ලොව විශාලතම යුද අවි නිෂ්පාදන සමාගම වන ලොක්හීඩ් මාටින් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා මෑතකදී පවසා තිබුණේ, ගාසා, ඉරානය, ලෙබනනය සහ යේමනය සම්බන්ධව ඊශ්‍රායලයේ ත්‍-35 ප්‍රහාරක ගුවන් යානා දත්ත තම සමාගමට ඇ. ඩො. බිලියන ගණනක් වටිනා බවයි. මේ අතර, ඉරාන යුද්ධයේදී යොදාගැනුණු ආයුධ ඇතුළුව, ත…

ලොව විශාලතම යුද අවි නිෂ්පාදන සමාගම වන ලොක්හීඩ් මාටින් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා මෑතකදී පවසා තිබුණේ, ගාසා, ඉරානය, ලෙබනනය සහ යේමනය සම්බන්ධව ඊශ්‍රායලයේ ත්‍-35 ප්‍රහාරක ගුවන් යානා දත්ත තම සමාගමට ඇ. ඩො. බිලියන ගණනක් වටිනා බවයි.

මේ අතර, ඉරාන යුද්ධයේදී යොදාගැනුණු ආයුධ ඇතුළුව, තමන්ගේ අඩු වී ඇති යුද අවි සංචිත නැවත සපුරා ගැනීම සඳහා ආයුධ නිෂ්පාදනය වේගවත් කරන ලෙස ඇමෙරිකාවේ යුද අවි නිෂ්පාදන සමාගම් වෙත ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව, බලපෑම් කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකාව, ඊශ්‍රායලය හා රුසියාව ඇතුළු රටවල් කිහිපයක හැරෙන්නට, සෙසු කර්මාන්තවලට සාපේක්ෂව යුද අවි කර්මාන්තය කුඩා කාර්මික අංශයකි. නමුත්, දේශපාලනික වැදගත්කම හා තීරණාත්මකභාවය අතින් ගත් විට මෙම කර්මාන්තය පැහැදිලිවම පවතින්නේ කේන්ද්‍රීය තැනකය. එසේම, යුද අවි කර්මාන්තය වෙනත් බොහෝ කාර්මික වෙළෙඳපොළවල පාරිභෝගික හැසිරීමට වඩා හාත්පසින්ම වෙනස් හැසිරීම් සහිතය.

1934 දී ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජෙරල්ඩ් නයිගේ සභාපතිත්වයෙන් යුත් සෙනෙට් කමිටුවක් එවක ඇමෙරිකාවේ යුද අවි කර්මාන්තය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේය. මෙම විමර්ශනයේදී, පළමු ලෝක යුද්ධයෙන් ඇමෙරිකානු යුද අවි කර්මාන්තය උපයාගෙන ඇති දැවැන්ත ලාභය සම්බන්ධව විමර්ශනයට ලක් විණි. කමිටුවේ එක් පුරෝකථනයක් වූයේ, මෙම “මරණයේ වෙළෙන්දන්” වැඩි කල් නොයා ඇමෙරිකාව තවත් විශාල ගැටුමකට ඇද දැමිය හැකි බවය. මෙම විමර්ශනය පදනම් කොටගෙන එවක ඇමෙරිකාවේ පුළුල් කථිකාවක් ඇරඹිණ. එහිදී කියැවුණේ එවක ඇමෙරිකාවේ ධනවත් කර්මාන්ත වූ DuPont, J. P. Morgan සහ Pratt & Whitney වැනි සමාගම්වල විධායක නිලධාරීන්, සිය ලාභ තර කර ගැනීම සඳහා හිතාමතාම නොඑසේනම්, සැලසුම්සහගතව අන්තර් රාජ්‍ය එදිරිවාදිකම් අවුස්සන බවයි. “යුද අවි නිෂ්පාදකයා” නැඟී බලවත් වී ඇති බවත්, ඒ වන තෙක්ම ඔහු ගෝලීය කටයුතුවල වඩාත්ම බිහිසුණු සාධකවලින් එකක්, එනම් සාමයට බාධා කරන්නෙක් හා යුද්ධය ප්‍රවර්ධනය කරන්නෙක් බවත්, එවක ඇමෙරිකාවේ සිදු කළ ප්‍රධාන අධ්‍යයනයක සඳහන් විණි. වෝල් ස්ට්‍රිට් ජර්නලය පවා, ජෙරල්ඩ් නයිගේ සභාපතිත්වයෙන් යුත් සෙනෙට් කමිටුව ආරක්ෂා කරමින්, ඇමෙරිකානු සමාගම් මූල්‍යමය අතින් වර්ධනය වීමට, අසල්වැසි රාජ්‍යවල ජනතාව එකිනෙකාගෙන් පළිගැනීමට පොළඹවන යුද අවි කර්මාන්තයේ දුෂ්ට ක්‍රමය හෙළා දුටුවේය.

නමුත් නූතන ගෝලීය යථාර්ථය ගත් විට ඊට වෙනස්ය. මෙම ව්‍යාපාරයේ නිරතව සිටින සහ ඉන් ප්‍රතිලාභ ලබන, යුද අවි කර්මාන්තය සඳහා මුදල් ආයෝජනය කරන, නව යුද අවි නිර්මාණය කරන, නිෂ්පාදනය කරන, මිල දී ගන්නා සහ අපනයනය කරන පාර්ශ්ව, සාර්ථක, උන්නතිකාමී, රැකියා උත්පාදනය කරන සහ ආරක්ෂාව සලසන ගෞරවනීය ව්‍යාපාරයක නියැලී සිටින්නන් බව සලකනු ලැබේ. ඇතැම්විට ඒ ප්‍රතිරූපය ගොඩනඟා ඇත්තේද මෙම යුද අවි නිෂ්පාදන සමාගම්වලින් මූල්‍ය වාසි ලබන, දේශපාලකයන්, වෘත්තිකයන්, සංවිධාන හා ජනමාධ්‍ය විසිනි.

ලෝකයට යුද අවි සපයන්නෝ

යුද අවි නිෂ්පාදනය ගෝලීය වශයෙන් මැන බැලීම දුෂ්කරය. ඊට හේතුව වන්නේ රටක් නොව, එක් එක් සමාගම විසින් වාර්තා කරන දත්ත, වඩාත්ම විශ්වාසදායක මූලාශ්‍රය වී තිබීමයි. එක් රටක මූලස්ථානයක් ඇති සියලු සමාගම් නිතිපතා එකතු කරනු ලබන දත්ත, ජාතික යුද අවි නිෂ්පාදනයට අනුරූප වන්නේ නැත. ඊට හේතුව, ඇතැම් යුද අවි නිෂ්පාදන විදේශ රටවල විකුණනු ලැබීමය. එසේම, බොහෝ රටවල, සාපේක්ෂව කුඩා පරිමාණයේ යුද අවි නිෂ්පාදන සමාගම් ඒකාබද්ධ වී, ජාතික යුද අවි සැපයුමෙන් විශාල කොටසක් නිෂ්පාදනය කරනු ලැබේ.

Stockholm International Peace Research Institute (SIPRI) විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන, ඉහළම අවි නිෂ්පාදන සහ හමුදා සේවා සමාගම් 100 වාර්තාවට අනුව, 2023 – 2024 වසරවල ගෝලීය යුද අවි කර්මාන්තය සංසන්දනාත්මකව ගත් විට, බොහෝ සිවිල් කර්මාන්තවලට වඩා අඩු සංකේන්ද්‍රණයකින් යුතු වේ. ඉහළම සමාගම් 100 හි මුළු යුද අවි අලෙවි ආදායම 2023 දී ඇ. ඩො. බිලියන 632 කි. එය ගෝලීය භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් ඇති වූ අවි සහ මිලිටරි උපකරණ සඳහා ඇති ඉල්ලුමේ ප්‍රබල වැඩිවීමක් පිළිබිඹු කරයි. 2000 දශකයේ මුල් භාගයේ සිට සාන්ද්‍රණය පහත වැටී ඇති බව වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, ඉහළම යුද අවි නිෂ්පාදන සමාගම් 100 අතර ඉහළින්ම ඇති සමාගම් පහේ වෙළෙඳපොළ කොටස 2002 දී 45% සිට 2016 දී ආසන්න වශයෙන් 37% දක්වා සහ 2023 දී 31.4% දක්වා පහත වැටී තිබේ.

SIPRI දත්තවලට අනුව, විශාලතම යුද අවි නිෂ්පාදන සමාගම් 100 විසින් යුද අවි සහ මිලිටරි සේවා අලෙවියෙන් 2024 වසරේදී ලද ආදායම 5.9% කින් ඉහළ ගොස් වාර්තාගත ඇ. ඩො. බිලියන 679 ක් වී තිබේ. යුක්රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ, ගෝලීය සහ කලාපීය භූ දේශපාලනික ආතතීන් සහ මෙතෙක් පැවති ඉහළ මිලිටරි වියදම් හේතුවෙන් ඉල්ලුම ඉහළ යෑමත් සමග 2024 දී ගෝලීය යුද අවි ආදායම මෙසේ තියුණු ලෙස ඉහළ ගොස් ඇත. 2018 න් පසු පළමු වතාවට, විශාලතම යුද අවි සමාගම් පහම ඔවුන්ගේ අලෙවි ආදායම වැඩි කරගෙන තිබේ.

ගෝලීය අදායම් ඉහළ යෑමේ වැඩි කොටස යුරෝපය සහ ඇමෙරිකාව පදනම් වූ සමාගම් නිසා සිදු වුවද, ඉහළම 100 අතරට ඇතුළත් කර ඇති සියලුම ලෝක කලාපවල වසරින් වසර යුද අවි අලෙවි ආදායම ඉහළ ගොස් ඇත.

ආදායම් සහ නව ඇණවුම් වැඩිවීම පදනම් කොට ගෙන, බොහෝ යුද අවි සමාගම් සිය නිෂ්පාදන මාර්ග පුළුල් කිරීමට, පහසුකම් විශාල කිරීමට, නව අනුබද්ධිත ආයතන පිහිටුවීමට හෝ අත්පත් කර ගැනීම් සිදු කිරීමට පෙළඹී තිබේ.

2024 දී ඉහළම 100 තුළ සිටින ඇමෙරිකානු යුද අවි සමාගම්වල ඒකාබද්ධ අලෙවි ආදායම 3.8% කින් වර්ධනය වී ඇ.ඩො. බිලියන 334 ක් වී තිබේ. ශ්‍රේණිගත කිරීමේ සිටින ඇමෙරිකානු සමාගම් 39 න් 30 ක් ඔවුන්ගේ යුද අවි අලෙවි ආදායම වැඩි කර ගෙන තිබේ.

2024 දී ඉහළම සමාගම් 100 අතර, අලෙවි ආදායමේ සමස්ත පහත වැටීමක් දැකිය හැකි එකම කලාපය ආසියාව සහ ඕෂනියාව වේ. එය 2023 ට වඩා 1.2% කින් අඩුවීමකි. එය, ඩොලර් බිලියන 130 දක්වා පහත වැටීමකි. මෙයට හේතුව වී ඇත්තේ, චීන අවි සමාගම් අට අතර ඒකාබද්ධ අවි ආදායම 10% ක පහත වැටීමක් හේතුවෙන් කලාපීය පහත වැටීමක් සිදුවීමය.

ආයුධ සමාගම්, විවිධ ප්‍රමාණයන්ට, ජාත්‍යන්තරකරණය වී තිබේ. යුද අවි කර්මාන්තයේදී ජාත්‍යන්තරකරණය යනු, ජාතික මට්ටමේ සිට බහුජාතීන් සම්බන්ධ කර ගැනීම සඳහා අවි සංවර්ධනය සහ නිෂ්පාදනය බද්ධ කරන ක්‍රියාවලියකි. මෙම සමාගම් එක් රටක මූලස්ථානය ස්ථාපිත කොට ගෙන, ආයුධ හෝ ආයුධ කොටස් නිෂ්පාදනය කරන සහ සේවා සපයන සිය ශාඛා විදේශවල පවත්වාගෙන යයි. මෙම ජාත්‍යන්තරකරණය පශ්චාත් සීතල යුද්ධ කාල පරිච්ඡේදයේ නිෂ්පාදනයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

යුද අවි නිෂ්පාදන සමාගම රට 2023 වසරේ ආදායම (ඇ. ඩො. මිලියන) 2024 වසරේ ආදායම (ඇ. ඩො. මිලියන) ආදායමේ වර්ධන ප්‍රතිශතය

1 Lockheed Martin ඇ.එ.ජ. 62,630 64,650 3.2%

2 RTX ඇ.එ.ජ. 41,870 43,600 4.1%

3 Northrop Grumman ඇ.එ.ජ. 36,630 37,850 3.3%

4 BAE Systems එක්සත් රාජධානිය 31,600 33,790 6.9%

5 General Dynamics ඇ.එ.ජ. 31,100 33,630 8.1%

6 Boeing ඇ.එ.ජ. 32,030 30,550 -4.6%

7 Rostec රුසියාව 21,450 27,120 26.4%

8 AVIC චීනය 20,590 20,320 -1.3%

9 CETC චීනය 21,100 18,920 -10.4%

10 L3Harris Technologies ඇ.එ.ජ. 15,200 16,210 6.6%

2023 -2024 වසරේ ඉහළම ආදායම් ලැබූ යුද අවි නිෂ්පාදන හා මිලිටරි සේවා සමාගම් 10

ලොක්හීඩ් මාටින් යනු ලොව විශාලතම යුද අවි නිෂ්පාදන සමාගමයි. මව් සමාගම ඇමෙරිකාවෙහි පවතින එහි විදේශීය ශාඛා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, ඊශ්‍රායලය, ග්‍රීසිය, රුමේනියාව, පෝලන්තය, ජර්මනිය, ඩෙන්මාර්කය, නෝර්වේ, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, කැනඩාව, බ්‍රසීලය, නවසීලන්තය, ජපානය, ඔස්ටේ්‍රලියාව, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, ඉන්දියාව යන රටවල් 20 හි ස්ථාපිත කොට තිබේ.

2023 දී, ලොව විශාලතම යුද අවි නිෂ්පාදන සහ මිලිටරි සේවා සමාගම් 100 හි මුළු අලෙවි ආදායම ඩොලර් බිලියන 632 දක්වා ළඟා විණි. එය පෙර වසරට වඩා 4.2% ක වැඩිවීමකි. ඔවුන්ගේ යුද අවි අලෙවියත් සමග SIPRI ලයිස්තුවේ සිටින ආයුධ නිෂ්පාදකයන් හය දෙනා වන Lockheed Martinල RTX, Northrop Grumman, Boeing, General Dynamics සහ BAE Systems පමණක් “ෆෝචූන් ග්ලෝබල් 500” ලැයිස්තුවට ඇතුළත් විය.

අද වන විට, බොහෝ ආයුධ සමාගම් බොහෝ රටවල්වල සිට ක්‍රියාත්මක වන, ලොව පුරා නිෂ්පාදන පහසුකම් ඇති සහ අනෙකුත් ජාතීන් සහ වාණිජ සමාගම් සමග ආයුධ සංවර්ධනය කරන ගෝලීය ව්‍යවසායන් වේ. කර්මාන්තයේ මෙම වැඩිවන ජාත්‍යන්තරකරණය ආයුධ අපනයන නියාමනය සඳහා ගැටලු ගණනාවකට මඟ පාදා තිබේ. එය රාජ්‍ය සහ සමාගම් දෙකටම ගෝලීය අවි ප්‍රවාහයේ ඔවුන්ගේ භූමිකා සැඟවීමටත්, ඒවායින් ලාභ ලබන්නේ කවුරුන්ද යන්න සැඟවීමටත් අවස්ථා නිර්මාණය කර දී තිබේ.

යුද අවි අපනයන හා ආනයන

ගෝලීය වශයෙන් ගත් විට විශාලතම යුද අවි අපනයනකරුවා වන්නේ ඇමෙරිකාවයි. අනෙක් අතට, එහි යුද අවි ආනයන අනුපාතය සාපේක්ෂව අඩුය. 2024 වසරේදී, ඇමෙරිකාව ආසන්න වශයෙන් ඇ.ඩො. බිලියන 1.21ක් වටිනා ආයුධ ආනයනය කර තිබිණි. එය යුධෝපකරණ සඳහා වන ඇමෙරිකාවේ ජාතික ඉල්ලුමෙන් 1%කටත් වඩා අඩුය. මෙම අගයෙන් පෙනෙන්නේ ඇමෙරිකාව ආරක්ෂක ප්‍රසම්පාදනයේදී දේශීය සැපයුම් මූලාශ්‍ර මත විශ්වාසය තබන බවයි. එනම්, ඇමෙරිකාව සිය මිලිටරි අවශ්‍යතා බොහොමයක් සපුරාගන්නේ දේශීය ආයුධ නිෂ්පාදන සමාගම් වෙතිනි. ඒ අනුව සැලකූ විට, ඇමෙරිකාව බොහෝ දුරට ආයුධ අතින් ස්වයංපෝෂිත රාජ්‍යයකි.

නමුත්, සැලකිය යුතු යුද අවි නිෂ්පාදන කර්මාන්ත ඇති අනෙකුත් රටවල්, විවිධ මට්ටමේ ආනයන තත්ත්වයන් පෙන්නුම් කරයි. යුරෝපය ගත්විට, 2014-18 සහ 2019-23 අතර කාලය තුළ ප්‍රධාන යුරෝපා රාජ්‍යවල අවි ආනයනය 94% කින් වැඩි වී තිබේ. එය විදේශීය මිලිටරි සැපයුම් මත වර්ධනය වන යැපීමක් ඉස්මතු කරයි. ආසියාව සහ ඕෂනියා කලාපයේ රටවල්, යුරෝපා රටවලට වඩා විශාල පරිමාවකින් අවි ආනයනය කිරීම අඛණ්ඩව සිදු කරගෙන ගොස් ඇත. 2019-2023 කාලයේදී විශාලතම අවි ආනයනකරුවන් 10 දෙනාගෙන් නව දෙනෙක් මෙම කලාපයට අයත් විණි.

මැදපෙරදිග ගත් විට, ආසියාව හා සමානව, මැද පෙරදිග යුද අවි හුවමාරුව සම්බන්ධ ප්‍රධාන ආනයනකරුවකු ලෙස පැවතී ඇත. එය අඛණ්ඩ කලාපීය ගැටුම් සහ ආරක්ෂක ගැටලු හේතුවෙන් සිදුවන්නකි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන ආකාරයට, ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී සහ අස්ථායී ප්‍රදේශ කිහිපයකට යුද අවි සමාගම් විශාල පරිමාණයේ මිලිටරි උපකරණ සපයයි. බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් විනාශ වූ සන්නද්ධ ගැටුම් සහ දේශපාලන නොසන්සුන්තාවලදී මෙම ආයුධ හා යුද උපකරණ බොහෝ විට නීති විරෝධී ලෙස භාවිත වේ. ගෝලීය මිලිටරි වියදම 2024 දී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.7 ඉක්මවා තිබිණි. එය පෙර 2023 වසරට වඩා 9.4% ක වැඩිවීමකි. එය එම වසරේම කැනඩාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට වඩා ට්‍රිලියන භාගයකට ආසන්න ප්‍රමාණයකි. ලොව පුරා විනාශකාරී ගැටුම් අඛණ්ඩව පවතින විට, යුද අවි සමාගම් ලාභ උපයා ගැනීම දිගටම සිදු වේ. මෙම ගැටුම් උත්සන්න වීම වැළැක්වීමට සහ මිලිටරි වියදම් මැඬපැවැත්වීමට වැඩිම බලයක් ඇති රාජ්‍ය ද, අන්තර්ජාතික යුද අවි වෙළෙඳාමේ ආධිපත්‍යය දරන ඒවා වේ. 2020 සහ 2024 අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස් දෙනා වන චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය, ලෝකයේ යුද අවි අලෙවියෙන් 70% කට වගකිව යුතු විය.

2025 වන විට, යුරෝපයේ විශාලතම අවි සැපයුම්කරුවන් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය, එක්සත් ජනපද ආයුධ අපනයන ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් අපනයනය කිරීම සඳහා වගකිව යුතු වූ අතර, යුරෝපා සංගම් අපනයනවලින් 84% ක් සිදුව ඇත්තේ සාමාජික නොවන රටවලට ය. යුරෝපා සංගමයේ ආයුධ අපනයන පරිමාව, රුසියාවට වඩා හතර ගුණයක් සහ චීනයට වඩා පස් ගුණයක් ලෙස පවතින අතර, එය ඉතා ප්‍රබල ගෝලීය ආයුධ සැපයුම්කරුවකු බවට පත් කර තිබේ.

2020 ගණන්වල යුද අවි සමාගම්, වඩ වඩාත් ලාභ උපයමින් සිටින බවත්, ගාසා, ඉරානය, යුක්රේනය, සුඩානය සහ වෙනත් තැන්වල යුද ගැටුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම ඔවුන්ගේ අවශ්‍යතාව බවත්, ඔවුන් විසින් මහජන නියෝජිත කණ්ඩායම් හා ප්‍රතිපත්ති සම්පාදකයින් නිරන්තරයෙන් යුද පදනමක් මත තබා ගැනීමට උත්සාහ කරන බවත් මේ සම්බන්ධ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

යුද අවි වෙළෙඳ චක්‍රය

ආරක්ෂක ආර්ථිකය තුළ, යුද අවි වෙළෙඳ චක්‍රය හෝ මිලිටරි ආර්ථික චක්‍රය හෝ ඇත. යුද අවි වෙනුවෙන් වියදම් සඳහා අයවැය වෙන් කිරීමට රජයක් ගත් තීරණයේ සිට ඒවායේ අවසාන භාවිතය දක්වා යුද අවි කර්මාන්තය අනුගමනය කරන ආර්ථික මාර්ගය මෙයයි. රටක මිලිටරි ව්‍යුහයට අදාළ සියල්ල මෙම චක්‍රයට ඇතුළත් වේ. එනම්, ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රතිපත්ති, ජාතික ආරක්ෂක උපාය මාර්ගය, හමුදා ආකෘතිය, යටිතල පහසුකම්, උපකරණ සහ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රමාණය ආදී වශයෙනි. යුද අවි වෙළෙඳ චක්‍රය ආරම්භ වන්නේ තර්ජනය පිළිබඳ සංජානන වැඩි කරන, යුද අවි සහ හමුදා නීත්‍යනුකූල කරන සහ ඉහළ මට්ටමේ මිලිටරිකරණය සහ ආරක්ෂක වියදම් සාධාරණීකරණය කරන ප්‍රසිද්ධ කථිකා සහ සාකච්ඡාවලිනි.

යුද අවි වෙළෙඳ චක්‍රයට අදියර කිහිපයක් තිබේ. එම අදියරයන්හි යුද අවි වෙළෙඳාම ප්‍රවර්ධනය කරන ප්‍රධාන රාජ්‍ය, සමාගම් සහ මූල්‍ය ආයතනවල භූමිකාව හා ක්‍රියාකාරීත්වය හඳුනාගත හැකිය.

මෙහි පළමු අදියර වන්නේ මිලිටරි වියදම්ය. මෙයට ආරක්ෂක අමාත්‍යාංශ සහ අනෙකුත් අයට මිලිටරි කර්මාන්තයට සහාය වීම සඳහා වෙන් කරන ලද අයවැය, සියලු වර්ගවල හමුදා මෙහෙයුම් සහ අතුරු හමුදාද ඇතුළත් වේ. සීතල යුද්ධය අවසන් වීමෙන් පසු ගෝලීය මිලිටරි වියදම් එහි ඉහළම මට්ටමට ළඟා වූයේ 2019 වසරේදීය. ඇ.ඩො. ට්‍රිලියන 1.9 ක් වූ එය, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% කට සමානය. ආරක්ෂක අයවැය, පර්යේෂණ සහ සංවර්ධන සඳහා වන අරමුදල් හරහා, ආර්ථිකයේ මිලිටරි අංශය නඩත්තු කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ද සේවය කරයි. ප්‍රායෝගිකව යුද අවි කර්මාන්තයට ඇති එකම සේවාදායකයන් රජයන් වන බැවින්, ඉහළ මට්ටමේ මිලිටරි වියදම් සහතික කිරීමට ඔවුහු හැකි සෑම දෙයක්ම කරති. ඉහළම මිලිටරි වියදම් මට්ටම් ඇති රාජ්‍ය දහය ගෝලීය මුළු මුදලින් 75% ක් වේ. ඒවා, විශාලත්වය අනුව, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, සෞදි අරාබිය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, ජපානය සහ දකුණු කොරියාව වේ.

යුද අවි කර්මාන්තය, යුද අවි වෙළෙඳ චක්‍රයේ ඊළඟ අදියරේ කොටසක් වේ. ඉහළම සමාගම් 100 වසරකට ඇ.ඩො. බිලියන 400 ක් පමණ වටිනා යුද අවි නිෂ්පාදනය කරයි. ප්‍රධාන යුද අවි නිෂ්පාදන සමාගම් පිහිටා ඇත්තේ, ඉහළ මිලිටරි වියදම් සහ අවි අපනයන මට්ටම් සහිත රටවලය. ඒ අනුව, 57% ක් ඇමෙරිකාවේද, 9.5% ක් රුසියාවේ සහ 22% ක් බටහිර යුරෝපයේ පිහිටා ඇත. එසේම, ජපානය, ඊශ්‍රායලය, ඉන්දියාව සහ දකුණු කොරියාවේද සැලකිය යුතු සමාගම් තිබේ.

යුද අවි අපනයනය, චක්‍රයේ ඊළඟ අදියර වේ. ගෝලීය අපනයනවල වාර්ෂික පරිමාව නොදන්නා අතර, රජයන් විසින් සපයනු ලබන තොරතුරු අසම්පූර්ණය. කෙසේ වුවද, 2018 දී යුරෝපා සංගමයේ සාමාජික රටවල් සහ ඇමෙරිකාව පමණක් යුරෝ බිලියන 200 ක් පමණ වටිනා යුද අවි අපනයනය කළ බව ඇස්තමේන්තු කර ඇත. යුද අවි වෙළෙඳාම පාලනය කිරීම සඳහා යුරෝපා සංගමයේ සහ ඇමෙරිකාවේ නීති සහ ජාත්‍යන්තර අවි වෙළෙඳ ගිවිසුම තිබියදීත්, අපනයන ප්‍රමාණයන් අඛණ්ඩව වර්ධනය වේ. සන්නද්ධ ගැටුම්වලට සම්බන්ධ බොහෝ රටවලට ආයුධ නිතිපතා අපනයනය කෙරේ. යුරෝපා සංගමයේ රටවල අවි අපනයනයෙන් 22% ක් සන්නද්ධ ගැටුම්වලට සම්බන්ධ රටවල් සඳහා සහ 25% ක් දේශපාලන ආතතිය අත්විඳින රටවල් සඳහා බව වාර්තා වේ.

යුද අවි වෙළෙඳ චක්‍රයට තවත් එක් තීරණාත්මක අංගයක් තිබේ. ඒ, ආයතනික මිලිටරි අංශයේ මූල්‍යකරණයයි. යුද අවි නිෂ්පාදනය කරන සමාගම් සඳහා බැංකු, රක්ෂණ සමාගම් සහ සියලු වර්ගවල මූල්‍ය ආයතන විසින් ණය, බැඳුම්කර නිකුතු, කොටස් සහ ඔවුන්ගේ ව්‍යාපාරයට ඉඩ සලසන සමස්ත බැංකු නිෂ්පාදන පරාසය මගින් අරමුදල් සපයනු ලැබේ. වාර්තාවලට අනුව, ලොව ප්‍රධාන අවි නිෂ්පාදන සමාගම් 37 ක් රටවල් 50 ක බැංකු 500 කට වැඩි ගණනකින් ඇ.ඩො. බිලියන 903 ක අරමුදල් ලබාගෙන ඇත. යුද අවි වෙළෙඳාමට සම්බන්ධ ප්‍රධාන මූල්‍ය ආයතන ඇමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය පදනම් කරගෙන පවතී. ලොව පුරා යුද අවි කර්මාන්තයට මූල්‍ය සහාය සපයන ප්‍රධාන සැපයුම්කරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළම දස දෙනා වන්නේ වැන්ගාඩ්, බ්ලැක් රොක්, කැපිටල් ගෲප්, ස්ටේට් ස්ට්‍රිට්, ටී. රෝව් ප්‍රයිස්, වෙරිසයිට්, බෑන්ක් ඔෆ් ඇමෙරිකා, ජේ. පී, මෝගන් චේස්, වෙල්ස් ෆාගෝ සහ සිටිගෲප් ය.

ආයුධ වෙළෙඳ චක්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර සහ ක්‍රියාත්මක වන අතරතුර, රටක පුරවැසියන්ට මිලිටරි වියදම් සඳහා මහජන මුදල් භාවිත කිරීම සාධාරණීකරණය කිරීමේ අවශ්‍යතාවක් පවතී. මෙහිදී, යුද අවි නිෂ්පාදනය සහ අපනයන සම්බන්ධ සදාචාරාත්මක අපකීර්තිය වළක්වා ගත යුතුය. එසේ නොවුවහොත් එය විසින් යුද අවි ව්‍යාපාරය වළක්වනු ඇත. හමුදා සහ ආරක්ෂක අංශ, රාජ්‍ය සහ බහුපාර්ශ්වික සංවිධාන නිරන්තරව, ආරක්ෂාව සම්බන්ධව ආරක්ෂක විශ්ලේෂණ සිදු කරන්නේ මේ නිසාය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ, ඕනෑම අවස්ථාවක ආරක්ෂාවට ඇති තර්ජන මොනවාද, ඒවා සිදුවීමේ සම්භාවිතාව සහ ඒවාට ආමන්ත්‍රණය කළ යුතු ආකාරය හඳුනා ගැනීමයි. පවතින මිලිටරි ව්‍යුහ සහ ප්‍රතිපත්ති හරහා රටක ආරක්ෂාව තහවුරු කර ගැනීමට කළ යුතු, සතුරන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂාවට ඇති තර්ජන, මෙහිදී අවශ්‍ය ප්‍රධාන පියවරයි.

මෙසේ මිලිටරිකරණය කරන ලද, ආරක්ෂක කථිකාවල ආරක්ෂාවට ආවේණික වූ තර්ජන සෙවීමේ උමතුව විසින් බිය සහ අවිශ්වාසයෙන් ආධිපත්‍යය දරන ලෝකයක් නිරූපණය කරන ආඛ්‍යානයක් නිර්මාණය කරනු ලබයි. මිලිටරිකරණය සඳහා මෙය කදිම අවස්ථාවකි. ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ නේටෝ සංවිධානයේ වත්මන් ආරක්ෂක උපාය මාර්ගවලින් හඳුනාගෙන ඇති, ආරක්ෂාවට ඇති අවදානම් සහ තර්ජන වන්නේ ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩ අන්තවාදය, සන්නද්ධ ගැටුම් සහ ඊනියා බිඳෙනසුළු රාජ්‍ය මෙන්ම, දැඩි විනාශකාරී යුද අවි ව්‍යාප්තිය, සංවිධානාත්මක අපරාධ, සයිබර් ආරක්ෂාවට ඇති තර්ජන, බලශක්ති ආරක්ෂාව, සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම, දේශගුණික විපර්යාස, අක්‍රමවත් සංක්‍රමණ, බාහිර දේශසීමා කළමනාකරණය සහ ආර්ථික අර්බුද ය. මේවාට අමතරව, වඩාත් සාම්ප්‍රදායික භූ දේශපාලනික උපායමාර්ගද තිබේ. සියලුම බටහිර ජාතීන් විසින් රුසියාව, උතුරු අප්‍රිකාව, මැද පෙරදිග කලාපය, උතුරු කොරියාව, ඉරානය හා චීනය ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් විශේෂයෙන් අවධානයට ලක්වන කලාප ලෙස බොහෝ විට සැලකේ.

මිලිටරි කාර්මික සංකීර්ණය

”military industrial complex” (“මිලිටරි කාර්මික සංකීර්ණය”) යන වාක්‍ය ඛණ්ඩය නිර්මාණය කර ඇත්තේ මෙම යුද අවි කර්මාන්තකරුවන්ට රාජ්‍යය ඵලදායී ලෙස තමන්ගේ ග්‍රහණයේ තබා ගැනීමටය. යුද අවි කර්මාන්තයේ වර්ධනයට වගකිව යුත්තේ පෞද්ගලික ක්‍රියාකාරීන්ම නොවේ. අවසාන වශයෙන්, රාජ්‍ය විසින් සේවාදායකයින් හා හිමිකරුවන් ලෙස මිලිටරි වෙළෙඳපොළවල් හැඩගස්වා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශ විසින් හඳුනාගත් ආරක්ෂක තර්ජනවලින් තම රටවල් ආරක්ෂා කර ගැනීම සඳහා හමුදා ව්‍යුහ සහ අවි පද්ධති නඩත්තු කර යාවත්කාලීන කරන ආකාරයටම, මෙම අමාත්‍යාංශ විසින්ම යුද්ධයට යෑමට හෝ ලෝකයේ වෙනත් තැන්වල තම සන්නද්ධ හමුදා යෙදවීමට සූදානම් වේ. යුද්ධයට සූදානම් වීම, දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මිලිටරි බලය භාවිත කිරීම දිරිමත් කරන එක් සාධකයක් විය හැකිය. දත්ත ලබා ගත හැකි සියලුම රටවල මිලිටරි වියදම්, යුද අවි වෙළෙඳාම සහ සන්නද්ධ ගැටුම් පරිණාමය වී ඇති ආකාරය පෙන්වන ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණයකින් මෙය පෙන්නුම් කර ඇත. ඒ අනුව,

ගෝලීය මිලිටරි වියදම්, යුද අවි අපනයන සහ සන්නද්ධ ගැටුම් ගණන අතර පැහැදිලි සහසම්බන්ධයක් එයින් සොයා ගෙන තිබේ. වෙනත් වචනවලින් කිවහොත්, ආයුධ නිෂ්පාදනයේ චක්‍රය, සමස්තයක් ලෙස වැඩි මිලිටරි වියදම්, වැඩි ආයුධ අපනයනවලට සමාන වන අතර, එම නිසා වැඩි යුද්ධවලට සමාන වේ යන තර්කනයට අනුකූල වේ.

“මිලිටරි-කාර්මික සංකීර්ණය” යන යෙදුම මුලින්ම භාවිත කරන ලද්දේ 1961 දී ඇමෙරිකා ජනාධිපති අයිසන්හවර්ගේ සමුගැනීමේ කතාවේදී, ඔහු ධවල මන්දිරයට එම අංශයේ බලපෑම් කිරීමේ දැවැන්ත බලපෑම ගැන සඳහන් කළ විටය. එබැවින් මිලිටරි-කාර්මික සංකීර්ණය යනු, යුද අවි මිල දී ගැනීම් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා තීරණවලට බලපෑම් කිරීමට උත්සාහ කරන, යුද අවි හා මිලිටරි සේවා සමාගම් සහ වෘත්තික සංවිධාන සමූහයක එකතුවකි. ඒවාහි ආදායම, රාජ්‍යයේ ආරක්ෂක අයවැය මත රඳා පවතින බැවින්, ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවලින් එකක් වන්නේ රජයේ වාර්ෂික ආරක්ෂක වියදම් වැඩි කිරීමයි. මිලිටරි-කාර්මික සංකීර්ණයේ වර්තමාන සහ අනාගත ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ආරක්ෂක අයවැය වැඩි කරන ප්‍රතිපත්ති සඳහා බලපෑම් කිරීමේදී, යුද අවි සමාගම් සහ අතරමැදියන් මෙන්ම, වෘත්තික සංගම්වල කාර්යභාරයද ඉතා වැදගත් වේ. ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමෙන්, ඔවුන් මිලිටරි වියදම් වැඩි කිරීමට සහ ඔවුන් සේවය කරන මිලිටරි කර්මාන්ත සඳහා අරමුදල් වෙන් කිරීමට රජයන්ට බලපෑම් කරයි.

යුද අවි කර්මාන්තයේ හා දේශපාලනයේ සහජීවනය

බහුවිධ මානව බලපෑම් තිබියදී පවා, යුද අවි වෙළෙඳාමද සැලකෙන්නේ, නීත්‍යනුකූල හා සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරකමක් ලෙසිනි. එපමණක් නොව, එහි ක්‍රියාකාරීත්වය, යුද්ධය සාමාන්‍යකරණය කිරීමටත්, දේශපාලනික සහ බොහෝ විට මානුෂීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා භාවිත කිරීමටත් පහසුකම් සපයා තිබේ.

සන්නද්ධ ගැටුම්වල ප්‍රධාන ලක්ෂණ දෙකක් ඇත. ඒවාට සැලකිය යුතු සැලසුම් කිරීමක් සහ සංවිධානයක් අවශ්‍යය. අනෙක, ඔවුන්ට සෑම විටම ඔවුන්ගේ ප්‍රධාන මෙවලම වන ආයුධ අවශ්‍ය වේ. ආයුධ හෝ හමුදා, පෞද්ගලික හමුදා සමාගම් හෝ විවිධ වර්ගයේ සන්නද්ධ කණ්ඩායම් යුද්ධ ඇති නොකළද, මිලියන 27 කට අධික භට පිරිස්, පැරාමිලිටරි භටයින්, කුලී හේවායන් සහ ගරිල්ලා භටයින් සහ අනෙකුත් රාජ්‍ය නොවන සටන්කරුවන් නොමැතිව මේවා කළ නොහැකි වනු ඇත. යුද අවි නිෂ්පාදකයින් සහ දේශපාලනඥයන් අතර ඇති සහයෝගීතාවයෙන් තොරව ඒවා කළ හැකි වනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට, ඔවුන්ගේ සමීප සම්බන්ධතාවය මත, හිටපු ඉහළ පෙළේ හමුදා නිලධාරීහු මිලිටරි කර්මාන්තයේ අධ්‍යක්ෂ මණ්ඩලවලට සහ කළමනාකරණ මණ්ඩලවලට සම්බන්ධ වෙති.

ලොව පුරා මේ සඳහා බොහෝ උදාහරණ තිබේ. එක්, උදාහරණයක් වන්නේ 2011 සිට 2016 දක්වා ස්පාඤ්ඤයේ ආරක්ෂක අමාත්‍යවරයා වූ පේද්‍රෝ මොරෙනස් ය. ඔහුගේ පත්වීමට ටික කලකට පෙර, ඔහු ප්‍රමුඛ පෙළේ මිසයිල නිෂ්පාදකයෙකු වන MBDA ඇතුළු විවිධ ආයුධ නිෂ්පාදන සමාගම්වල ඉහළම මට්ටමේ තනතුරු දැරීය. ඔහුගේ අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට ටික කලකට පෙර, ඔහුගේ ධුර කාලයට ස්පාඤ්ඤ ඉතිහාසයේ වැඩිම වාර්ෂික අවි අපනයන බලපත්‍ර සංඛ්‍යාව ඇතුළත් විණි.

සමාජයේ බල ව්‍යුහ නිසා, ආරක්ෂාව පිළිබඳ අර්ථකථන රජයන්ගේ සහ ප්‍රභූ තන්ත්‍රයේ අවශ්‍යතා කෙරෙහි දැඩි ලෙස නැඹුරු වේ. තවද, ආරක්ෂාවට අවදානමක් හෝ තර්ජනයක් ලෙස සැලකිය හැකි ඕනෑම දෙයකට, මිලිටරි ප්‍රතිචාර ප්‍රවර්ධනය කිරීමේ විශාලතම කැමැත්ත ඇත්තේ යුද අවි වෙළෙඳාමට සම්බන්ධ ආයතනවලටය. මන්දයත්, ඔවුන්ගේ ව්‍යාපාරය, එය මත රඳා පවතින බැවිනි.

දිගුකාලීනව ඔවුන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා හොඳම අවස්ථාව වන්නේ, සමාජයක් මුහුණ දෙන ආරක්ෂක අභියෝග සඳහා සියලු විසඳුම්වල මූලය මිලිටරි කර්මාන්තය බවට පත් කිරීමයි. සමහර රටවල, අපේක්ෂකයින්ට සහ දේශපාලන පක්ෂවලට මූල්‍ය පරිත්‍යාග කිරීමෙන් ඔවුන්ට මෙය ඍජුවම සාක්ෂාත් කරගත හැකිය. උදාහරණයක් ලෙස, 2020 ඇමෙරිකානු මැතිවරණයේදී, නෝත්‍රොප් ග්‍රම්මන්, බෝයිං, ලොක්හීඩ් මාටින්, ජෙනරල් ඩයිනමික්ස් සහ රේතියොන් යන යුද අවි සමාගම් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශ්වයටම ඇ.ඩො. මිලියන 30ක් පරිත්‍යාග කර තිබිණි. එම මුදල්, පෙරළා ඔවුන්ට ලැබෙන ආරක්ෂක කොන්ත්‍රාත්තු හරහා නැවත ඔවුන් වෙතම ලැබෙන බව නොරහසකි.

යුද අවි කර්මාන්තය එහෙම්පිටින්ම රඳා පවතින්නේ සතුරන් මත ය. සතුරන් නැති තැන යුද අවි වෙළෙඳාමට පවතින්නට තර්කනයක් නැත. යුද අවි කර්මාන්තය පවතින තාක් කල් ලොව පුරා යුද ගැටුම් අඛණ්ඩව පවතිනු ඇත. යුද අවි නිෂ්පාදනය මෙන්ම, යුද අවි සඳහා වෙළෙඳපොළ වන යුද ගැටුම් නිෂ්පාදනයද ඒ අනුව සිදු වන්නේය. මන්දයත්, මරණය යනු ඔවුන්ගේ වෙළෙඳපොළ බැවිනි. ලොව කොතැන හෝ ඇවිලෙන යුද ගිනි, අළු යට පවතින යුද ගිනි හා අනාගත යුද්ධයක් සඳහා වන විභව ගැටුම් මේ සියල්ල කළමනාකරණය වන්නේ එබඳු සන්දර්භයක් තුළය. යුද්ධය බිහිවන්නේ මිනිස් සිතෙහි නම්, සාමයද මිනිස් සිතෙන්ම බිහි කළ නොහැකි දැයි ඇසුවාට, නූතන ගෝලීය දේශපාලනය තුළ “සාමය” යනුද, යුද අවි වෙළෙඳපොළ කළමනාකරණය පිණිස යුද අවි කර්මාන්තයේම නිෂ්පාදනයක් වී තිබෙන බව නූතන ගැටුම් අධ්‍යයනයේදී හඳුනාගත හැකිය.

ප්‍රභාත් චින්තක මීගොඩගේ