සැප්.14 සිට ඔක්.15 තෙක් යාලේ එක කලාපයක් වසා දමයි පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ යාල ජාතික උද්‍යානයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා සඳහන් කළේය. වැසි නොලැබීමටත් වඩා දහවල් කාලයේ ඇති අධික උෂ්ණත්වය නිසා වන සතුන්ගේ ස්වභාවික ජීවන රටාව වෙනස් ව…
සැප්.14 සිට ඔක්.15 තෙක් යාලේ එක කලාපයක් වසා දමයි
පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ යාල ජාතික උද්‍යානයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා සඳහන් කළේය. වැසි නොලැබීමටත් වඩා දහවල් කාලයේ ඇති අධික උෂ්ණත්වය නිසා වන සතුන්ගේ ස්වභාවික ජීවන රටාව වෙනස් වී ඇති බවත් කෙසේ හෝ පිපාසය සංසිඳවා ගත්ත ද උෂ්ණත්වය දරා ගැනීමේ අපහසුතාවය වන සතුන්ට තදින්ම දැනී ඇති බවත් ඔහු කීවේය.
මෙම තත්ත්වය හමුවේ වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් සැප්තැම්බර් 14 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා තෙක් කෙටි කාලයකට යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කර ඇතැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසීය. එහිදී වසා දමනු ලබන්නේ යාල කලාප අංක එක :ඊකදජන 01) පමණක් වන අතර යාල දෙක සහ තුන කලාප සංචාරය සඳහා විවෘතව පවතී.
මේ කාලසීමාව වන විට සෑම වසරකම යාල ජාතික උද්‍යානය වසා දැමීම අඛණ්ඩව සිදුකරගෙන ආ කටයුත්තක් බවත් එම තත්ත්වය වෙනස් වුණේ කොරෝනා කාලසීමාව තුළ බවත් ඔහු කීවේය.
නියඟයෙන් වන සතුන් ආරක්ෂා කිරීම මෙන්ම උද්‍යානය තුළ නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා උද්‍යානය තාවකාලිකව වසා දැමීම අත්‍යවශ්‍ය කාරණයක්. එබැවින් යාල ජාතික උද්‍යානයේ කර්මාන්තවල යෙදෙන්නන් සමග පසුගියදා මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවෙන් පසු අවශ්‍ය වුවහොත් සැප්තැම්බර් මස 14 වනදා සිට ඔක්තෝබර් 15 වනදා තෙක් තාවකාලිකව යාල වසා දැමීමට ගත් තීරණය ඔවුන්ට ද දැනුම් දුන් බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය. මෙම කාලසීමාවේදී තදින් වැසි ලැබුණහොත් වැව් කඩාගෙන යෑමට ඉඩ ඇති බවත් උද්‍යානය තුළ ඇති මාර්ග ආරක්ෂා කර ගැනීමත් එහි එක් අරමුණක් බවත් හෙතෙම කීවේය. නමුත් එම කාලසීමාව අවශ්‍ය පරිදි වැසි ලැබී උෂ්ණත්වය සමනය වුවහොත් නියමිත දිනට පෙර යාල විවෘත කිරීමට කටයුතු කළ හැකි බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.
තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු












