ඊයේ ඉදිරිපත් කළ සැකකරුවෝ හඳුනා ගැනෙති මරන්නම වෙඩි තියපු බව පෙනී යනවා…ඒ ගැන යුක්තිය ඉටුවේද සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා දේහය හඳුනා ගන්න ඉන්දියානුවාගේ ඥාතීන් නොඑන බව මහ කොමසාරිස් කාර්යාලය දැන්වූවා වෙඩි තැබීම් කළේ නිලධාරීන්මද කියා කියන්න වෙන්නේ වාර්තා ලැබුණු…

ඊයේ ඉදිරිපත් කළ සැකකරුවෝ හඳුනා ගැනෙති

මරන්නම වෙඩි තියපු බව පෙනී යනවා…ඒ ගැන යුක්තිය ඉටුවේද

සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා

දේහය හඳුනා ගන්න ඉන්දියානුවාගේ ඥාතීන් නොඑන බව මහ කොමසාරිස් කාර්යාලය දැන්වූවා

වෙඩි තැබීම් කළේ නිලධාරීන්මද කියා කියන්න වෙන්නේ වාර්තා ලැබුණු පසුයි

සී.අයි.ඩීය

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තිස්දෙදෙනකු මියයෑම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ලබන සැප්තැම්බර් 8 වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීගමුව ප්‍රධාන ජේලර් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 20කට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නොතීසි නිකුත් කරමින් නියෝග කළාය.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධ වූ නඩුකරය ඊයේ (28) යළිත් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය නඩුවාරයේ දී සැකකරුවන් 70 දෙනකු නම් කර තිබූ අතර ඊයේ දින සැකකරු අංක 1 සිට 6 දක්වා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සෞඛ්‍ය හේතුවක් සහ වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් ඊයේ දින සැකකරුවන් දෙදෙනකු ඉදිරිපත් නොකළ අතර සැකකරුවෝ හතර දෙනෙක් ඉදිරිපත් කරනු ලැබූහ. එම සැකකරුවන් හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂිකරුවන් 04 දෙනකු ද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඊයේ දින ඉදිරිපත් නොකළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාරය අධිකරණයට ලිපි ඉදිරිපත් කළේය.

සාක්ෂිකරුවන් සහ සැකකරුවන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ නියෝග පරිදි ආවරණය කර අධිකරණයට රැගෙන එනු දක්නට ලැබුණි.

අනතුරුව මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

හඳුනා ගැනීමේ පෙරට්ටුවට සාක්ෂිකරුවෝ 4 දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුහු සැකකරුවන් හඳුනා ගත්හ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් 2100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් තවත් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනකු සහ රැඳවියන් විසිදෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

බන්ධනාගාර සිද්ධියේදී මිය ගිය ඉන්දීය ජාතිකයාගේ මෘත දේහය හඳුනා ගැනීමට ඥාතීන් නොපැමිණෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සිය දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කළහ.

එම ඉන්දීය ජාතිකයාගේ මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නිලධාරිහු ඉල්ලා සිටියහ. එමෙන්ම ආණ්ඩුවේ වියදමින් මෙම මළ සිරුර මීගමුව පොදු සුසාන භූමියේ මිහිදන් කිරීම මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින ලදී.

තවද භූමදානය සිදු කරන ස්ථානය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසද මහ නගර සභාවේ නගරාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද නිලධාරීහු ඉල්ලා සිටියහ.

ඉන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයේ කරුණු දැක්වීය.

ස්වාමිනි,

මෙම සිදුවීමෙන් රැඳවියන් විශාල ප්‍රමාණයක් වෙඩි තැබීම්වලින් මිය ගියා. මෙම වෙඩිතැබීම් වුණේ කොහොමද කවුද කියලා සාක්ෂි, සැකකරුවෝ නම් කරලා නැහැ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය රෙගුලාසිවල තියෙනවා වෙඩි තැබීම පාලනය කළ නොහැකි අවස්ථාවලදී මරණීය තුවාල සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට හැකි බව. නමුත් මෙහිදී එහෙම පේන්නැහැ. මරණය ඇති කරන්නම කළා වගේ අපිට පේන්නේ. අපි දැක්කා බන්ධනාගාර දොර කවුලුවෙන් වෙඩි තියනවා. 294 වගන්ති ප්‍රකාරව මේක මිනීමැරීමේ අපරාධයක්. ඒ සම්බන්ධව යුක්තිය ඉටු වෙනවද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාගේ හරි බලපෑමක් තියෙනවද කියලා ඔබතුමී බලන්න ඕන. රැඳවියන්ගේ ඥාතීන් බලන් ඉන්නවා ඔවුන්ට යුක්තිය ඉටු වෙනකම්. මේ සම්බන්ධව රැඳවියන්ට වෙඩි තැබීම් සිදුකළ අය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

එහිදී මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යමක් ප්‍රකාශ කිරීමට ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් පොලිසිය මෙසේ පැවසීය.

ස්වාමීනි, රැඳවියන් ගැටුම අවස්ථාවේ දී අවි ගාරය කඩා අවි 32ක් ඔවුන්ගේ භාරයට අරන් තියනවා. එම ස්ථානයේ රජයේ රසපරීක්ෂක ඇතුළු විශාල පිරිසක් ස්ථානීය පරීක්ෂණ සිදු කරලා තියනවා. ඒවායේ වාර්තා ලැබුණු පසු තමයි වෙඩි තැබීම් සිදුව ඇත්තේ නිලධාරීන්ගේ ගිනි අවිවලින් ද රැඳවියන්ගේ ගිනි අවිවලින් ද කියලා නිගමනය කරන්න පුළුවන් වෙන්නේ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග ලබා දුන් අතර සැකකරුවන් 67 නිල මැදිරියේ දී සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළාය.

එමෙන්ම සැකකරුවන් ලබන සැප්තැම්බර් 8 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට සැකකරු අංක 1 සිට 6 දක්වා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කළාය.

සැකකරුවන් එදිනටත් සුම් තාක්ෂණය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එහිදී මහෙස්ත්‍රාත්වරිය හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා දීර්ඝ කාලයක් යන බැවින් හඳුනාගැනීමේ පෙරට්ටු කටයුතු කඩිනමින් ඉක්මන් කර අවසන් කිරීමට පිළියමක් යොදා කටයුතු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට අවධාරණය කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක දුලිත මධුරංග, උප පොලිස් පරීක්ෂක මධුසංක, පොලිස් කොස්තාපල් දුලංග සහ (1315) ජයසූරිය, (97257) බණ්ඩාර, අනිල් අසේල (87113), (108388) හේරත් ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළහ.ඒ.ජේ.ඒ. අබේනායක