ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 8 ක අද දිනයේත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අධිකවිය හැකි බැවින් ඒ පිළිබඳව අද (29දා) දිනයේදීත් අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (28දා) පැවසුවාය. මෙම අධික උෂ්ණත්වය සහි…

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 8 ක අද දිනයේත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අධිකවිය හැකි බැවින් ඒ පිළිබඳව අද (29දා) දිනයේදීත් අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (28දා) පැවසුවාය.

මෙම අධික උෂ්ණත්වය සහිත කාලගුණය ඉදිරි දින කීපයේදීත් පවතින බවද ඇය කීවාය.

මෙම අධික උෂ්ණත්වය ත්‍රිකුණාමලය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චිය, මොනරාගල, යාපනය යන දිස්ත්‍රික්ක සඳහා බල පැවැත්වෙන බවද ඇය සඳහන් කළාය.

අදාළ දිස්ත්‍රික්කවල පදිංචි ජනතාවට අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවිය හැකි සෞඛ්‍ය ගැටලු වලින් බේරීමට විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද ඇය කියා සිටියාය.

පෙරේදා (27දා) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවත්, එම අගය සෙල්සියස් අංශක 37.4 ක අගයක් ගත් බවත්, කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.3 ක අගයක් ගත් බවත් ඇය සඳහන් කළාය.

මේ අතර, ඊයේ (28දා) සිට ලබන සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා හිරු ශ්‍රී ලංකාවට ඍජුවම ඉහළින් මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම දැනට උතුරු මැද සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයකට වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ පෙරේදා (27දා) දිනයේ වැඩිම වර්ෂාපතනය ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එම අගය මිලිමීටර් 25.4 කි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා