ලෝකයේ බොහෝ ජාතීන්ගේ භාෂා හා සාහිත්‍ය ගොඩනැගී ඇත්තේ ආගමික බලපෑම් මත ය. ග්‍රීක සාහිත්‍යයට හෙලනික් දේවවාදය බලපෑ ආකාරයටත් අරාබි සාහිත්‍යයට ඉස්ලාමය බලපෑ ආකාරයටත් සමානුපාතව සිංහල භාෂාව හා සාහිත්‍යය හැඩගැසී ඇත්තේ බුදුදහමේ ආලෝකය තුළිනි. ලාංකේය ඉතිහාසය පිරික්සා බැලුවහොත් සිංහල අක්ෂර මාලා…

ලෝකයේ බොහෝ ජාතීන්ගේ භාෂා හා සාහිත්‍ය ගොඩනැගී ඇත්තේ ආගමික බලපෑම් මත ය. ග්‍රීක සාහිත්‍යයට හෙලනික් දේවවාදය බලපෑ ආකාරයටත් අරාබි සාහිත්‍යයට ඉස්ලාමය බලපෑ ආකාරයටත් සමානුපාතව සිංහල භාෂාව හා සාහිත්‍යය හැඩගැසී ඇත්තේ බුදුදහමේ ආලෝකය තුළිනි. ලාංකේය ඉතිහාසය පිරික්සා බැලුවහොත් සිංහල අක්ෂර මාලාව බිහිවීමේ සිට ගද්‍ය සාහිත්‍යයේ මුල බීජ පැළවීම දක්වා කාව්‍ය සම්ප්‍රදායේ විකාශය දක්වා සෑම අවස්ථාවක දී ම බුදුදහම මුල් හේතුව ලෙස පෙනී සිටී. මෙය හුදෙක් ආගමික සිද්ධාන්තයක් සාහිත්‍යයට එකතු වීමක් නොව එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳුනු එක ම ප්‍රවාහයක් ලෙස වර්ධනය වූ සංස්කෘතික සම්භවයකි.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ මගින් බුදුදහම ලංකාවට ගෙන එනු ලැබූ මොහොත දිවයිනේ බුද්ධිමය හා සංස්කෘතික ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. එතෙක් වාචික සම්ප්‍රදායක් ලෙසින් පමණක් පැවති සිංහල භාෂාව බුදුදහම හේතුවෙන් ලිඛිත ස්වරූපයක් කරා ගමන් කිරීමට පෙළඹුණි. ධර්ම දේශනා, විනය නීති, සහ ධර්ම කරුණු ලේඛනගත කිරීමේ අවශ්‍යතාව මතු වූයේ මේ සමග ය. එහි ප්‍රතිඵලයක් ලෙස පාලි භාෂාව ද, ප්‍රකාශන මාධ්‍යය ලෙස සිංහල භාෂාව ද එකට එකතු වී නව සාහිත්‍ය සම්ප්‍රදායක ආරම්භය සනිටුහන් කළේය.

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණක් නොව එය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව නිසා ඇති වූ ලිවීමේ සම්ප්‍රදාය යි. ත්‍රිපිටකය මුඛපරම්පරාවෙන් ආරක්ෂා වී තිබූ නමුත් කාලයාගේ ඇවෑමෙන් රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් එය ලිඛිතව සුරැකීමේ අවශ්‍යතාව මතු විය. ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ දී අලුවිහාරයේ දී ත්‍රිපිටකය පිටපත් කිරීම ලංකාවේ පොත පත ලිවීමේ සම්ප්‍රදායේ පදනම වූයේය. එය හුදු ආගමික ක්‍රියාවක් නොව ලාංකේය සාහිත්‍ය ඉතිහාසයේ පළමු මහා ව්‍යාපෘතිය ලෙසින් ද සැලකිය හැකිය.

සිත්ගන්නා කරුණක් නම් ලාංකේය ලෞකික කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භය සලකුණු කරන සීගිරි ගී සාහිත්‍යය පවා ඍජුව හෝ වක්‍රව බුදුදහමේ ආභාසයෙන් පෝෂණය වූවා යැයි පෙනී යයි. මෙම කවිවල ප්‍රධාන මාතෘකාව ලෞකික සෞන්දර්යය වුවත් ඒ කවි ලියූ එකල සමාජයේ මිනිසුන්ගේ සිතිවිලි සකස් වී තිබුණේ බෞද්ධ සංස්කෘතිය සහ දර්ශනය මත ය. සීගිරිය නැරඹීමට පැමිණි කවීන් හා විවිධ තරාතිරම්වල බුද්ධිමතුන් සිය විඳීම් කවියට නැගීමේ දී ඔවුන්ගේ සිතුවිලි සහ වචන භාවිතය කෙරෙහි එකල ප්‍රමුඛව පැවති බෞද්ධ පසුබිම සෘජුව මෙන් ම වක්‍රව ද බලපා තිබේ. කෙටියෙන් කිවහොත්, සීගිරි ගී යනු ලෞකික මාතෘකා ගැන ලියැවුණු කවි වුව ද ඒවා නිර්මාණය වූයේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ සිත්වලිනි.

සීගිරි ගී යනු හුදෙක් සෞන්දර්යාත්මක ආස්වාදයක් පමණක් ලබා දෙන ලෞකික කාව්‍ය එකතුවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ පැවති ලෞකික කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භක බීජය වන අතර ම එකල මිනිසාගේ සෞන්දර්ය දැක්ම හා නිර්මාණශීලී පරිකල්පනය බෞද්ධ දර්ශනයේ මූලික න්‍යායයන් (අනිත්‍ය, දුක්ඛ, සංස්කාර) මඟින් පෝෂණය වී තිබූ ආකාරය පර්යේෂකයෝ පෙන්වා දී ඇත.

සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැක්කේ පොලොන්නරු යුගය යි. මෙම කාලපරිච්ඡේදයේ දී බිහි වූ ග්‍රන්ථ රාශියක් ම බුදුදහම සරල ජනතාවට තෙරුම් ගැනීමට හැකි වන අයුරින් රචනා වූ ඒවා විය. එම ග්‍රන්ථ අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

ධම්පියා අටුවා ගැටපදය පාලි අටුවා ග්‍රන්ථවල එන දුෂ්කර පද පැහැදිලි කිරීම සඳහා රචිත ය. මෙය දැනට හමුවන පැරණිතම සිංහල ගද්‍ය කෘතිය යි. බුදුදහම සහ සිංහල භාෂාව අතර පැවති ඓතිහාසික සබඳතාව පෙන්නුම් කරන ප්‍රධානතම සාක්ෂියක් වන අතර, මෙය භික්ෂූන් හා උගතුන්ගේ ශාස්ත්‍රීය අධ්‍යයනය උදෙසා ම සකස් වූවකි.

අමාවතුර ගුරුළුගෝමීන් විසින් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්මසාරථී ගුණය පදනම් කරගනිමින් උන්වහන්සේගේ චරිතාපදානය හා ධර්මය රචනා කර ඇත. පාලි හා සංස්කෘත පදවලින් තොර විසුද්ධ සිංහල ශෛලියකින් රචිත මෙම ග්‍රන්ථය අද දක්වා ම සිංහල ගද්‍ය රචකයන්ට ප්‍රබල ආදර්ශයකි.

බුත්සරණ විද්‍යාචක්‍රවර්තින් විසින් බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුද්ධ ගුණ අතුරින් බුද්ධ ගුණය ප්‍රධාන කරගනිමින් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට කිරීම උදෙසා රචනා වූවකි. අතිශය භක්තිරසයෙන් අනූන මෙය සිංහල භාෂාවේ සුමටභාවය හා උපමා අලංකාර පිළිබඳ සුවිශේෂී උදාහරණයකි.

පූජාවලිය මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය මුල් කරගෙන රචනා වූ මෙම කෘතිය බුදුන් වහන්සේට පිදූ විවිධ පූජාවන් පිළිබඳ තොරතුරුවලින් සමන්විත ය. බුද්ධ චරිතයට අමතරව ලාංකේය රාජාවලිය හා ඓතිහාසික සිදුවීම් පිළිබඳව ද වටිනා තොරතුරු රැසක් මෙයින් අනාවරණය වේ.

සද්ධර්මරත්නාවලිය ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ඨකථාව පදනම් කරගෙන රචනා වූව ද එහි එන කතා පුවත් සිංහල සමාජයට ගැළපෙන ලෙස ජනප්‍රිය ගද්‍ය ශෛලියකින් නැවත සකස් කර ඇත. සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතය, උපමා, විනෝදාංශ සහ දුක් වේදනා නිරූපණය කරමින් මානව ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන කෘතියක් ලෙස මෙය අගය කෙරේ.

ධම්පියා අටුවා ගැටපදය වැනි ශාස්ත්‍රීය මූලාශ්‍ර හැර, පොලොන්නරු හා දඹදෙණි යුගවල දී බිහි වූ බොහෝ ගද්‍ය කෘතිවල ප්‍රධාන අරමුණ වූයේ ධර්මය සාමාන්‍ය ජනතාව වෙත සමීප කරවීම යි. සංකීර්ණ පණ්ඩිත භාෂාවෙන් මිදී ජනතාවට තේරුම් ගත හැකි සරල හා සෞන්දර්යාත්මක භාෂා රටාවක් භාවිත කිරීම නිසා මෙම කෘති ජනප්‍රියත්වයට පත් වූ අතර, එය පසුකාලීන සිංහල ගද්‍ය සාහිත්‍යයේ ප්‍රධාන පදනම බවට පත් විය.

සිංහල ගද්‍ය සාහිත්‍යයට පමණක් නොව සිංහල කාව්‍ය සම්ප්‍රදායට ද බුදුදහමේ බලපෑම දැඩි ලෙස පවතී.

මුවදෙව්දාවත දැනට හමුවන පැරණිතම සිංහල ගිහි පද්‍ය කෘතිය වන මෙය බුද්ධ චරිතය හා සම්බන්ධ පූර්ව ජාතක කථාවක් වන මඛාදේව ජාතකය ඇසුරින් රචිත ය. සංස්කෘත කාව්‍ය සම්ප්‍රදායයේ මහා කාව්‍ය ලක්ෂණ උකහාගනිමින් ම ජාතක කථාවක් තෝරාගැනීමෙන් පෙනී යන්නේ එකල කවීන්ගේ පදනම බුදු දහම වූ බවයි.

සසදාවත පොලොන්නරු යුගයේ රචිත මෙය සස ජාතකය ඇසුරින් ලියැවුණු කාව්‍යයකි. පරිත්‍යාගයේ පරමාර්ථය මූලික කරගත් මෙම කථාව බෝසත් ගුණ කීර්තනය තුළින් පාඨකයාට ධාර්මික හා උපශාන්ත පණිවිඩයක් ලබා දෙයි. කව්සිළුමිණ දෙවන පරාක්‍රමබාහු රජු විසින් කුස ජාතකය ඇසුරින් ලියැවුණු සිංහලයේ අග්‍රගණ්‍ය මහා කාව්‍යය යි. එකල රජවරුන් පවා කාව්‍ය රචනයේ දී ජාතක කථා තෝරාගැනීමෙන් රාජ්‍යත්වය සාහිත්‍යය සහ බුදු දහම අතර පැවති සමීප සබඳතාව පැහැදිලි වේ.

එමෙන් ම ගිරා, හංස, පරෙවි, සැළලිහිණි ආදී සන්දේශ කාව්‍ය සම්ප්‍රදායේ ප්‍රධාන ආකෘතිය ගොඩනැගුණේ බෞද්ධ විහාරස්ථාන හා යතිවරයන් වහන්සේලා මූලික කරගනිමිනි. මූලික පණිවුඩය දෙවියන් වෙත යැවීමට පවා විහාරස්ථාන තෝරාගැනීමත් මාර්ග විස්තරවල දී බෞද්ධ සිද්ධස්ථාන කෙරෙහි ඉහළ ගෞරවයක් දැක්වීමත් මෙහි විශේෂ ලක්ෂණයකි.

දඹදෙණි යුගය ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයේ තවත් ප්‍රභූ අවධියකි. මෙකල රාජ සභාවේ ම ප්‍රබල උනන්දුවක් සාහිත්‍ය කටයුතු කෙරෙහි පැවතුනි. සද්ධර්මාලංකාරය, පූජාවලිය සහ තවත් රාශියක් බෞද්ධ කෘති මෙකල රචනා විය. විශේෂයෙන්, මෙකල භාෂාව සංකීර්ණ බවට හා ශාස්ත්‍රීය බවට හැරෙන ප්‍රවණතාවක් දක්නට ලැබුණ ද ඒ සියල්ලෙහි ම මූලික අරමුණ වූයේ බුදුදහම විවිධ ආකාරයෙන් ජනතාවට ගෙනහැර දැක්වීම යි.

විදේශිකයන්ගේ ආක්‍රමණවලින් පසුව රට තුළ ඇති වූ අස්ථාවර සමාජ තත්ත්වයන් හමුවේ පවා සිංහල සාහිත්‍යයේ බෞද්ධ බැඳීම කිසිසේත් බිඳී ගියේ නැත. කෝට්ටේ යුගයේ බිහි වූ ලෝවැඩ සඟරාව, කව්‍යශේඛරය වැනි කෘති, ධර්ම කරුණු කාව්‍යමය රසයෙන් ගෙනහැර දැක්වීමට කැපවුණි. එමෙන් ම පසුකාලීනව බිහි වූ ගුත්තිල කාව්‍යය වැනි ඇතුළු බොහෝ කෘතීන්, ජාතක කථා ඇසුරින් ම රචිත ඒවා විය. එකල බුදුදහම හා සිංහල සාහිත්‍යය අතර පැවති සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වූයේ විදේශීය ආධිපත්‍යයට එරෙහි ජාතික අනන්‍යතාවයේ රැකවරණය බුදුදහම හා සාහිත්‍යයෙන් ලබාගැනීමට ජනතාව යොමු වූ බැවිනි.

බි්‍රතාන්‍ය පාලන සමයේ දී බටහිර සංස්කෘතියේ ප්‍රබල බලපෑම හමුවේ සිංහල භාෂාවේ හා බෞද්ධ අනන්‍යතාවේ පැවැත්ම පිළිබඳව බියක් ඇති විය. මෙම කාල පරිච්ඡේදයේ දී අනගාරික ධර්මපාල තුමා ඇතුළු බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයෝ බුදුදහම හා සිංහල භාෂාව එකට බැඳ තබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. එම කාලයේ ම කුමාරතුංග මුනිදාස ප්‍රමුඛ හෙළ හවුල ව්‍යාපාරය, සිංහල භාෂාවේ ස්වකීයත්වය රැකගැනීමට උත්සාහ දැරූ අතර එහි දී පවා පැරණි බෞද්ධ සාහිත්‍ය කෘති ආශ්‍රිත භාෂා ව්‍යාකරණ හා වචන සම්භවය පදනම් කරගැනීම කැපී පෙනුනි.

විසිවන සියවසේ බිහි වූ නවකතා සාහිත්‍යය හා කෙටිකතා සාහිත්‍යය දෙස බැලුව ද බෞද්ධ දර්ශනයේ බලපෑම මුළුමනින් ම වියැකී ගොස් නොමැති බව පැහැදිලි වේ. මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය, විරාගය වැනි කෘතීන්හි, ජීවිතයේ අනිත්‍යතාව, තෘෂ්ණාවේ විනාශකාරී ස්වභාවය වැනි බෞද්ධ තේමා පිළිබිඹු වේ. එමෙන් ම ගුණදාස අමරසේකර, කේ. ජයතිලක ඇතුළු බොහෝ නවකතාකරුවන්ගේ කෘතීන්හිද බෞද්ධ මනෝවිද්‍යාත්මක විග්‍රහයන් හා ධර්මයේ දාර්ශනික ගැඹුර අන්තර්ගත වී ඇත. කවි සාහිත්‍යයේ ද විශේෂයෙන් ගුණදාස අමරසේකරගේ මුල් කාලීන කවිවලින් පටන් ගෙන අද දක්වා ම බෞද්ධ දෘෂ්ටිවාදය මතුපිටින් හෝ ගැඹුරින් පෙනී යයි. සිංහල ළමා සාහිත්‍යයේ ද බුදුදහමේ බලපෑම නොසොයා ම එකඟ කළ නොහැක. ජාතක කථා ඇසුරින් රචිත ළමා පොත් රාශියක්, පරම්පරා ගණනාවක් තිස්සේ ළමා අධ්‍යාපනයේ මූලික අංගයක් ලෙසින් සේවය කර ඇත. දහම් පාසල් පද්ධතිය තුළින් ම බුදුදහම හා සිංහල භාෂාව ලංකාවේ ළමා පරපුරට එකවර හඳුන්වා දෙන සම්ප්‍රදායක් අද දක්වා ම පවතී.

මේ සියලු ඓතිහාසික සාක්ෂි විමසා බැලීමෙන් පසුව එළියට එන ප්‍රශ්නය නම් මෙම සබඳතාව මෙතරම් කාලයක් නොබිඳී පැවතුනේ මන්ද යන්න යි. පළමුවෙන් ම බුදුදහම හුදෙක් ආගමික සිද්ධාන්තයක් නොව ජීවන දර්ශනයක් ලෙසින් සිංහල ජනතාවගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් වී තිබූ බැවින් එය සාහිත්‍යයට ස්වභාවිකව ම කාවැදුනි. දෙවනුව සිංහල භාෂාවේ ලිඛිත ස්වරූපය ම බුදුදහම ඔස්සේ බිහි වූ බැවින් භාෂාව හා දහම අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවක් ගොඩනැගී තිබුණි. තෙවනුව විදේශීය ආක්‍රමණ හා යටත්විජිත පාලනය හමුවේ බුදුදහම හා සිංහල භාෂාව ජාතික අනන්‍යතාව රැකවරණය සඳහා එකට එකතු වූ බැවින් එම බැඳීම තව තවත් ශක්තිමත් විය.

වර්තමානයේ දී ගෝලීයකරණයේ බලපෑම හමුවේ තරුණ පරපුර අතර, සිංහල භාෂාවේ හා බෞද්ධ සාහිත්‍යයේ ජනප්‍රියත්වය අඩුවෙමින් පවතින බවක් නිරීක්ෂණය කළ හැකිය. සමාජ මාධ්‍යය හා විදේශීය අන්තර්ගතයන් වෙත තරුණ පරපුරේ අවධානය යොමු වී ඇති අවස්ථාවක පැරණි බෞද්ධ සාහිත්‍ය කෘති කියවීමට උනන්දුවක් දැක්වීම අඩු වී ඇති බව පෙනී යයි. එනමුත් මෙය අභියෝගයක් වුව ද අවස්ථාවක් ලෙසින් ද සැලකිය හැකිය. නවීන තාක්ෂණය ඔස්සේ ඩිජිටල් ග්‍රන්ථවල ශ්‍රව්‍ය පොත් වැනි මාධ්‍ය ඔස්සේ පැරණි බෞද්ධ සාහිත්‍ය තරුණ පරපුරට ළඟා කිරීමේ හැකියාව අද පවතී.

ලංකාවේ සිංහල සාහිත්‍ය ඉතිහාසය පිරික්සා බැලූ විට එය හුදෙක් වචන හා වාක්‍ය එකතුවක් නොව බුදු දහමේ ආලෝකයෙන් පෝෂණය වූ ජාතියක ආත්මය පිළිබිඹු කරන සජීවී ප්‍රවාහයක් බව පැහැදිලි වේ. අලුවිහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සිට ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන පොලොන්නරු යුගය, කෝට්ටේ හා මහනුවර යුගවල කාව්‍ය සම්ප්‍රදායයන් ඔස්සේ යටත්විජිත සමයේ ජාතික පුනර්ජීවනය හරහා අද දක්වාම එම බැඳීම නොබිඳී පවති යි. මෙය හුදෙක් අතීතයේ රැඳුණු කරුණක් නොව අනාගතයටත් රැගෙන යා යුතු උරුමයකි. සිංහල සාහිත්‍යය හා බුදුදහම අතර පවතින මෙම නොබිඳෙන සබඳතාව රැක ගැනීම එය ඉදිරි පරපුරට ද අත්හළ නොහැකි උරුමයක් ලෙස පවරා දීම අද වර්තමාන පරපුරේ වගකීමකි.

ආචාර්ය, රාජකීය පණ්ඩිත මැටිබැඹියේ ධම්මසිරි හිමි,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය,මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.