නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි. භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන් වන පොහොය ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මෙම උතුම් පුන් පොහෝ දින සිදුව තිබේ. මේ හේතුවෙන් බෞද්ධයන් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය අපට ඉතා වැදගත් වෙයි. වර්ෂා සමයේ භික්ෂුන් වහන්සේට පාගමනින් වැඩම කරමින් පිඬ…
නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි. භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන් වන පොහොය ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මෙම උතුම් පුන් පොහෝ දින සිදුව තිබේ. මේ හේතුවෙන් බෞද්ධයන් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය අපට ඉතා වැදගත් වෙයි.
වර්ෂා සමයේ භික්ෂුන් වහන්සේට පාගමනින් වැඩම කරමින් පිඬුසිඟා වඩිමින්, ධර්ම ප්‍රචාර කටයුතුවල නියැළීම අපහසු වූ හෙයින් වස් සමාදන්ව විහාරස්ථානවල රැඳීසිටින ලෙස පණවනු ලැබුවා. ඒ අනුව භික්‍ෂුන් වහන්සේලා පෙර වස් සමාදන් වන්නේ ඇසළ පුරපසළොස්වක පොහෝ දිනටයි. මෙහිදී පෙර වස් එළැඹීමට නොහැකි වූ භික්‍ෂුන් වහන්සේලාට පසුවස් එළැඹීම පිණිස නිකිණි පොහොය නම් කළේය. ඒ අනුව පෙර වස් සමාදන්වීමට නොහැකි වූ භික්ෂුන්ට වස් ආරාධනා කිරීම නිකිණි පෝය දිනයේදී සිදු කරනු ලැබේ.
භික්‍ෂුන් වහන්සේලා සහ ගිහි ජනතාව අතර මනා සබඳතාවක් ඇතිවන දිනයක් ලෙස නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය.
ගිහියන්ගේ ආරාධනාව අනුව වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානයට වී මෙම කාලය තුළදී ආගමික වතාවත්වල නිරත වෙයි. මෙම කාලය තුළදී පන්සල් භූමියෙන් පිටතට වැඩමවීම සිදු කරන්නේ නැත. පිටතට වැඩම කිරීම වස් වැසීමට පටහැනිය. එහෙත් නිකිණි පෝයට වස් විසූ භික්ෂුන් වහන්සේලාට ද යළි වස් වැසීම පිණිස පැමිණෙන බව පවසා පන්සලෙන් පිටව යෑමේ හැකියාව පවතී. එම කාලය සතියකට වඩා නොවැඩි විය යුතුය. වස් සීමාවෙන් පිටත ගොස් සිටින භික්‍ෂුන් වහන්සේ සතියක් ඇතුළත යළි වස් වැසීම සහ ඒ පිළිවෙත් ඉටුකිරීමට පැමිණෙන බව අදිටන් කරගෙන පිටව යෑමේ අවසර හිමිවූයේ ද නිකිණි පෝය දිනයක වීමද විශේෂත්වයකි.
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදුවන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයකය. අජාසත් රජුගේ දායකත්වයෙන් සහ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගුහාව ඉදිරිපිට තෙමසක් පුරාවට මහ රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූහ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වැදගත් කරුණු රැසක් ප්‍රථම ධර්ම සංගායනාවෙන් සිදුකිරීම ද මෙහිදී සුවිශේෂී වෙයි.
ආනන්ද මාහිමියන් රහත් භාවයට පත්වන්නේ ද අද වන් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයකය. ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහ රහතන් වහන්සේ රහත් භාවයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වීමටද අවස්ථාව උදාවීම ද විශේෂත්වයකි.
බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන පරිදි අරියවංශ දේශනාව පැවැත්වීම ආරම්භ වී තිබෙන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකය. අරියවංශ දේශනාව නම් බණ කීමේ උත්සව මාලාව ආරම්භ වූ බවට අශෝක අධිරාජ්‍යයාගේ සෙල් ලිපිවල ද සඳහන් වී තිබේ. අරියවංශ දේශනාව අංගුත්තර නිකායේ සතර වන නිපාතයේ දේශනාවකි. මේ සූත්‍ර දේශනාව සඳහා රජවරුන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබී තිබේ. මේ සූත්‍ර දේශනාව උත්සවාකාරයෙන් සිදුකරයි.
එසේම නිකිණි පෝය දින පදනම් කරගෙන අරියවංශ දේශනාව අප රටේ පවත්වා තිබෙන බවට ද ඉතිහාසයේ සඳහන් වෙයි.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම ආරම්භ වන්නේ ද අද වන් පොහෝ දිනකය වීම ද විශේෂත්වයකි.
මුතුන් මිත්තන් විසින් නිකිණි පුර පසළොස්වක පෝය දරමිටි පෝය ලෙසින් ද හඳුන්වයි. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කර එය රෝපණය කිරීමෙන් පසුව බෝධින් වහන්සේ රැකබලා ගැනීම සඳහා වෙනම බෝධි භාරකාර කුලයක් පත්ව තිබේ. නමුත් නිකිණි මාසයේ පවතින ඉඩෝරයත් සමග උඩ මළුව ප්‍රදේශයට වන අලින්ගේ තර්ජන බහුලව එල්ල වී තිබේ. එලෙස පැමිණෙන වන අලින් පලවා හැරීම පිණිස වන අලි උවදුරු අවසන් වන තුරු ගිනි මැළ ගසා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රැක බලා ගැනීම ජනතාව විසින් සිදු කරනු ලැබීය. ජනතාව ගම් මට්ටමින් දින තීන්දු කරගනිමින් දරමිටි බැඳගෙන පැමිණ රැය පහන් වනතුරු ගිනි දල්වාගෙන බෝධින් වහන්සේ රැක බලා ගැනීම සිදු කළේය. පසුව මෙය පරපුරෙන් පරපුරට එන සිරිත් සම්ප්‍රදායක් බවට පත් විණ. මේ නිසා ජනතාව නිකිණි පෝය දරමිටි පෝය ලෙසද හඳුන්වනු ලබයි.
ගොවි ජනතාව නිකිණි පෝය හේන් ගිනිලන පෝය ලෙස ද හඳුන්වයි. ගොවීන් හේන් ගිනි තබමින් සිය වගාවන් සඳහා වගා බිම් සකස් කරගනු ලබන්නේ නිකිණි පෝය උදාවත් සමගය. මෙලෙස අපගේ මුතුන් මිත්තන් නිකිණි පෝය එළඹෙත්ම වගා කටයුතු සඳහා සූදානම් වීමට හුරුපුරුදු වී තිබේ. ඒ අනුව නිකිණි පෝය ජන ජීවිතය හා බැඳුණු පෝයක් ලෙස හැඳින්විය හැකිය.
මහනුවර ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පොහොය මූලික කරගනිමින් පැවැත්වීම ද සුවිශේෂී වෙයි.
බෞද්ධ ජනතාව මෙම උතුම් පුන් පොහෝ දිනයේ වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගනිමින් දාන සීල භාවනා ඇතුළු ආගමික වතාවත්වල නිරත වෙයි. බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් එම දහම් මග අප ගමන් කළ යුතුය. ඒ තුළින් බෞද්ධයන් ලෙස අපට සංසාර දුක කෙළවර කරගනිමින් අමා මහ නිවන් අවබෝධ කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.
අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායකරැළපනාවේ ධම්මජෝති නාහිමි












