රෝහල්වල දන්ත ප්‍රතිකාර අංශ රෝගීන්ගෙන් පිරෙයි දන්ත ප්‍රතිකාරවලට ගන්න අමුද්‍රව්‍යවල මිල ඉතා වැඩියි… දන්ත ප්‍රතිකාරවලට විදේශිකයන්ගේ පැමිණීම වැඩි වෙලා… මෙරට දන්ත වෛද්‍ය සේවයට ශතකයයි… දන්ත වෛද්‍යවරු බහුතරය රාජ්‍ය සේවයෙන් ඉවත් වෙනවා… දන්ත වෛද්‍යවරු 1500යි විශේෂඥ වෛද්‍යවරු 130යි… දන්ත…

රෝහල්වල දන්ත ප්‍රතිකාර අංශ රෝගීන්ගෙන් පිරෙයි

දන්ත ප්‍රතිකාරවලට ගන්න අමුද්‍රව්‍යවල මිල ඉතා වැඩියි…

දන්ත ප්‍රතිකාරවලට විදේශිකයන්ගේ පැමිණීම වැඩි වෙලා…

මෙරට දන්ත වෛද්‍ය සේවයට ශතකයයි…

දන්ත වෛද්‍යවරු බහුතරය රාජ්‍ය සේවයෙන් ඉවත් වෙනවා…

දන්ත වෛද්‍යවරු 1500යි විශේෂඥ වෛද්‍යවරු 130යි…

දන්ත වෛද්‍යවරයෙක් බිහි කරන්න රජය රුපියල් ලක්‍ෂ 86ක් වියදම් කරනවා…

නීරෝගි ශරීර සෞඛ්‍යයක් පවත්වාගැනීම සඳහා මුඛයෙන් ලැබෙන දායකත්වය අතිශය වැදගත්ය. මුඛය යනු ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියේ සහ ශ්වසන පද්ධතියේ ප්‍රධාන ද්වාරයයි. පැහැදිලි ලෙස වචන උච්චාරණයට දිව, දත් සහ තොල් උපකාරී වේ. දත් මගින් ආහාර කුඩා කැබලිවලට කඩා දමන හෙයින් ආමාශයට සහ අන්ත්‍රවලට ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි. ආහාර හොඳින් විකා කෑමට හැකිවීම මගින් ශරීරයට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ ඇතුළු සියලු පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස උරාගැනීමට පහසු වේ. ඛේටයේ ඇති එන්සයිම මගින් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මුඛය තුළ දීම ආරම්භ කරයි. ඛේටයේ ඇති ස්වාභාවික ප්‍රතිජීවක ගුණ මගින් මුඛයට ඇතුළු වන අහිතකර බැක්ටීරියා සහ විෂබීජ බොහෝමයක් විනාශ කරනු ලැබේ. මුඛය තුළ ජීවත් වන හිතකර බැක්ටීරියා විසින් අහිතකර විෂබීජ ශරීරය තුළ පැතිරීම වළක්වනු ලැබේ. කෙළ මගින් ආහාර ගිලීම ද පහසු කරයි.

දියවැඩියාව, හෘද රෝග, මුඛ පිළිකා තත්ත්වයන් සහ විටමින් ඌනතා වැනි රෝග රාශියක මූලික ලක්‍ෂණ (මුඛයේ තුවාල, විදුරුමස් ලේ ගැලීම, වියළි බව) මුඛය හරහා හඳුනාගත හැකි ය. මුඛ සෞඛ්‍ය දුර්වල වූ විට (විදුරුමස් රෝග, දත් මුල් දිරා යෑම) ඇති කරන බැක්ටීරියා රුධිරයට එකතු වීමෙන් හෘද රෝග, දියවැඩියාව උග්‍රවීම සහ ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවීමේ අවදානමක් ද පවතී. එහෙයින් නීරෝගි දිවියකට මුඛ සෞඛ්‍ය අතිශය වැදගත් ය. එහෙත් කනගාටුවට කරුණ නම් මෙරට මුඛ රෝග විශාල වශයෙන් වැඩි වී තිබීමය. බෝ නොවන රෝගවලින් බහුලව වාර්තා වනුයේ දන්ත රෝග ය. ළමයි බහුතරය විවිධ මුඛ රෝගවලින් පෙළන බව ද වාර්තා වේ. වැඩිහිටි පුද්ගලයන් ද බහුතරය විවිධ මුඛ රෝගවලින් පීඩා විඳිනු ලැබේ.

වයස්ගතවීමත් සමග ඇති වන මුඛ රෝග ලෝකය පුරා ම වැඩි වී ඇති බව සැබෑ ය. මුඛ පිළිකා, දත් ගෙවීම, දත් නරක්වීම, දත් හිරිවැටීම, විදුරුමස් රෝග (පරිදන්ත රෝග) බහුලව වාර්තා වේ. මෙරට වැඩිහිටියන් අතර මුඛ රෝග බහුල වීමට බුලත්විට හැපීම, දුම්පානය සහ මත්පැන් පානය වැනි නරක පුරුදු ප්‍රධාන වී තිබේ. එවැනි නරක පුරුදු නිසා මුඛ පිළිකා රෝගීන් විශාල වශයෙන් වැඩි වී තිබේ. වසරකට මෙරටින් මුඛ පිළිකා රෝගීන් 3000 – 3500 ක් වාර්තා වන බව ද සැබෑ ය. ගර්භිණී මව්වරු සහ කුඩා ළමයින් අතර මුඛ රෝග හටගැනීමේ අධි අවදානමක් තිබෙන බව ද වාර්තා වේ. ඇඹුල් සහ සීනි සහිත පිටි ආහාර බහුල වශයෙන් අනුභව කිරීම, වැඩිපුර කෑම අනුවභය, වමනය ඔක්කාර කිරීම, දත් නොමැදීම, යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා නොගැනීම සහ හෝමන බලපෑම මත ගර්භිණී මව්වරුන් අතර මුඛ රෝග හටගැනීමේ වැඩි ප්‍රවණතාවයක් තිබේ. ගර්භිණී සමයේ හටගන්නා මුඛ රෝගවලට නිසි ප්‍රතිකාර ලබානොදීම උපදින දරුවාට ද ගැටලු විය හැකි ය. කුඩා ළමයි බහුතරය මුඛ රෝගවලට ගොදුරු වී ඇත්තේ යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා නොගැනීම නිසා ය. අධික පැණි රස කෑම, පිටි සහිත කෑම, කිරිපිටි පානය, පිරිපහදු ආහාර (Refined Foods) බහුල වශයෙන් අනුභව කිරීම හේතුවෙන් දත් නරක්වීම වැඩි වී ඇත. ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේප වර්ග දීර්ඝකාලීනව පාවිච්චි කිරීම ද මුඛ රෝග වැඩිවීමට ප්‍රධාන හේතුවකි. ශරීරයේ හටගන්නා වෙනත් රෝගවලට මෙන්ම දන්ත රෝග සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීමත්, සුළුවෙන් තැකීමත් දන්ත රෝග වැඩිවීමට ප්‍රබල සාධකයකි.

දන්ත රෝගීන් වැඩිවීමත් සමග රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය අංශයේ දැඩි තදබදයක් නිර්මාණය වෙමින් තිබේ. දන්ත ප්‍රතිකාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රජයේ රෝහල්වල හිඟවීමත් සමග ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන දන්ත රෝගීන්ට මාස ගණන් පොරොත්තු ලේඛනවල කල් මැරීමට සිදුව ඇත. පොරොත්තු ලේඛනයේ සිටින කාලය තුළ දතට විය යුතු නරකම හානිය ද විය හැකි ය. මෙවැනි ගැටලු නිසා දන්ත රෝගීන් බහුතරය පෞද්ගලික දන්ත ප්‍රතිකාර සේවයට යොමු වෙමින් සිටිති. දන්ත ප්‍රතිකාර සඳහා ලබාගන්නා අමුද්‍රව්‍ය කිසිවක් මෙරට නිෂ්පාදනය නොවීමත්, ආනයනික දන්ත ප්‍රතිකාර අමුද්‍රව්‍ය මිල අධික ලෙස වැඩි වී ඇති බැවින් පෞද්ගලික අංශයේ දන්ත ප්‍රතිකාර සේවා මිල ගණන් ද වැඩි වී තිබේ. එමෙන්ම දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට අධික මුදලක් වැය වන බව ද වාර්තා වේ. අධික පිරිවැයක් දරමින් නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමට රජය ගන්නා උත්සාහය ද විශේෂයෙන් අගය කළ යුතු ය. අවම පහසුකම් යටතේ, විවිධ ගැටලුවලට මුහුණ දෙමින් රජයේ රෝහල්වල සේවය කරන දන්ත වෛද්‍යවරු පමණක් නොව, සියලු වෛද්‍යවරු දෙවිවරු සේ සැලකීම මෙරට පුරවැසියන්ගේ යුතුකම විය යුතු ය.

2022 වර්ෂයේ සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් 12000කට එක් දන්ත වෛද්‍යවරයෙක් සිටියේ ය. එහෙත් මේ වනවිට මෙරට දන්ත වෛද්‍ය සේවයේ සිටින සක්‍රීය දන්ත වෛද්‍යවරු සංඛ්‍යාව 1500කි. විශේෂඥ දන්ත වෛද්‍යවරු සංඛ්‍යාව 130කි. මුහුණ හා හණු ආශ්‍රීත විශේෂඥ ශල්‍ය වෛද්‍ය, විකලාංග දන්ත විශේෂඥ ශල්‍ය වෛද්‍ය, දන්ත සංරක්‍ෂණය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, මුඛ ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය, ප්‍රජා දන්ත සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සක්‍රීයව සිටිති. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ රජයේ රෝහල්වල, විශ්වවිද්‍යාල දන්ත වෛද්‍ය පීඨවල ගුරුවරු ලෙස පෞද්ගලික දන්ත වෛද්‍ය සේවා අංශයේ ද ඔවුහු සේවය කරති. කාන්තා දන්ත වෛද්‍යවරු 13ට පිරිමි දන්ත වෛද්‍යවරු 10ක් සිටින බව ද වාර්තා වේ. මෙරට දන්ත වෛද්‍යවරුන්ගෙන් 97%ක්ම උපාධිය ලබාගෙන ඇත්තේ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයෙන්වීම සුවිශේෂී කාරණයකි. 2022 වර්ෂයේ සංගණනයට අනුව දන්ත වෛද්‍යවරයෙක් බිහි කිරීම සඳහා වසර පහක පාඨමාලා ගාස්තු ලෙස රජය විසින් රුපියල් අසූහය ලක්‍ෂ හතළිස්හත්දහස් අනූවක් වියදම් කරයි. එම සංගණනයට අනුව වෛද්‍යවරයෙක් බිහි කිරීම සඳහා වසර පහක වියදම පනස්පන් ලක්‍ෂ අසූනවදහස් තුන්සිය හතළිස්පහකි. ඉංජිනේරුවෙක් බිහි කිරීමට වැය වන මුදල විසිහත්ලක්‍ෂ තිස්පන්දහස් හැටඅටයි. දන්ත වෛද්‍යවරයෙක් බිහිකිරීමට ඒ හා සමාන තුන් ගුණයක් වියදම් කිරීම ද විශේෂත්වයකි. විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිට ශල්‍යකර්ම කිරීමේ අවස්ථාව ලැබෙනුයේ ද දන්ත වෛද්‍ය සිසුන්ට පමණි. දන්ත වෛද්‍ය විද්‍යාව යනු දත් ගැලවීම, පිරවීම පමණක් නොවේ ඊට ඔබ්බට වෛද්‍ය පරිපාලකයෙක් දක්වා ඉදිරියට යෑමට අවස්ථාව ඇති සුවිශේෂී වෛද්‍ය වෘත්තියකි.

එමෙන්ම මෙරට ප්‍රථම දන්ත වෛද්‍යවරයා බි්‍රතාන්‍ය ජාතික සිඩ්නි විලියම් ගානේ ය. 1916 වර්ෂයේ දී ඔහු විසින් ප්‍රථම දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කර ඇත්තේ ගාලු මෝදර හෝටලයේ කාමරයක් තුළ ය. ඔහු ප්‍රතිකාර ලබා දී ඇත්තේ බි්‍රතාන්‍ය ජාතිකයන්ට සහ මෙරට ප්‍රභූ පිරිසට ය. මෙරට රජයේ ප්‍රථම දන්ත වෛද්‍යවරයා ඩබ්ලිව්. බාලේන්ද්‍ර මහතා ය. 1926 වර්ෂයේ දී කොළඹ රෝහලේ අශ්ව ගාල තුළ ආරම්භ කරන ලද මෙරට ප්‍රථම දන්ත සායනයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ද වෛද්‍ය බාලේන්ද්‍ර මහතා ය. මෙරට දන්ත වෛද්‍ය විද්‍යාව දියුණු කිරීම සඳහා වෛද්‍ය ඩබ්ලිව්. බාලේන්ද්‍ර මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කර ඇත. 1943 වර්ෂයේ දී කොළඹ රෝහල් පරිශ්‍රයේ ආරම්භ කරන ලද දන්ත වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගනිමින් දන්ත වෛද්‍යවරයෙක් බවට පත් වූ වෛද්‍ය එස්. බී. දිසානායක මහතා ද (හඟුරන්කෙත එස්. බී. දිසානායක නොවේ) මෙරට දන්ත වෛද්‍ය සේවයට සුවිශේෂී සේවාවක් ලබාදී ඇත. දන්ත වෛද්‍ය එස්. බී. දිසානායක මෙරට දන්ත වෛද්‍යවරු බිහි කිරීමේ පුරෝගාමියා ලෙස ද කටයුතු කර ඇත. 1986 වර්ෂයේ දී නුවර දංගොල්ල ප්‍රදේශයේ දන්ත වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අඩිතාලම සකස් කර ඇත්තේ ද වෛද්‍ය එස්. බී. දිසානායක මහතා ය. ජපන් රජයෙන් ලැබුණු පරිත්‍යාගයකින් 1998 වර්ෂයේදී අග්නිදිග ආසියාවේ හොඳම දන්ත වෛද්‍ය පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ආරම්භ වීමත් සමග මෙරට දන්ත වෛද්‍ය විද්‍යාව පුළුල් විෂයක් බවට පරිවර්තනය විය. එහෙත් මෙරට දන්ත වෛද්‍ය සේවය ඉතිහාසයේ සිට මේ දක්වා පෞද්ගලික අංශයට වැඩි නැඹුරුවක් තිබෙන බව සැබෑ ය.

ජපන් රජයේ පරිත්‍යාගයකින් පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ආරම්භ කරන ලද දන්ත වෛද්‍ය පීඨය ඇතුළු දන්ත ශික්ෂණ රෝහල, කොළඹ දන්ත රෝහල සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය ඇතුළු රජයේ දන්ත වෛද්‍ය සේවා මධ්‍යස්ථාන 750ක් මෙරට දිස්ත්‍රික්ක 24 ආවරණය වන ආකාරයට පිහිටා තිබේ. දුෂ්කර ප්‍රදේශවල ද කිලෝමීටර් 13ක් පමණ දුරින් දන්ත වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගැනීමේ පහසුකම් රජය විසින් සම්පූර්ණ කර ඇත. පාසල් දන්ත චිකිත්සක සේවාවක් ද පවත්වාගෙන යනු ලැබේ. ඒ සියලු ම ස්ථානවල සේවා පහසුකම් ලබාදීමට දන්ත වෛද්‍යවරු සිටිනුයේ 1500කි. විශේෂඥ දන්ත වෛද්‍යවරු 130කි. මෙරට සමස්ත වෛද්‍යවරු සංඛ්‍යාව 29,000කි. ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහනය මිලියන 26කි. ඒකපුද්ගල ආදායම ඔස්ටේ්‍රලියානු රුපියල් 65,000කි. එරට වෛද්‍යවරු සංඛ්‍යාව 130,000කි. ජනගහනයට සාපේක්‍ෂව වෛද්‍යවරු හිඟ මෙරට රාජ්‍ය අංශයේ සමස්ත වෛද්‍යවරු කාලයක සිට ගැටලු රැසකින් පීඩා විඳිමින් සිටින බව වාර්තා වේ. දන්ත වෛද්‍යවරු ද අඩු, වැඩි වශයෙන් එම ගැටලුවට මුහුණ දෙමින් සිටිති. වැටුප් විෂමතාවය, ප්‍රවාහන ගැටලු, දිනකට පරීක්‍ෂා කිරීමට සහ ප්‍රතිකාර ලබාදීමට සිදු වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම වැනි විවිධ ගැටලු රාශියකින් ඔවුහු පීඩා විඳිති. විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරයකුට රෝහල් තුන, හතරක සේවය කිරීමට සිදුවීම දුෂ්කර පළාත්වල දී බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ කිලෝ මීටර් තිස්ගාණක් පමණ එකිනෙකට දුරින් පිහිටි අතිදුෂ්කර ප්‍රදේශවල රජයේ රෝහල් තුනක සේවය සපයන තරුණ දන්ත වෛද්‍යවරයෙක් පැවසූ කතාව කන වැකෙනවිට මම තිගැස්සිණි. රාජ්‍ය දන්ත වෛද්‍ය සේවයේ දී අත්විඳීමට සිදුව ඇති ගැටලු නිසා දන්ත වෛද්‍යවරු බහුතරය රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වෙමින් පෞද්ගලික දන්ත වෛද්‍ය අංශයට එකතු වන ප්‍රවණතාවය ද වැඩි වී තිබේ. පෞද්ගලික දන්ත වෛද්‍ය සේවයේ දී වෛද්‍යවරුන්ගේ සේවයට උපරිම සාධාරණ ගෙවීමක් හිමි වන බවත් කොළඹ ඇතුළු අවට නගරවල දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන ඇතැම් කනිෂ්ඨ දන්ත වෛද්‍යවරු රජයේ වැටුපට වඩා ඉහළ වැටුපක් ලබන බව ද වාර්තා වේ. මෙරට පෞද්ගලික දන්ත ප්‍රතිකාර අංශයේ දී ඉහළ වටිනාකමක් ලැබෙන බැවින් දන්ත වෛද්‍යවරු විදෙස්ගතවීම 3%ක් වැනි අවම මට්ටමක පවතින බව ද වාර්තා වේ. මේ වනවිට මෙරට දන්ත වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත.

විදේශීය රටවලට සාපේක්‍ෂව මෙරට දන්ත ප්‍රතිකාර සඳහා අය කරන මිල ගණන් අතිශය සාධාරණ ය. උදාහරණයක් වශයෙන් ඇමරිකාව වැනි රටක දී දතක ස්නායු පිරවීමට ඇමරිකානු ඩොලර් 3000ක් (රුපියල් ලක්‍ෂ 10කට ආසන්න මුදලක්) වියදම් වේ. මෙරට දී එම දන්ත ප්‍රතිකාරය ඇමරිකාවට වඩා තිස්, හතළිස් ගුණයකින් අඩුවට කරගත හැකි බව ද සැබෑ ය. ලෝකයේ පවතින අති නවීන දන්ත ප්‍රතිකාර ක්‍රම Guided implant surgery, aligner dental treatments ආදී බොහෝ ප්‍රතිකාර ක්‍රම මෙරට තුළ ක්‍රියාත්මක ය. අතිශය අවම මිල

ගණනන් යටතේ එම සේවාවන් සපයන බැවින් ලෝකයේ විවිධ රටවල දන්ත රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමට මෙරටට පැමිණීම වේගයෙන් ඉහළ යමින් පවතී. එම ප්‍රවණතාවය මෙරට පෞද්ගලික දන්ත ප්‍රතිකාර අංශයට මෙන්ම රටේ ආර්ථිකයට ද යහපතකි. එහෙයින් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් පැමිණෙන විදේශිකයෙක් හෝ ස්වදේශිකයෙක් වේවා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ලබාදිය යුතු උපරිම සේවාව ලබාදිය යුතු ය. සුදුසුකම්ලත් දන්ත වෛද්‍යවරයෙක් විසින් ප්‍රතිකාර ලබාදිය යුතු ය. මනුස්ස ජීවිත සමග කරන ගනුදෙනුවක් බැවින් දන්ත ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ ජීවානුහරණය කිරීම, උසස් ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය පාවිච්චි කිරීමට දන්ත වෛද්‍යවරු වගබලාගත යුතු ය. රෝගියාගේ මුඛය පරීක්‍ෂා කොට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීම ද පිළිගත් දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රමුඛ කාර්යභාරයකි. එමෙන්ම දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු වන දොරටුවේ සිට සිත්ගන්නා ආකාරයේ සුපසන් බවක් ඇස රැඳිය යුතු ය. එවිට පාරිභෝගික ආකර්ෂණය වැඩි වෙමින් විදේශීය ඉල්ලුම ද වර්ධනය වේ.

දන්ත ශල්‍ය වෛද්‍යආර්. ඒ. ඩී. ජීවන්ත

මිනිස් ශරීරයේ මුඛය අතිශය සංවේදී ශරීරාංගයකි. මුඛයේ හටගන්නා රෝගවලින් මාරාන්තික වීමට ඉඩ ඇති සේම මාරාන්තික රෝග මුඛයෙන් හඳුනාගැනීමට ද හැකියාව ඇත. එහෙයින් මුඛය සම්බන්ධ කිසිදු රෝගී තත්ත්වයක් සුළුකොට නොගත යුතුය. කඩිනමින් ප්‍රතිකාර ලබාගැනීම නීරෝගි ශරීර සෞඛ්‍යයට යහපතකි. කල් ඇතිව මුඛ රෝග හඳුනාගැනීම පුද්ගල ආර්ථිකයට ද යහපතකි. මාස හයකට වරක් හෝ සුදුසුකම්ලත් දන්ත වෛද්‍යවරයකු හමු වී මුඛ පරීක්‍ෂාවක් සිදු කරගැනීම මුඛ සෞඛ්‍යයට යහපතකි. එම පරීක්‍ෂණය රජයේ හෝ පිළිගත් දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් සිදු කරගැනීමට ද වගබලාගත යුතු ය. දන්ත ප්‍රතිකාර ලබාගැනීමේදී විශේෂඥ හෝ සුදුසුකම්ලත් දන්ත වෛද්‍ය උපදෙස් ලබාගැනීමට විශේෂයෙන්ම මතක තබාගත යුතු ය. ජීවන හුස්ම පොද නතර කිරීමට දතක් ගැලවීම ප්‍රමාණවත් ය.

දත් මැදීමට භාවිත කරන බුරුසුව, දන්තාලේපය සහ දත් මදින කාලය ගැන ද සැලකිලිමත්වීම බිය, සැකයකින් තොරව අන් අය සමග සමීපව කතාබහ කිරීමට සුන්දර මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යා හැකිය.

මූලාසන මහාචාර්ය ප්‍රජා දන්ත වෛද්‍ය දිලිත් ද සිල්වා සහ දන්ත ශල්‍ය වෛද්‍ය ආර්. ඒ. ඩී. ජීවන්ත යන මහත්වරු සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.

තරංග රත්නවීර