දහසක් ඉපදී මිය යන පොළොවේ මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි… දශක අටකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ යශෝරාවය වන් වූ අසම සම හඬ පෞරුෂයකින් හෙබි ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ නිසල දේහය ඊයේ (22 දා) සවස බොරැල්ල කනත්තේදී ජනතා සෝ සුසුම් මැද ආදාහනය කිරීමට නියමිතව තිබුණි. මෙරට ජන…

දහසක් ඉපදී මිය යන පොළොවේ මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි…

දශක අටකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ යශෝරාවය වන් වූ අසම සම හඬ පෞරුෂයකින් හෙබි ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ නිසල දේහය ඊයේ (22 දා) සවස බොරැල්ල කනත්තේදී ජනතා සෝ සුසුම් මැද ආදාහනය කිරීමට නියමිතව තිබුණි.

මෙරට ජන සමාජයේ රිද්මය හොඳින් හැඳින ගී ගැයූ ඇය සිංහල සංගීත ක්ෂේත්‍රයේ කිසිදා නොමැකෙන හඬක් අප වෙනුවෙන් මුසු කළාය.

ඉතා සරල දිවියක් ගත කළ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබුණේ ද ඉතා චාම් ලෙස වීම විශේෂත්වයකි. බොහෝ කලාකරුවන්, රසවතුන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වූහ.

1962 වසරේදී පමණ 13 හැවිරිදි දැරියකව සිටියදී මෙරට පළමු වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ චිත්‍රපටයට ගීතයක් ගයන්නට වරම් ලද ඇයගේ හඬ ගුවන් විදුලියේ ළමා මණ්ඩපය හරහා රටම වැළඳ ගත්ත මධුර ස්වරයක් බවට පත්වුණේ මෙරට ජන විඥානයේ කොටසක් බඳුවූ සෞන්දර්ය චාරිකාවක අග්‍රඵලය මුළුමහත් ජාතියටම තිළිණ කරමිනි. නාරද දිසාසේකරයන් හා ඩබ්ලිව්. ඩී. අමරදේවයන් දායක වූ එම සිනමා පටයේ නන්දා මාලිනිය ගැයූ ගලනි ගඟකි ජීවිතේ.. දයාලූ ලෝකයේ (නාරද දිසා සේකරයන් සමග) පාරමිතා බල පූජිත බුද්ධ දිවාකරයාණෝ… (අමරදේවයන් සමග) ගීතය ඇතුළු ඇය ගැයූ ගී ඇගේ මුල්ම සිනමා ගීත චාරිකාව බවට පත් විය. අලුත්ගමදී ජන්ම ලාභය ලද නන්දා මාලිනී අමා සහ වරුණි දියණියන් දෙදෙනකුගේ ආදරණීය මව වූවාය. ඇය ගැයූ ගීත ජනතාව අභිමුවට කැන්දූ ‘පවන’, ‘සත්‍යයේ ගීතය’, ‘ශ්වේත රාත්‍රිය’ වැනි ගී ප්‍රසංග තුළින් ඇය හුදෙක් තවදුරටත් ගායිකාවක නොව අප දිවි ගෙවන වත්මනෙහි සජීවී කොටසක් බවට ඇගේ හඬ අපේ ආත්මය හා වැළඳ ගත්තාය.

මියයන විට 82 වැනි වියේ පසුවූ නන්දා මාලිනිය ජාතියේ ශ්‍රේෂ්ඨතම ගායිකාව බවට පත්වුණේ ඇය රැකගත් අදීනත්වය ද තමන් කලාකාරියක වශයෙන් සිටිය යුතු ස්ථාවරය තුළ අභීතව සිය ආත්මය සංයමශීලීව හසුරුවා ගනිමිනි.

යුග පෙරළියක තරුණ හිත ‘පවන’ වින්දාහෙළ ගී යශෝරාවයෙ තොරණ බැන්දාගන අන්ධකාරයේ සඳ කිරණ නන්දාකප් සුවහසක් කල් රැඳෙයි එම හින්දා

අනුරාධ හිරිපිටියගේ