සාක්කිකරුවන් 2309කින් සාක්කිකරුවන් 547ක් කැඳවලා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අධිචෝදනා සංඛ්‍යාවකින් යුත්ක නඩුවේ විභාගය පසුගිය සතියේ අවසන් විය. එහි තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ලබාදීමට නියමිත බව ද නිවේදනය කෙරිණි. ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව චූදිතයන් 25 දෙනකුට එරෙහිව කොළඹ…
සාක්කිකරුවන් 2309කින් සාක්කිකරුවන් 547ක් කැඳවලා
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අධිචෝදනා සංඛ්‍යාවකින් යුත්ක නඩුවේ විභාගය පසුගිය සතියේ අවසන් විය. එහි තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ලබාදීමට නියමිත බව ද නිවේදනය කෙරිණි. ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව චූදිතයන් 25 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වන නඩුවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අධිචෝදනා ගොනු කළ නඩු 41කින් මෙය ප්‍රධානම නඩුවක් විය. චූදිතයන්ට එරෙහි අධිචෝදනා ගණන 23000කට අධික විය.
විනිසුරු මඬුල්ල වෙනස්වීම
මෙය විශේෂ නඩුවක් සේ සලකා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස හිටපු නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලූ හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කළ අතර එම විනිසුරු මඬුල්ල වූයේ දමිත් තොටවත්ත, ආර්. ඒ. රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුය. විනිසුරුවරුන්ගේ වෙනස්වීමත් සමග මෙම නඩුව විභාග කිරීම සඳහා නව විනිසුරු මඬුල්ලක් පත් කෙරුණු අතර එම විනිසුරු මඬුල්ල වූයේ නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරු මඬුල්ලයි.
වසර දෙකහමාරකටත් වැඩි කාලයක් පුරා පැවති මෙම දීර්ඝ නඩු විභාගයේදී පැමිණිල්ල පාර්ශ්වයෙන් සාක්ෂි දීමට නම් කර තිබූ සමස්ත සාක්ෂිකරුවන් සංඛ්‍යාව 2,309 කි. ඉන් සාක්ෂිකරුවන් 547 දෙනකු පමණ අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් අතර ලේඛන සහ නඩු භාණ්ඩ 2,076 ක් පැමිණිල්ල වෙනුවෙන් සලකුණු කෙරිණි. 2023 ඔක්තෝබර් 10 දින ආරම්භ වූ පැමිණිල්ලේ නඩුව 2026 අගෝස්තු 13 දින නිල වශයෙන් අවසන් කරන ලදී. ඉන් පසු ඇරඹි විත්ති පාර්ශ්වයේ නඩු විභාගයේදී, චෝදනා ලැබ සිටින විත්තිකරුවෝ තමන් නිර්දෝෂී බව පවසමින් සහ තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් විත්ති කූඩුවේ සිටම ප්‍රකාශ සිදු කළහ.
නඩු විභාගයේ 239 වන දිනය වූ 2026 ජූලි 31 වැනිදා, විත්තිකරුවන්ගේ පාපොච්චාරණ සහ ප්‍රකාශ ලබාගත් ආකාරය පිළිබඳව වැදගත් සාක්ෂි විභාග විය. එදින පළමු සාක්ෂිකරු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී ඩී.එම්.එම්.ජී.එල්.ජී. දිසානායක අධිකරණය හමුවේ සාක්ෂි දෙමින්, තුන් වන විත්තිකරු වන හයාත්තු මොහොමදු අහමදු මිල්හාන් (අබු සිලා) සහ අට වැනි විත්තිකරු වන මොහොමදු ෆිරිදවුස් යන අය සිදු කරන ලදැයි කියන ප්‍රකාශ පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. මෙම සාක්ෂියට පෙර විනිසුරු මඬුල්ල විසින් විත්තිකරුවන්ට මෙම ප්‍රකාශවල ඇති නෛතික වටිනාකම සහ ඒවා භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙන ලදී. විත්ති පාර්ශ්වයේ නීතිඥයකු වූ කනිල් මද්දුමගේ මහතා විසින් මෙහිදී සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසා සිටි අතර, අට වැනි විත්තිකරු කිසිදු දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෝ වෙනත් කිසිවෙකුට එවැනි ප්‍රකාශයක් සිදු කර නැති බවට යෝජනා කෙරිණි.
එදිනම පස්වරුවේ තුන් වැන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වූයේ, අදාළ ප්‍රකාශය සිංහල භාෂාවෙන් සටහන් කර ඇති බවත්, එම වකවානුවේදී තුන් වන විත්තිකරුට සිංහල භාෂාව කියවීමට, ලිවීමට හෝ කථා කිරීමට නිසි හැකියාවක් නොතිබූ බවත්ය. තම බිරිඳ සහ සහෝදරයා රිමාන්ඩ් බාරයේ තබන බවට කළ තර්ජන සහ බලපෑම් හමුවේ පමණක් තමන් ලේඛනවලට අත්සන් තැබූ බව තුන් වැනි විත්තිකරු ප්‍රකාශ කළේය. එදිනම සාක්ෂි දුන් තවත් සාක්ෂිකරුවෙකු වූ රෙදි සෝදන යන්ත්‍ර සහ වායුසමීකරණ කොටස් අලෙවි කරන්නෙකු වන මොහොමදු ෆස්මින් කියා සිටියේ, 2019 වසරේදී තම වෙළෙඳසලෙන් රෙදි සෝදන යන්ත්‍ර පැනලයක් මිලදී ගත් පුද්ගලයා අධිකරණයේ සිටින විත්තිකරුවන් අතර නොමැති බවයි.
නඩු විභාගය
අගෝස්තු තුන් වැනිදා මෙම නඩු විභාගයේ 240 වැනි දිනය විය. එදින නඩු විභාගයේදී කිංග්ස්බරි හෝටලයේ බෝම්බ ප්‍රහාරයට අදාළව පානදුර පිහිටි නිවසක සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු රැඳී සිටි කාමරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සාක්ෂි දුන්හ. අම්පාර පොලිසියේ සේවය කරමින් සිටියදී 18 වන විත්තිකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ, විත්තිකරු විසින් පෙන්වන ලද ස්ථානයකින් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවය.
අගෝස්තු හතර වැනිදා නඩු විභාගයේ විශේෂම සිදුවීමක් වූයේ ශ්‍රී ලංකාවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී, වර්තමානයේ ජැමෙයිකා ජාතික ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන වෛද්‍ය එස්. ඩී. චන්න පෙරේරා මහතා ජැමෙයිකාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමයි. ඔහු විසින් ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරු වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් සහ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳව සාක්ෂි ලබා දෙන ලදී. සිරුරු කොටස් පිළිබඳව සිදු කළ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සහ මරණයට හේතු වූ තුවාල පිළිබඳව ඔහු පැහැදිලි කළේය.
එදිනම සාක්ෂි දුන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජා රවීන්ද්‍ර විමලසිරි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරුගේ අනන්‍යතාවය සනාථ කරගත් ආකාරය විස්තර කළේය. බෝම්බකරු තමන් විදේශගත වන බව පවුලේ අයට පවසා ගුවන් තොටුපළට ගියද, පවුලේ අය නික්ම ගිය පසු වෙනත් කුලී රථයකින් පිටව යන ආකාරය සීසීටීවී දර්ශන මගින් තහවුරු කරගත් බව ඔහු පැවසීය. බෝම්බකරු විසින් සිය බිරිඳට ලබා දී තිබූ පෙන් ඩ්‍රයිව් එකක් මගින් විමර්ශන සාර්ථක වූ බවත්, පසුව 16 වැනි විත්තිකරු වන මොහොමඩ් හැරිස් 2019 මැයි 1 වැනිදා අත්අඩංගුවට ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
නඩුවේ 241 වන දින අම්පාර කොට්ඨාස භාර හිටපු පොලිස් අධකාරීවරයා වූ සාමන්ත විජේසේකර මහතා සාක්ෂි දෙමින් සයින්දමරුදු බොලිවේරියන් සුනාමි ගම්මානයේ ආරක්ෂිත නිවසක සිදු වූ බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව සඳහන් කළේය. 2019 අප්‍රේල් 26 වැනිදා රාත්‍රී 7.00 ත් 9.00 ත් අතර මෙම පිපිරීම් සහ වෙඩි තැබීම් සිදු වූ බවත්, පසුදා උදෑසන සිදු කළ සෝදිසි කිරීම්වලදී මියගිය පුද්ගලයන් පිරිසකගේ සිරුරු සහ දිවි බේරාගත් එක් කාන්තාවක සහ කුඩා දැරියක හමු වූ බවත් ඔහු පැවසීය.
අතිරේක ජ්‍යෙෂ්ඨ රජයේ රස පරීක්ෂක ඇලෙක්ස් රොෂාන් ප්‍රනාන්දු මහතා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු කළ පරීක්ෂණ පිළිබඳව සවිස්තරාත්මක සාක්ෂි ඉදිරිපත් කළේය. මෙම ප්‍රහාරයන් සිරුරේ බඳින ලද බෝම්බ මගින් සිදු කර ඇති බවත්, මේ සඳහා ප්‍රධාන පුපුරණ ද්‍රව්‍යය ලෙස ‘යූරියා නයිට්‍රට්’ භාවිතා කර ඇති බවත් ඔහු අනාවරණය කළේය. ශ්‍රී ලංකාවේ අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් ලෙස යූරියා නයිට්‍රට් භාවිතා කළ පළමු අවස්ථාව මෙය බව රස පරීක්ෂකවරයා පැවසීය.
අගෝස්තු 5 වැනිදා සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකගයාන් රත්නායක මල්වාන ක්‍රීඩාංගණය, මහනුවර අරුප්පොල, ලේවැල්ල, මඩකලපුව පාලමුණේ, නුවරඑළිය ශාන්තිපුර, හම්බන්තොට සිප්පිකුලම සහ හිඟුල දෙල්ගහගොඩ යන ස්ථානවල පැවැත්වුණු අන්තවාදී පුහුණු කඳවුරු පිළිබඳව කරුණු සඳහන් කළේය.
හිවල ට්‍රොපිකල් ඉන් (Tropical Inn) හෝටලයේ පිපිරීම සිදු කළ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් පිළිබඳව ද ඔහු සාක්කි ලබා දුන්නේය. ජමීල් මුලින්ම ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වීම නිසා පසුව මස්ජිඩ් අල් රහ්මාන් පල්ලියට සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයට පැමිණි බව සිසීටීවී දර්ශන ඇසුරෙන් ඔහු පැහැදිලි කළේය.
මීට අමතරව, පාස්කු ප්‍රහාරයට මාස අටකට පෙර මඩකලපුව ප්‍රදේශයේදී සිදුවූ පිපිරීමකින් සහරාන් හෂීම්ගේ සහෝදරයකු වන මොහොමඩ් රිල්වාන් තුවාල ලැබූ බවත්, ඔහු ව්‍යාජ නමකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇති බවත් සාක්ෂිකරු අනාවරණය කළේය. මෙම ඇතුළත් කිරීමේ පත්‍රිකාවට අත්සන් තබා තිබුණේ නඩුවේ චූදිතයන් වන සාදික් අබ්දුල්ලා සහ ගෆූර් මාමා විසින් බව සාක්කිවලදී කියැවිණි. මෙහිදී නවවන විත්තිකරු සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න කළේ 2018 වසරේදී සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල කකුණගොල්ලට ගිය අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ඩයස් දුරකථනයෙන් අමතා එම ස්ථානයෙන් ඉවත් වන ලෙස උපදෙස් දුන්නේ මන්ද යන්නයි. වෙනත් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් තිබූ නිසා එලෙස සිදුවූ බව ඔහු කීවේය.
රස පරීක්ෂක තොරතුරු
නඩුවේ 1434 වැනි සාක්කිකරු ලෙස නම් කර සිටි රජයේ රස පරීක්ෂක බණ්ඩාර මහතා කටුවාපිටිය පල්ලියේ පිපිරීමෙන් මියගිය බෝම්බකරු වන හස්තුන්ගේ හිස සහ ශරීරය වෙන් වී තිබූ ආකාරයත්, බෝම්බය කිලෝග්‍රෑම් 30ක් පමණ බරැති පසුපස බෑගයක අඩංගු කර තිබූ බවත් සාක්ෂි දෙමින් පැවසීය.
නඩු විභාගය අගෝස්තු හත් වැනිදා කැඳවුව ද එදින නව වැනි විත්තිකරු උණ රෝගය හේතුවෙන් රෝහල්ගත කර සිටි අතර, මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් එහි රඳවා සිටි විත්තිකරුවන් 12 දෙනකු කොළඹ බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබුණි. මෙම හදිසි තත්ත්වය හේතුවෙන් විත්තිකරුවන්ට ඇඳුම් පැළඳුම් හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දී නොතිබූ අතර ඔවුන් දැඩි තෙහෙට්ටුවකින් සහ මානසික පීඩනයකින් පසුවීම නිසා එදින නඩු විභාගය පැවැත්වීමට නොහැකි විය. තවද මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි පළමු, හතරවන සහ හත් වන විත්තිකරුවන් සතුව තිබූ නඩු වාර්තා සහ නීතිමය ලේඛන මෙම කලහකාරී තත්ත්වයේදී විනාශ වී තිබීම නිසා එම ලේඛන නැවත ලබා දෙන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කළේය.
වීඩියෝ සාක්ෂි
නඩු විභාගය අගෝස්තු 11 සහ 12 දිනවලදී නැවත ආරම්භ වූ අතර විත්තිකරුවන්ගේ දුරකථන දත්ත විශ්ලේෂණය කළ පොලිස් පරීක්ෂක වසන්ත ජයසිංහ බැංකොක් නුවර සිට වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දුන්නේය. ඔහු විත්තිකරුවන් අතර පැවති සබඳතා කුලුනු දත්ත මගින් සනාථ කළද, හරස් ප්‍රශ්න කරද්දී පිළිගත්තේ කුලුනු දත්ත මගින් දුරකථන හිමිකරු අදාළ ස්ථානයේ සිටි බව ස්ථිරවම කිව නොහැකි බවයි.
පැමිණිල්ලේ අවසන් සාක්ෂිකරු ලෙස එවකට පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය (පසුව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්වූ) සාක්කි ලබා දුන්නාය. ඇය විසින් 12 වන විත්තිකරු වන මොහොමදු සහීර් මොහොමදු හසන් (අබු දාවුද්) විසින් ලබා දුන් ප්‍රකාශය සලකුණු කරන ලදී. හරස් විභාගයේදී ඇය පිළිගත්තේ තමන් මෙම ප්‍රකාශය පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු නොකළ බවත්, විත්තිකරු පොලිස් අත්අඩංගුවේ පසුවන විට ලබාගත් මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ස්වාධීන එකක් ලෙස සැලකිය නොහැකි බවත්ය.
අගෝස්තු 13 වැනිදා පැමිණිල්ලේ නඩුව නිල වශයෙන් අවසන් විය. වසර දෙකහමාරකට අධික කාලයක් තුළ සාක්ෂිකරුවන් 547 දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 2076ක් ඉදිරිපත් කරමින් පැමිණිල්ල සිය නඩුව මෙහෙයවා තිබුණි.
අනතුරුව විත්ති වාචික කැඳවීමට අධිකරණය තීරණය කළේය. ඒ අනුව විත්තිකරුවන් සතු අයිතිවාසිකම් ගැන අධිකරණය පැහැදිලි කර දුන්නේය. විත්තිකරුවන්ට සාක්කි කූඩුවට නැඟ සාක්කි දිය හැකි බවත්, විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කළ හැකි බවත්, නිශ්ශබ්ධව සිටිය හැකි බවත් පැහැදිලි කළ අධිකරණය විත්තියට සාක්කිකරුවන් කැඳවීමේ හැකියාව ඇති බව ද කීවේය.
විත්ති පාර්ශ්වයෙන් අගෝස්තු 14 වැනිදා අධිකරණයට දන්වා සිටියේ හය වන විත්තිකරු හැර සෙසු සියලුම විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ කරන බවයි.
අගෝස්තු 17 වැනිදා විත්තියේ නඩු විභාගය ආරම්භ කරමින් පළමු වන විත්තිකරු සහ 20 සිට 25 දක්වා විත්තිකරුවෝ තම විත්තිවාචක ඉදිරිපත් කළහ. 20 වැනි විත්තිකරු පැවසුවේ තමන් 2018 දෙසැම්බර් මාසයේදී සියොන් දේවස්ථානය ගැන අන්තර්ජාලයේ පරීක්ෂා කිරීමක් සිදු කර ඇති බව කියමින් අත්අඩංගුවට ගත් බවත්, මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති බවත්ය. 21 වන විත්තිකරු තමන් රියැදුරෙකු ලෙස සේවය කළ අයෙකු බවත්, හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවත් පැවසීය. 22 වන විත්තිකරු තමන් නිවසක් කුලියට දීමේ තැරැව්කාරීත්වයක් නිසා අත්අඩංගුවට ගත් බව පැවසීය. 23 වන සහ 24 වන විත්තිකරුවන් ප්‍රකාශ කළේ තමන් නුවරඑළියේ පැවති ආගමික දේශනයකට සහභාගි වීමට ගියද එය අවසන් වී තිබූ බවත්, තමන් ප්‍රහාරයට සම්බන්ධ නැති බවත්ය. 25 වන විත්තිකරු ද ප්‍රකාශ කළේ තමන් නිර්දෝෂී බවයි.
මරාගෙන මැරෙන ප්‍රහාර දේශනා
නඩුවේ ප්‍රධාන චූදිතයෙකු ලෙස සැලකෙන පළමු විත්තිකරු වන නවුෆර් මවුලවි (මොහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්) විත්තිකූඩුවේ සිට කළ ප්‍රකාශයේදී පිළිගත්තේ තමන් සහරාන් හෂීම්, රිල්වාන්, හස්තුන් සහ ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවයි. එහෙත් තමන් කිසිදු දිනක මනුෂ්‍ය ඝාතන හෝ මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳව දේශනා පවත්වා නැති බවත්, තමන් කතා කළේ ලංකාවේ මුස්ලිම්වරුන්ට ඇති ඉස්ලාම් විරෝධී තර්ජන පිළිබඳව පමණක් බවත් ඔහු සඳහන් කළේය. තමන් මෙම ප්‍රහාරයට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බව ඔහු කියා සිටියේය.
අගෝස්තු 18 වැනිදා මෙම නඩුවේ 2, 7, 8, 10, 12, 14, 18 සහ 19 වන විත්තිකරුවෝ විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශ සිදු කළහ. 10 වන විත්තිකරු අබ්දුල් ලතීෆ් මොහොමදු සාෆි ප්‍රකාශ කළේ තමන් සහරාන් සහ ජාතික තවුහිත් ජමාත් සමග සබඳතා පැවැත්වූවද, ඔවුන්ගේ ත්‍රස්තවාදී සැලසුම් හෝ අරමුණු පිළිබඳව කිසිවක් දැන සිටියේ නැති බවයි. සෙසු විත්තිකරුවන් සියලු දෙනාම තමන්ට සහරාන් සමග කිසිදු සබඳතාවයක් නොතිබූ බවත්, තමන් සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බවත් ප්‍රකාශ කරමින් මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.
නඩුවේ 252 වන දිනය වූ අගෝස්තු 19 වැනිදා විත්තිකරුවන් කිහිපදෙනකු සිදු කළ කූඩු ප්‍රකාශ තුළින් බරපතළ වධහිංසා, අසාධාරණ ලෙස සිරගත කිරීම් සහ මුස්ලිම් විරෝධී දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව තොරතුරු කියැවිණි.
15 වන විත්තිකරු වන මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දීන් (අබු හිනා) ප්‍රකාශ කළේ එම වකවානුවේදී නාමල් කුමාර, ඩෑන් ප්‍රියසාද්, අමිත් වීරසිංහ සහ ඥානසාර හිමි වැනි අයගේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් හේතුවෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව විශාල වෙනස්කොට සැලකීමක් සහ වෛරයක් පැතිර ගිය බවයි. දිගන සිදුවීම, පල්ලිවලට පහරදීම නිසා තමන්ද පීඩාවට පත් වූ බව ඔහු පැවසීය. තමන් සහරාන්ගේ ආගමික දේශනවලට සහභාගි වූයේ මුස්ලිම්වරුන් මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමට මිස බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීමට නොවන බවත්, සහරාන් එකල යහපත් පුද්ගලයකු ලෙස තමන් සිතූ බවත් ඔහු පැවසීය. තම පාපොච්චාරණය බලපෑම් සහ තර්ජන මැද ලබාගත් එකක් බවත්, එහි සත්‍ය මෙන්ම අසත්‍ය ද අඩංගු බවත් ඔහු පැවසීය. තම බාල දියණියගේ මරණය සහ පුතුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම තමන්ව බලහත්කාරයෙන් සාක්ෂි දීමට පෙළඹවූ බව ඔහු පැවසීය.
මෙම නඩුවේ තුන් වන විත්තිකරු හයාතු මොහොමදු අහමදු මිල්හාන් ප්‍රකාශ කළේ තමන් රසායනාගාර තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටාර්හි සේවය කර පැමිණි අයෙකු බවයි. තමන් සහරාන් සහ ඔහුගේ සහෝදර රිල්වාන් උපන් ගමේ නිසා ඔවුන්ව දැන සිටියද සමීප සබඳතාවක් නොතිබූ බව ඔහු පැවසීය. සවුදි අරාබියේදී තමන්ව අත්අඩංගුවට ගත් බව ඔහු කීවේය. තමන්ට එරෙහිව සොයාගත් බව කියන දත් බුරුසුවක ඩීඑන්ඒ ගැළපීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමන් මීට පෙර රිල්වාන්ගේ නිවසේ නැවතී සිටි නිසා එම දත් බුරුසුව එහි තිබෙන්නට ඇති බවත්, එයින් කුමන්ත්‍රණයකට සම්බන්ධ බව ඔප්පු කළ නොහැකි බවත්ය. තමන් සතුව තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක්, ආයුධයක් හෝ දේශන පත්‍රිකාවක් හමු නොවූ බවත්, මෙම නඩුව දේශපාලන බලපෑම් මත ගොඩනැඟුණු එකක් බවත් ඔහු පැවසීය.
යතුරු පැදියක් තෑගිදීම
11 වන විත්තිකරු වන හුසේනුල් රිස්වි කාලිඩ් සමීර් ප්‍රකාශ කළේ තමන් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දුන්නේ රජයේ සාක්ෂිකරුවකු කර නිදහස් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුන් පොරොන්දුවක් මත බවයි. සහරාන් තමන්ට යතුරුපැදියක් මිලදී ගෙන දුන් බව සත්‍යයක් වුවද ඔහු ත්‍රස්තවාදියෙකු බව තමන් නොදැන සිටි බවත්, එසේ දන්නේ නම් තමන්ගේ සැබෑ තොරතුරු යතුරුපැදි ලියාපදිංචියට ලබා නොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. රෙදි සෝදන යන්ත්‍ර පරිපථ හෝ රසායනාගාර උපකරණ මිලදී ගැනීමට තමන් සහාය වූ බවට එල්ල වන චෝදනා කිසිදු සාක්ෂියක් නොමැති අසත්‍ය චෝදනා බව ඔහු ප්‍රකාශ කළේය.
හතර වන විත්තිකරු වන මොහොමදු ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්) සිය උසස් අධ්‍යාපන පසුබිම විස්තර කරමින් ප්‍රකාශය ආරම්භ කළේය. ඔහු උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා, පෞද්ගලික ආයතනයකින් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සහ තවත් ආයතනයකින් ඩිප්ලෝමාවක් ලබා ඇති, උපකාරක පන්ති ගුරුවරයකු සහ විනයභාර ගුරුවරයකු ලෙස සේවය කළ අයකු බව ප්‍රකාශ කළේය. තමන් ‘අබු උමර්’ යන නමින් පෙනී නොසිටි බව පැවසූ ඔහු, පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවන් වන අනස්, ජවුෆර් සාදික් සහ මුනිෂිෆ් යන අයගේ සාක්ෂිවල ඇති පරස්පරතා එකින් එක විග්‍රහ කරමින් තමන්ට එරෙහි නඩුවේ පදනම ප්‍රශ්න කළේය. ඔහුගේ ප්‍රකාශය තවදුරටත් සිදු කිරීමට නියමිතව තිබියදී එදින අධිකරණ කටයුතු අවසන් විය.
අගෝස්තු 20 වැනිදා හතර වන විත්තිකරු වන සාදික් අබ්දුල්ලා සිය ප්‍රකාශය තවදුරටත් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ රජයේ සාක්ෂිකරුවන් වන ජවුෆර් සාදික්, මුනිෂිෆ් සහ අස්මියා සැලකිය යුතු කාලයක් සීඅයිඩී භාරයේ තබාගෙන පසුව නිදහස් කරන ලද අය බවයි. ඔවුන් සීඅයිඩී යෙහි දැඩි බලපෑමට ලක්ව ඇති බැවින් ඔවුන් ස්වාධීන සාක්ෂිකරුවන් නොවන බව ඔහු සඳහන් කළේය. තවද, සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන් තුවාල ලැබූ අවස්ථාවේ රෝහලට ඇතුළත් කිරීමේදී තමන් සිය සැබෑ අනන්‍යතාවය සහ අත්සන යොදා ඇති බැවින්, තමන් රිල්වාන්ගේ තුවාල වීම ගෑස් සිලින්ඩර අනතුරක් ලෙස සැබවින්ම විශ්වාස කළ බවත්, සාපරාධී වසන් කිරීමක් තමන්ගේ පාර්ශ්වයෙන් සිදු නොවූ බවත් ඔහු පැහැදිලි කළේය.
පස් වන විත්තිකරු සිය ප්‍රකාශයෙන් කියා සිටියේ තමන් පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමට හෝ ආධාර කිරීමට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බවයි. තමන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති, ක්‍රීඩාවලට සම්බන්ධ වූ අයෙකු බව පැවසූ ඔහු, තමන්ට එරෙහිව සොයාගත්තේ යැයි කියන නඩු භාණ්ඩ භාරගත් සීඅයිඩී නිලධාරියා හෝ ඇඳිරි නීති බලපත්‍රය නිකුත් කළ පොලිස් නිලධාරියා සාක්ෂි දීමට නොකැඳවීමෙන් පැමිණිල්ලේ නඩුව දුර්වල වී ඇති බව පැවසීය. සහරාන්ගේ වීඩියෝ දර්ශනවල කිසිදු විත්තිකරුවකු දක්නට නැති බවත්, ප්‍රධාන සාක්ෂිකරු වන අනස් සීඅයිඩීයේ රැඳී සිටිමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ලේඛන පරිවර්තනය කරමින් සීඅයිඩීයේ අවශ්‍යතාවන්ට අනුව හැඩගැසුණු අයෙකු බවත් ඔහු පැවසීය.
පාපොච්චාරණවල ඇති බරපතලකම්
නවවන විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් ද තමන්ට එරෙහි සියලුම චෝදනා ප්‍රතික්ෂේප කළේය. කලා උපාධිධාරියෙකු වන ඔහු, රිමාන්ඩ් භාරයේ සිටියදීම විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය හදාරමින් සිටින බව ඔහු පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ලබාගත් පාපොච්චාරණවල ඇති බරපතළ දෝෂ පෙන්වා දුන් ඔහු, තම මව්පියන්ගේ නම් පවා එහි වැරදියට සටහන් වී තිබීමෙන් එය තමන් ස්වේච්ඡාවෙන් සිදු නොකළ එකක් බව සනාථ වන බව පැවසීය. තවද සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැනි අය පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය වන කරුණු දෙස බලන විට, පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ විමර්ශනයක් සිදු වී නැති බවට ඔහු තර්ක කළේය.
අගෝස්තු 21 වැනිදා විත්ති පාර්ශ්වයේ සාක්ෂිකරුවන් කැඳවීම ආරම්භ විය. පළමු වන විත්තිකරුගේ සාක්ෂි ලේඛනයට අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුහුල් හක් මහතා සාක්ෂි දීමට කැඳවා තිබුණි. පළමු වන විත්තිකරු 2019 ජූනි 12 දින පරීක්ෂා කළ අවස්ථාවේදී, තමන් අත්අඩංගුවට ගෙන සතියකට පසු සීඅයිඩී නිලධාරීන් තම කන් දෙකටම පහර දුන් බවත්, තම දකුණු කනෙහි ඇසීමේ අපහසුතාවයක් පවතින බවත් විත්තිකරු තමන්ට පැවසූ බව වෛද්‍යවරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. එදිනම තවත් සාක්ෂිකරුවකු වූ නිහාල් ජයරත්න මහතා ද සාක්කි ලබා දුන්නේය.
මෙම මහ නඩු විභාගයේ සුවිශේෂීම දිනයක් වූයේ 2026 අගෝස්තු 24 වැනිදා ය. වසර දෙකහමාරකට වැඩි කාලයක් පැවැති නඩුව සම්පූර්ණයෙන්ම අවසන් විය. මෙම ඓතිහාසික නඩුවේ තීන්දුව 2026 සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සඳහන් කළේය.
තරිඳු ජයවර්ධන












