චෝදනාවන්ට ලක්වෙන කිසිම කෙනෙකුට නීතියෙන් රිංගා යන්න දෙන්නේ නෑ නොට්බෝල් ඉහළටම ඔසවන්න දුවන කෝච්චියට වුණත් බෙල්ල තියනවා නෙට් බෝල් සභාපතිනි වජිරා නෙත්තිකුමාරි කෙලින් කතා කරයි පසුගියදා හොංකොං හිදී නිමාවට පත් වූ ආසියානු ශූරතා නෙට්බෝල් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සහභාගි වීමේ අපේක්ෂාවෙන්…

චෝදනාවන්ට ලක්වෙන කිසිම කෙනෙකුට නීතියෙන් රිංගා යන්න දෙන්නේ නෑ

නොට්බෝල් ඉහළටම ඔසවන්න දුවන කෝච්චියට වුණත් බෙල්ල තියනවා

නෙට් බෝල් සභාපතිනි වජිරා නෙත්තිකුමාරි කෙලින් කතා කරයි

පසුගියදා හොංකොං හිදී නිමාවට පත් වූ ආසියානු ශූරතා නෙට්බෝල් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සහභාගි වීමේ අපේක්ෂාවෙන් පසුවූ ශ්‍රී ලංකා පිලට සිදු වූයේ තුන්වන ස්ථානය දක්වා පසු බසින්නටය. මේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවාසී ක්‍රීඩා ලෝලීන් කිසිවෙකුත් අපේක්ෂා නොකළ එකකි. ඊට බලපෑවේ කුමන කාරණා දැයි දැනගැනීම ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාව බව නිසැකය. ක්‍රීඩා මාධ්‍යවේදීන් වන අපගේ යුතුකම වන්නේ ඒ අපේක්ෂාවන් ඉටුකර දීමය. කරුණු කාරණා හරියාකාරව දැන ගැනීමට නම් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනියට වඩා සුදුසු වෙනත් කෙනෙකු නැත. “දිවයින” ඉරිදා සංග්‍රහය වෙනුවෙන් අප එතුමිය මුණගැසුණේ ඒ නිසාය.

● ඔබ නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය ලෙස පත් වූ පළමු අවස්ථාව මේක. කොහොමද ඒ අත්දැකීම?

ඔව් මම මීට පෙර කළුතර දිස්ත්‍රික් නෙට්බෝල් සංගමයේ සභාපතිනිය හැටියට කටයුතු කරල තිබුණත් ජාතික සම්මේලනයේ තනතුරු වලට නම් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් මගෙන් නිතරම ප්‍රශ්න කළේ පළාතකට විතරක් සේවය කරනවට වඩා නරකද රටටම බලපාන සේවයක් කරන එක කියලා. අන්න ඒ නිසා මම ජාතික සම්මේලනයට එකතු වෙන්න තීරණය කළත් සභාපති තනතුරට තරග කරන්න නම් හිතුවේම නෑ. නමුත් ඇති වූ යම් යම් ප්‍රශ්න නිසා අපේ පාර්ශ්වයේ සභාපතිනියට ඉදිරිපත් වීමේ අවස්ථාව නොලැබී ගියා. පසුව බහුතරයකගේ කැමැත්ත මත තමයි මම සභාපති තනතුරට තරග කළේ. ඇත්තෙන්ම කියන්න කැමතියි සභාපති තනතුරට ඉදිරිපත් වූ පළමු අවස්ථාවේම බහුතර දිස්ත්‍රික් සංඛ්‍යාවක් මාව විශ්වාස කිරීම පිළිබඳව. මම ඔවුන්ට හිස නමා ආචාර කරනවා. ඔබ මගෙන් විමසා සිටියේ සභාපති තනතුරේ අත්දැකීම් ගැන. මේ සුළු කාලය තුළ මට විශාල අභියෝග ප්‍රමාණයකට මුහුන දෙන්න සිදුවුණා. ඒ නිසාම ලබා ගත්ත අත්දැකීම් ප්‍රමාණයත් අති විශාලයි. දැන් මම ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් තරමට ශක්තිමත් වෙලයි ඉන්නේ.

● ඔබතුමියගේ පාලනය යටතේ ගෙවී ගිය මාස කිහිපය පිළිබඳව අදහස් දැක්වුවහොත්?

මට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙලා තියෙන්නේ එදා ඉඳන් මේ දක්වා නෙට්බෝල් පරිපාලනය ආපු ගමන් මග වෙනස් කරන්නයි. එතනදි මට ඕනෑ තරම් අභියෝග වලට මුහුණ දෙන්න වේවි. නමුත් හරි දේ කරන්න මම වගේම හිතන වෙනත් කෙනෙකුට වුවත් කවදා හරි ඒ වෙනස සිදුකරන්න වෙනවාමයි. ඉතින් කවුරුහරි පටන් ගන්න කම් ඉන්නෙ නැතුව මම ම ඒක පටන්ගන්න ඕන කියල තීරණය කළා. මටත් ඕනම නම් පරණ තාලයට ම නෙට්බෝල් පරිපාලනය අරගෙන ගිහිල්ලා පැත්තකට වෙන්න පුළුවන්. ඒක හරි අපරාධයක්. මේ යන ක්‍රමය වැරදියි. ඒක වෙනස් කළ යුතුමයි. ඒ නිසා මම ඒ කෝච්චියට බෙල්ල තියන්න ලෑස්තියි.

● එහෙමනම් දැනටමත් වෙනස්කම් එකක් දෙකක් හෝ කරලා ඇතිනේ?

ඔව්. ඔන්න බලාගන්න ළඟදීම මම දිස්ත්‍රික් සංගම්වලට රුපියල් ලක්ෂය බැගින් මුදල් පරිත්‍යාග කරනවා. මම එහෙම කරන්නේ ගෙදරින් ගෙනැල්ලා නෙමෙයි. අනුග්‍රාහකයෝ කීප දෙනකුට මම කතා කරලා මේ කාරණාව පැහැදිලි කළා. ඒ හැම කෙනෙක්ම මට උදව් කරන්න ඉදිරිපත් වුණා. දිස්ත්‍රික් සංගම් වල නිලධාරී මණ්ඩල වල ලොකු සල්ලිකාරයෝ නැහැ. ඒ නිසා හැම දිස්ත්‍රික් සංගමයකට ම වගේ තමන්ගේ වාර්ෂික තරගාවලිය පවත්වන්නේ ඉතා අමාරුවෙන්. මම මේ රුපියල් ලක්ෂය දෙන්න තීරණය කළේ ඒ වාර්ෂික තරගාවලිය පවත්වන්නයි. දිස්ත්‍රික් තරගාවලියක් නැතුව ඒ ඒ දිස්ත්‍රික් වලින් ක්‍රීඩිකාවො බිහිවෙන්නේ කොහොමද?

අපි ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වෙලා ලංකාවට ඇවිත් තාම දවස් දෙක තුනක් වත් නෑ. අපේ කණ්ඩායමට මේ සංචාරය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තමයි මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ. ඒ පිළිබඳව අපි ඇමැති තුමාට ගෞරව පූර්වකව ස්තූති කරන්න ඕන. අපි ඒ ස්තුති කිරීම සද්භාවයෙන් කරන එකක් බවට පත් කරනවා. මේ සංචාරය සඳහා ඇමැති තුමන් ලබා දුන් මුදලෙන් රුපියල් ලක්ෂය හයකට වැඩි මුදලක් අපි ඉතුරු කරගත්තා. ඒ මුදල අපි ක්‍රීඩා අමාත්‍යාංශයට භාර දෙනවා. එහෙම උනාම අනාගතයේ පත්වෙන නිලධාරීන්ටත් ඒ ක්‍රමයම අනුගමනය කරන්න වේවි.

● “කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්” මෙහෙම කියමනක් තියෙනවානේ. තවම ඒ කියමනේ බලපෑමක් ඔබතුමියට එල්ල වෙලාම නැද්ද?

මොකද නැත්තේ මෙතෙක් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති ධුරයට පත්වුණු වැඩි පිරිසකට ඒ කියමනේ බලපෑම් එල්ල වෙලා තියෙනවා කියලා මම දන්නවා. තරග කරලා දිනන්න බැරි කෙනෙක් ඉන්නවා. එයා ඉල්ලලා පරදිනවා. පැරදුනාට පස්සේ දිනපු පිරිසට බාධා කිරීම තමයි එයාගේ එකම විනෝදාංශය.

● ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලියට සහභාගි වී සිටියදී කණ්ඩායම තුළ අභ්‍යන්තර ගැටුම් ඇතිවුණා කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳව ඔබතුමිය දැනුවත්ද?

ඔව් මම විතරක් නෙවෙයි. කණ්ඩායමේ කළමනාකාරිය, කණ්ඩායම් භාරව ගිය නිලධාරිනිය පවා ඒ සිදුවීම් පිළිබඳව දැනුවත්වයි සිටින්නේ. මම ඒ සියලුම සිදුවීම් වල සවිස්තරාත්මක වාර්තාවක් ක්‍රීඩා අමාත්‍ය තුමාට භාර දෙනවා. ඒ වගේම කළමනාකාරීනි කුමාරිහාමී තෙන්නකෝන් මහත්මියත් කණ්ඩායම භාර නිලධාරීනිය හැටියට කටයුතු කළ දමයන්ති ජයතිලක මහත්මියත් වෙන වෙනම වාර්තා දෙකක් මට ලබා දේවි. ඒ සියල්ලම මම ක්‍රීඩා ඇමැති තුමාට බාර දෙනවා. කලකට ඉහත දී දකුණු කොරියාවේ සංචාරය කළ යොවුන් කණ්ඩායමකට ඇතුළත්ව සිටි පාසල් ක්‍රීඩිකාවන් කිහිප දෙනකු සෝජු නමැති මත්පැන් පානය කොට ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කර තිබුණා. එහෙත් ඒ දරුවන් කිසිම දඬුවමකට යටත් නොවී නීතියෙන් රිංගා ගියා. නමුත් ආසියානු කුසලාන තරගාවලියට මෙවර සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ චෝදනාවන්ට ලක්වෙන කිසිම කෙනෙකුට නීතියෙන් රිංගල යන්න මම ඉඩ තියන්නේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙවර පුහුණුකාරියගේ පමණක් නොවෙයි. බොහොමයක් ක්‍රීඩිකාවන් ගත් විනය හොඳටම පිරිහිලා තිබුණා. කණ්ඩායමේ කීප දෙනකුම නායිකාව වගේ දැඟලුවා.

මේ තරගාවලියට සහභාගි වෙන්න කලින් දවසක හැන්දෑවේ ජේෂ්ඨ ක්‍රීඩිකාවන් තිදෙනකු මා හමුවෙන්න ආවා. ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ අර යොවුන් ක්‍රීඩිකාවන් තිදෙනා ඉවත්කොට ඒ වෙනුවට අතිරේක ක්‍රිඩිකාවන් තිදෙනා කණ්ඩායමට එක් කර දෙන ලෙසයි. මම ඒ ඉල්ලීම ඒ මොහොතේම තරයේ ප්‍රතික්ෂේප කළා. සම්මේලනයේ සභාපති වූ පලියට මට තේරීම් කමිටු බලතල නෑනේ. නැති බලතල ආරූඪ කරගන්නා සභාපතිවරයෙක් නෙමෙයි මම. කොහොම වුණත් ඒ ක්‍රීඩිකාවන් තිදෙනාගෙන් එක් අයෙක් එක්වරම මට කියා සිටියේ “එහෙනම් මිස් අපි අද ඉඳන් ඔබ තුමියව විශ්වාස කරන්නේ නෑ” කියලයි. ඇස් ඇරලා බලන්න දැන් මේ ජේෂ්ඨ ක්‍රීඩිකාවෝ කණ්ඩායම තෝරන බලයත් අතට අරගෙන. ඒ වාගේම නෙට්බෝල් විනිසුරුවරයෙක් ඉන්නවා එයා ඇකඩමියකටත් සම්බන්ධයි. දවසක් එයා මට මුණගැහිලා නම් කීපයක් දීලා තියෙනවා. ඒ ළමයි ඉන්න කණ්ඩායමට එකතු කරගන්න කියලා. එයාලා හිතන්න ඇති මේ සභාපති තුමියට අත්දැකීම් අඩු නිසා වැඩේ කරගන්න පුළුවන් වේවි කියලා. ඔව් බලාපොරොත්තු වෙන්න මම වැඩේ හරියටම කරනවා. මේවාට හවුල් වෙච්ච සියලු දෙනාම විනය පරීක්ෂණවලට කැඳවලා නිසි දඬුවම් දෙනවා. මම දන්නෑ මීට පෙර සිටි සභාපතිවරු මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවද කියලා. නමුත් මම අහල නෑ, එවැනි චෝදනාවලට විනය පරීක්ෂණ පවත්වල තියෙන බවක්. මගේ වෙනස ඒකයි. මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මුදල් හම්බ කරගන්න අපේක්ෂාවෙන් මම මේ තනතුරට ඉදිරිපත් වුණේ නෑ. ආසියානු නෙට්බෝල්

තරගාවලිය සඳහා මම සහභාගි වුණෙත් මගේ අතින් වියදම් කරගෙනයි. පාසල් කාලයේ මම නෙට්බෝල්, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා වැනි ක්‍රීඩාවන් රැසකට සහභාගි වෙලා තිබුණා නමුත් දැන් මම නෙට්බොල් සම්මේලනයේ සභාපතිනිය. ඒ නිසා දැන් මම උත්සාහ කරන්නේ නෙට්බොල් ක්‍රීඩාව දූෂණයෙන් වංචාවෙන් තොරව ඉහළට ඔසවා තැබීමටයි.

****

ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩිකාවන් අතර බෙදීමක් තිබුණා…ආසියානු කුසලානය පැරදුනේ නොසැලකිල්ල නිසායි

සම්මේලනයේ ලේකම් දමයන්ති ජයතිලක

සම්මේලනයේ ලේකම් දමයන්ති ජයතිලක මහත්මියටත් හඬ අවදි කරන්න ඉඩ දෙමු.

● එදා ක්‍රීඩිකාවක්, නායිකාවක් දැන් ලේකම්වරිය. ඒත් එදත් අදත් හෙටත් ඔයා අපට දම්මි ම තමයි. අපි දැක්කා ඔයා මාධ්‍ය ඔස්සේ ටිකක් ආවේගයෙන් කතා කරනවා. අපි ඔයාගෙන් එහෙම අවස්ථාවල් දැකලා නෑ ඇත්තටම මොකක්ද හේතුව?

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු නෙට්බෝල් තරගාවලියට සහභාගි වන විට ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩා ලෝලීන් හැම කෙනකු ම වගේ විශ්වාස කළේ ශ්‍රී ලංකාව අවසන් තරගයට සහභාගි වේවි කියලයි. නමුත් අප හැමදෙනාගේ ම ඒ බලාපොරොත්තුව බොඳ වී ගියා.

● දම්මි කියන්න බලන්න පෞද්ගලිකව ඔයාට එතරම්ම විශ්වාසයකින් බලාපොරොත්තු තබා ගන්න හේතු හැටියට දක්වන්න පුළුවන් මොන වගේ කරුණුද?

ඇත්තෙන්ම ජාතික තේරීම් කමිටුව සමබර කණ්ඩායමක් තෝරලා දී තිබුණා. නමුත් පුහුණුකාරිය පළමු තේරීම් පරීක්ෂණයේ සිටම ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයට බලපෑම් කරන්න පටන් ගත්තා. ඔය අතරේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනකුගෙන් ද බලපෑම් එල්ල වුණා. නමුත් අපි මේ සියල්ලම යටපත් කරගෙන කණ්ඩායමට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට පියවර ගත්තා. නෙට්බෝල් සම්මේලනයට තනිව ඒ සේරම කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. නමුත් ක්‍රීඩා ඇමැතිතුමාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සියලු දෙනාමත් අපට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබුණා. ඇමැතිතුමාට යොමු කරන ලද අපගේ ඉල්ලීම් සෑම එකක්ම නොපමාව ඉටුකර දෙන්නට එතුමා පියවර ගත්තා. නවසීලන්තයේ විශ්වවිද්‍යාල නෙට්බෝල් කණ්ඩායමක් ලංකාවට ගෙන්වා තරග හයක පුහුණුවකුත් ලබා දුන්නා. මේ වන විටත් කණ්ඩායම ඇතුළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවො හා නවක ක්‍රීඩිකාවො අතර බෙදීමක් ඇති වෙලා තිබුණා. ඇත්තෙන් මේක ඇති කරල තිබුණු එකක්. නමුත් සංචාරක කණ්ඩායම සමඟ අපේ කණ්ඩායම සතුටුදායක විදියට ක්‍රීඩා කළා. ඒ නිසා මොන ප්‍රශ්න තිබුණත් අපට අවසන් තරගයට සහභාගි වීමේ හැකියාවක් ඇතැයි යන විශ්වාසය ද ගොඩනැඟී තිබුණා.

● එහෙනම් වැරදුනේ කොතනදිද?

ආසියානු තරගාවලියට සහභාගි වෙන්න හොංකොං රටට ගොස් සිටියදීත් කණ්ඩායම තුළ තිබුණු අභ්‍යන්තර ගැටුම් එලෙසම පැවතුණා. එම ප්‍රශ්න විසඳීමට පුහුණුකාරියට කිසිම උවමනාවක් තිබෙන බවක් දක්නට ලැබුණේ නෑ. ඒ නිසා හොංකොං පිල සමග පැවැති පළමු තරගයේදීම අපට ජයග්‍රහණයක් වාර්තා කරන්න බැරිව ගියා. අපට අවසන් තරගයට සහභාගි වීමට නොහැකි වීමට ඒත් තරගයේ ප්‍රතිඵලය තදින්ම බලපෑවා.

● දම්මි ක්‍රීඩිකාවක්. ඒ නිසා දිනන පරදින එක සාමාන්‍ය දෙයක් කියලා දැනුනේ නැද්ද?

ඇත්ත දිනන පරදින එක නම් සාමාන්‍ය දෙයක් තමයි. නමුත් මේ තරගය පැරදුනේ නොසැලකිල්ල නිසාමයි. එක වෙලාවකදී මට හිතුණා හිතල ම පැරදුනා දෝ කියලත්. අපේ ක්‍රීඩිකාවෝ එදා තරග වැදුණු ආකාරය ඒ තරම්ම දුර්වලයි.

● හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකාවන්නේ. ඒක නිසා ඔයාට ගිහින් පුහුණුකාරියට උපදෙස් දෙන්න අවස්ථාව තිබුණ නේද?

මම අවස්ථා කීපයකදීම උත්සාහ කළා. ඒ හැම අවස්ථාවකම එයා “මම ද කෝච් ඔයා ද කෝච්” යනුවෙන් පෙරළා ප්‍රශ්න කළා. ඉතින් ඊට වඩා මැදිහත්වීමක් කරන්න මට හැකියාවක් තිබුණේ නෑ.

● එහෙමනම් ඔයා කලකිරීමෙන් යුතුව සිදුවන අඩුපාඩු දිහා බලාගෙන ඉන්න ඇති?

ඔව් කණ්ඩායම බාර නිලධාරිනිය ලෙස මට ඊට වැඩි යමක් කරන්න ඉතිරි වෙලා තිබුණේ නෑ. ඒ ඒ ස්ථාන වලට සුදුසු ක්‍රීඩිකාවන් සිටියදී එම ස්ථානවලට නොගැලපෙන ක්‍රීඩිකාවන් යොදමින් ක්‍රීඩිකාවන්ගේ ද මොල අවුල් කළා. ඒ නිසා අපේ අසාර්ථකත්වයේ වගකීම බාරගත යුත්තේ පුහුණුකාරිය විසින් බව මම කියා සිටිනවා.

● එහෙමනම් ක්‍රීඩිකාවන්ගේ විනය ද හොඳටම පිරිහිලා ගිහින් තිබෙන්න ඇති.

තනි වචනයකින් පිළිතුරු දෙනවා නම් ඔව්. එක් අවස්ථාවක සම්මේලනයේ සභාපතිනිය අපේ ක්‍රීඩිකාවන් වෙත යමින් සිටියදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ඉතාමත් පහත් වචන පාවිච්චි කරමින් යමක් ප්‍රකාශ කර තිබුණා. එය සභාපතිතුමියට ම ඇසුණේ නැති නමුත් අදාළ ක්‍රීඩිකාව ආසන්නයේ සිටි මට හා කණ්ඩායමේ කළමනාකාරියට පැහැදිලිවම ඇසුණි. මෙම ක්‍රීඩිකාව නියෝජනය කරනු ලබන්නේ විනය පිළිබඳ තදින්ම සැලකිලිමත් වන රාජ්‍ය ආයතනයක්.

● ඔබ කියන ආකාරයට දැන් අපේ ක්‍රීඩිකාවන්ගේ විනය වනයක් වෙලා?

ඔව් ඇත්තෙන්ම. නමුත් ක්‍රීඩාවේ දියුණුවට විනය ඉතාම වැදගත්. ඒ නිසා මෙම තරගාවලිය තුළින් විනය විරෝධී ක්‍රියාවල නිරත වුණු ක්‍රීඩිකාවන්ගේ තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමට අපි පියවර ගන්නවා.

● ඔබ කොපමණ කාලයක් ශ්‍රී ලංකා පිල නියෝජනය කරලා තිබෙනවද?

මම අවුරුදු දාහතරක් පමණ ශ්‍රී ලංකා පිළ නියෝජනය කළා. නායකත්වයක් දැරුවා. නමුත් මා කණ්ඩායමට එකතු වූ මුල් අවධියේ අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ගෙන් අපට ලැබුණේ පුදුමාකාර ආදරයක් සංග්‍රහයක්. ඒ වගේමයි ඒ කාලෙ හිටි පුහුණු කාරියනුත්. ඔවුන් අපිව එයාලගෙම දරුවෝ වගේ රැක බලා ගත්තා. නිරවුල් මනසකින් තරග කරන්න නම් එවන් වටපිටාවක් තිබිය යුතුමයි.

වර්තමාන සභාපතිතුමිය නිතරම කියපු දෙයක් තමයි තමන්ගේ සේවා කාලය අවසන් කරන්නේ තරුණ කණ්ඩායමකට භාර දීලයි කියලා. එහෙමනම් ඉතින් දම්මි ඔයා ඒ බැටන් එක ගන්න ලෑස්තිද?

ඒ ගැන හිතන්න තව කල් තියෙනවා. කාලය ආවම අපි ඒ ගැන කතා කරමු.

සුසිල් ජයකොඩි