2026 අගෝස්තු මස 23 වැනිදා ඉරිදා ඒ මධුර ස්වරය නැවත අපට සජීවීව ඇසෙන්නේ නැත. හෙළයේ රන් ස්වරය, ජාතියේ යශෝරාවය නන්දා මාලිනී පසුගිය 20 වැනිදා සිය දිවිසැරිය නිමා කරන්නේ සිහල ගීත ක්‍ෂේත්‍රයෙහි කිසිදා පිරවිය නොහැකි අඩුවක් තබමිනි. නන්දා මාලිනිය යනු මාධුර්්‍යය සපිරි ගීතයක ශ්‍රී ලාංකේය මුද්…
2026 අගෝස්තු මස 23 වැනිදා ඉරිදා
ඒ මධුර ස්වරය නැවත අපට සජීවීව ඇසෙන්නේ නැත. හෙළයේ රන් ස්වරය, ජාතියේ යශෝරාවය නන්දා මාලිනී පසුගිය 20 වැනිදා සිය දිවිසැරිය නිමා කරන්නේ සිහල ගීත ක්‍ෂේත්‍රයෙහි කිසිදා පිරවිය නොහැකි අඩුවක් තබමිනි.
නන්දා මාලිනිය යනු මාධුර්්‍යය සපිරි ගීතයක ශ්‍රී ලාංකේය මුද්‍රාවය. ඇය ප්‍රේමයෙහි විරහවෙහි, මනුෂ්‍යත්වයේ සුන්දර බව සිය කටහඬින් ස්පර්ශ කළ රසික දන හට බෙදුවාය. එතෙකුදු නොනැවතී ජීවිතයෙහි අඳුරුතම පැතිකඩ මෙන්ම සමාජ අසාධාරණය, දේශපාලනය මර්දනය, රටේ බිම් මට්ටමේ මිනිසුන්ගේ දුක වේදනාව ද සිය ගායනයෙහි වස්තු විෂයය කරගත්තේය. එහෙයින්ම ඇයගේ ගීතයකට සවන්දීම යනු හුදු ජනප්‍රිය ගීත රස විඳීමට ඔබ්බෙහි වූ අර්ථාන්විත ප්‍රවේශයක් ලෙස සැලකිය හැක.
නන්දා මාලිනියගේ ජීවිතය ඉතා සුමට පසුබිමක සිට ආරම්භ වූවක් නොවේ. ඇය ගැයූ සමාජ යථාර්ථයන්ට සරිලන ජීවන පසුබිමක අත්දැකීම ඇයට තිබිණි. බිම් මට්ටමේ මිනිසා වෙනුවෙන් ඇය ගැයූ ගී එතරම්ම “රහ” වන්නට එය හේතු වූවාට සැක නැත.
1943 වර්ෂයේ අගෝස්තු 23 වැනිදාක, එනම් අද වැනි දවසක අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලක උපත ලැබූ නන්දා මාලිනිය සිය යෞවන වියෙහිදී කොළඹ කොටහේනේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූවාය. එම විද්‍යාලයේ ගුරුවරියකගේ මඟ පෙන්වීමෙන් එවක ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ ළමා මණ්ඩපයට ගීත ගායනය සඳහා යොමු විය. එහිදී “බුදු සාදු” ගීතය ගායනා කරන්නට ඇයට අවස්ථාව හිමි විය. 1961 වර්ෂයේ දී රන්මුතු දූව චිත්‍රපටය සඳහා නාරද දිසාසේකර හා එක්ව ගායනා කළ “ගලන ගඟකි ජීවිතේ” ගීතය ඇයගේ ගායන දිවියේ සාර්ථකම කඩඉම ලෙස හැඳින්විය හැක. රන්මුතු දූව චිත්‍රපටයේ හොඳම ගායනයට හිමි සම්මානය හිමිවීමෙන් අනතුරුව නන්දා මාලිනිය චිත්‍රපට විශාල ප්‍රමාණයක හොඳම ගායනය සඳහා හිමි සම්මානය හිමිකර ගත්තාය. ඒකපුද්ගල ප්‍රසංග සංස්කෘතිය ආරම්භය සනිටුහන් කළේ නන්දා මාලිනී ය. ඒ 1973 දී “ශ්‍රවණ ආරාධනා” ඒකපුද්ගල ප්‍රසංගයෙනි. පසු කලෙක සත්‍යයේ ගීතය, පවන, ශ්වේත රාත්‍රිය රටේ බොහෝ රසිකයන් ආශක්ත වූ ප්‍රසංග මාලාවක් බවට පත්විය. එම ප්‍රසංගයන්හි සුවිශේෂී බවක් සනිටුහන් කළේ ‘පවන’ ප්‍රසංගයයි. මහැදුරු සුනිල් ආරියරත්න සමග එක්ව පැවැත්වූ පවන ප්‍රසංගය 1980 දශකයේ අග භාගය වන විට රටේ ජනතාව හා බැඳුණු සංගීතමය උත්තේජනයක් බවට පත්ව තිබිණි. ඒ විරෝධතාකල්ප ගීත මර්දනයට ලක්වූ බොහෝ හුදී ජනයාගේ හදරැඳි ගී බවට පත්විය. සමාජ අසාධාරණයට, දේශපාලන මර්දනයට එරෙහිව නන්දා මාලිනිය එදා නැගූ හඬ වර්තමානයට ද වලංගුය. නන්දා මාලිනියගේ ගීතයෙහි සාධනීය ලක්‍ෂණ හඳුනා ගන්නා කවරෙකු වුවද ඇයගේ හඬ කෙරෙහි සිත් පහදවා ගනිති. ඇය කෙරෙහි වඩාත් පහන් සිත් ඇතිකර ගනිති.
එහෙත් මේ තත්ත්වයන් නිසාම නන්දා මාලිනියට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට හේතු විය.
ඉතාම මෑතදී පවා නන්දා මාලිනියගේ විරෝධාකල්ප ගීත පිළිබඳ ඉතාම නිසරු, නිග්‍රහාත්මක සමාජ මාධ්‍ය කතිකාවක් ගොඩනැඟෙමින් තිබිණි.
විරෝධාකල්ප ගීත (Protest songs) හෝ විමුක්ති ගී (Uberation Songs) යනු කුමක් දැයි යන්න ගැන උකුණු හිසක තරම් දෙයක් නොදන්නා නාම්බන් සහ නෑම්බියන් ජීවිතයේ සැඳෑසමය ගෙවමින් සිටි නන්දා මාලිනිය ඉලක්ක කර ඒ එල්ල කරන ලද අවලාද අතිශය පිළිකුල් සහගතය. නන්දා මාලිනියගේ පවන ප්‍රසංගය එවක නොව ආසන්න කාලයේ පවා පවතින සමාජ යථාර්ථය සමඟ බැඳී ඇති අයුරු ඒ කිසිවකුගේ නිරීක්‍ෂණයට හසුව නැත. සාහිත්‍ය කවි රසයෙන් පිරුණු පෙම් ගී විරහ ගී, ප්‍රශස්ති ගායනා නොව, අධිරාජ්‍ය ගැති පාලන තන්ත්‍ර හා අසාධාරණ රාජ්‍ය පාලනයට එරෙහිව ජනතාවාදී විමුක්ති ගී විරෝධාකල්ප ගී විටින් විට බිහිවීම ලොව පුරා දක්නට ලැබෙන ප්‍රවණතාවකි. නන්දා මාලිනියගේ එකී ගී සමුච්චය සර්වකාලීන ප්‍රවණතාවක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත.
නන්දා මාලිනි යනු ගායිකාවක ලෙස ලඝු කිරීමට වඩා වැඩි දෙයක් තිබේ. ඇය පරිපූර්ණ කලාකාරිනියකි. නන්දා මාලිනියගේ සමුගැන්ම තුළ තවත් සිතන්නට බොහෝ දේ ඉතිරිව තිබේ. එය සිහල සංස්කෘතික ප්‍රබෝධය සමග යාවී ඇති පරිපූර්ණ සිංහල නාද රූපයකි. සංගීතඥයකුට ඒ හඬ භාවිතයෙහි දැක්විය හැකි පෙළහර බොහෝය. එවැනි හඬක් නැවත ඉපදේද යන්න සැක සහිතය. එවැනි අනන්‍යතාවක් ද නැවත බිහිවන්නේ නැත.
නන්දා මාලිනිය පසුගිය 20 වැනිදා තෙක් ආ ගමන් මඟ ගැන කෙටි වචන පෙළකින් විස්තර කළ නොහේ. එය කියවා අවසන් කළ නොහැකි පොතකි. දශක හතකට ආසන්න කාලයක් තුළ මෙරට සමාජ දේශපාලනික අර්බුද හමුවේ කලාකාරිනියක ලෙස නන්දා මාලිනිය රැකගත් ඒ පෞරුෂත්වය ඇදහිය නොහැක්කේය.











