවිශ්වසනීය වේ. විශාල ව්‍යාපාරයක් ගොඩ නැංවූ කතක් ලෙස පෙන්වන ඇය සිය දියණිය විෂයෙහි දක්වන නොදන්නාකම තාර්කික නොවේ. එපමණක් නොවේ. රොමෑන්ස් ප්‍රවර්ගයේ සිනමාපටයකට අත්‍යවශ්‍ය චරිත අතර සංයෝගය සංගීතා – සාරංග විෂයෙහි බිඳ වැටී ඇත.
තිරපිටපතේ ගලා යෑම කලින් අනුමාන කළ හැකි මට්ටමට ඇද වැටී තිබේ. වයස් පරතර ආදරයක් දක්වා කෘතිය ගෙන ඒමට අධ්‍යක්ෂවරයා ගත් වෑයම නිර්භීත එකකි. එහෙත් එක් අතකින් කුකුසක් ඇති වන්නේ, සංගීතා සුදුසු තෝරාගැනීමක් නොවීම රසායනය බිඳ වැටීමට හේතුවක් වූයේ ද යන්නයි.
මෙවැනි සිනමාපටයකට අත්‍යවශ්‍ය වන සංගීතය මෙහි කෘතිය වෙත සාධාරණයක් ඉටු කරන්නේ නැත. බොලිවුඩ් ආභාසය වෙත ම නැඹුරු වන්නට යෑම ඊට හේතුව බව පෙනේ. පද රචනා පවා, මතක හිටින ගීත මට්ටමට ගෙන යෑමට කෘතිය අසමත් වේ. සංගීතමය ගමනක් සහිත සිනමාපටයක්වීත් එසේ වීම ගැන ගැඹුරින් කල්පනා කළ යුතු ය.
මෙම වර්ණවත් බව, ස්වීය තිරපිටපතක නිර්මාණශීලිත්වය සහ තර්කානුකූල බව – (සැමියාගෙන් පහරකෑම නිසා හිසට බරපතළ තුවාල ලැබූ බව ප්‍රධාන කරුණක්ව තිබිය දී හෙල්මට් නොපැලඳ බයික් එකේ රවුම් ගැසීම වැනි අතාර්කික දේ ඉවතට දමා – ) සමග තවත් ඉදිරි පියවරක් යන්නේ නම් අපේ ම ආදර කතාමය සිනමාවකට මඟ හෙළි වනු ඇත.
තිරපිටපතෙහි සහ වෙනත් අංශයන්හි විවිධ ඌනතා පැවතිය ද, ‘ආදරණීය තරුවක්‘ සිනමාපටය තාක්ෂණික කලා භාවිතය අතින්, විශේෂයෙන්ම එහි රූප රාමුකරණය අතින් ඉහළ ප්‍රමිතියක තිබේ. විශ්වජිත් කරුණාරත්නගේ කැමරා කෝණ සහ ආලෝකකරණ විධික්‍රම කෘතියට අන්තර්ජාතික මට්ටමේ දෘශ්‍ය සුන්දරත්වයක් එක් කරයි. එය හුදෙක් බොලිවුඩ් දර්ශන අනුකරණය කිරීමක් නොව, එහි ඇති වර්ණවත් බව මෙරට ස්වාභාවික පරිසරය (ගාල්ල- කොළඹ – රූකඩ පරිසරය) හා සාර්ථක ලෙස මුසු කරමින් බොලිවුඩ් සිනමාව ස්පර්ශ කිරීමට ගත් වෑයමක් ලෙස හැඳින්වීම යුක්තියුක්ත ය.
මේ දුබලතා ජයගන්නට හැකි නම් ස්වීය ආදර තේමාත්මක සිනමාවක් ගොඩනැංවීමට මෙරට සිනමාවට අපහසු වන්නේ නැත. දෘශ්‍ය සුන්දරත්වය වැඩියෙන් ම මෙහි වර නඟා ඇත්තේ එවැනි සිනමාවක යතුර ඇත්තේ එතැන බැවිනි.
සඳුන් ප්‍රියංකරවිතානගේ












