මත්ද්‍රව්‍ය ජාලයේ සමාජ පරිනාමය…. කවදාවත් රටට ගෙන්වනු ඇතැයි නොසිතූ සිරාන් බාසික් මේ වනවිට සිටින්නේ දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමිනි. කංජිපානිගේ ප්‍රධානම ගෝලයෙක් වන රත්මලානේ සයිමා ඇතුළු තිදෙනෙක් රටට ගෙනාවේ පසුගිය 10 වෙනිදාය. එතැන් සිට මේ දක්වා රතු වරෙන්තුකරුවන් සිව් දෙනෙක්…
මත්ද්‍රව්‍ය ජාලයේ සමාජ පරිනාමය….
කවදාවත් රටට ගෙන්වනු ඇතැයි නොසිතූ සිරාන් බාසික් මේ වනවිට සිටින්නේ දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමිනි. කංජිපානිගේ ප්‍රධානම ගෝලයෙක් වන රත්මලානේ සයිමා ඇතුළු තිදෙනෙක් රටට ගෙනාවේ පසුගිය 10 වෙනිදාය. එතැන් සිට මේ දක්වා රතු වරෙන්තුකරුවන් සිව් දෙනෙක් රටට කුදලාගෙන පැමිණ ඇත. සමිට්පුර චතූ එකෙකි. වනාතේ චතූ අනෙකාය. මේ අතර දැවැන්තම කම්පනය සිද්ධ වන්නේ සිරාන් බාසික් ලංකාවට ගෙන්වා ගැනීමත් සමගය.
අපට කියන්නට ඇත්තේ ඉදිරියේ දී මොකෙන් මොකක් සිදුවේ දැයි කිසිවකුට අනුමාන කරන්නට බැරි බවය. ලංකාවේ මත්කුඩු ජාවාරම හා බැඳුන පාතාලය මෙහෙයවන සිරාන් බාසික්ගේ දින 90ක රැඳවුම් නියෝගය අප නොහිතන පුද්ගලයන් ගේ බොකු රත් කර ඇති බව කිව යුතුය. ඒ අතර පොලිසියේ සුපිරි වීරයන්, ජනාදරයට පත් නළු නිළියන්, දේශපාලන ජනහිතකාමීන් පමණක් නොව බාසික්ගේ කුඩු සල්ලි වැළඳූ මහා සංඝරත්නය ද පෝලිමේ අනාවරණය වන්නට නියමිත බවට ඉඟි පහළ වෙමින් තිබේ.
මර්දනය කරන්නට ඇති මත්ද්‍රව්‍ය පාතාලය දැන් පෙනෙමින් ඇත්තේ සමස්ත සමාජ ශෝධන ක්‍රියාවලියකින් මෙපිට වැළැක්විය නොහැකි පිළිලයක් ලෙසිනි. බාසික් හෙළිකරමින් සිටින්නේ ඒ කතාවය.
අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පෙළ…
සිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම මෙරට බුද්ධි අංශ මගින් සිදු කළ එකක් නොවේ. එය ඩුබායි රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඇමෙරිකානු සී.අයි.ඒ. (CIA) සහ ජාත්‍යන්තර ආරක්ෂක ඒජන්සි එක්ව ක්‍රියාත්මක කළ මෙහෙයුමකි.
කෝටිපති ආයෝජකයෙක් ලෙස ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාර කරමින් සිටි බාසික් ඩුබායිහි අත්අඩංගුවට පත් වන්නේ ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල දර්ශන මෙන්ම ඉරානය හා පාකිස්තාන ත්‍රස්ත කණ්ඩායම් සමග පැවැත්වූ සබඳතා සහ නීති විරෝධී ගිනිඅවි ගනුදෙනු විමර්ශනය කිරීම සඳහාය. ජාත්‍යන්තර බලධාරීන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමෙන් පසුව, රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත 2026 අගෝස්තු 14 වැනිදා බාසික්ව මෙරටට භාර දුන්නේය.
දැනට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ සිටින බාසික්ගෙන් දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙමින් ඇත. ඔහුට එරෙහිව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, ගිනිඅවි හා තියුණු ආයුධ ළඟ තබා ගැනීම්, නීති විරෝධී රැස්වීම් පැවැත්වීම මෙන්ම 2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට සහ මෑතකදී බන්ධනාගාර තුළ සිදු වූ නොසන්සුන්තාවලට ඇති සම්බන්ධතාවන් පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ.
මේ වන විටත් කොළඹ මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේ ඔහු සතු හෝටල් 5ක් හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) මගින් ඔහුගේ සියලුම බැංකු ගිණුම් සහ දුරකථන වාර්තා සෝදිසි කිරීම ආරම්භ කර තිබේ. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මොහුගේ පුත්‍රයාගේ නමින් මිලදී ගෙන තිබූ දේපළ කිහිපයක් සඳහා ද මේ වන විටත් තහනම් නියෝග ලබාගෙන ඇත.
චෝදනා නැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු…..
ශිරාන් බාසික්, 2018 වසරේ සිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියේය. මෙරට මහාධිකරණයක ඔහුට එරෙහිව බරපතළ අධි චෝදනා ගොනු වී තිබුණේ නැත. පහළ අධිකරණවල පැවති විමර්ශන කිහිපයකින් නිදහස් වීමට බාසික්ට පහසුවෙන් හැකි විය. ඊට ප්‍රධාන හේතුව වූයේ එවකට පැවැති රජයන්හි පැවති දේශපාලන හා ආරක්ෂක අංශවල ඉහළම අනුග්‍රහය ය. ටොන් ගණනින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ආවද, මොහුට එරෙහිව චෝදනා ගොනු වී තිබුණේ මිලිග්‍රෑම් ගණනිනි. බාසික් නියම නාඩිය ඇල්ලීමට දැනගෙන සිටි සූක්ෂම පුද්ගලයෙක් වූයේය.
ඔහු ඊසි කෑෂ්වලට කුඩු කෑලි විකිණූ සෙප්පඩයෙක් නොවේ. ඉරානය සහ පාකිස්ථානය හරහා ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශය සහ අප්‍රිකානු කලාපයට ද මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කළ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකි. දේශබන්දුලා යුක්තිය නමින් මෙහෙයුම් කරමින් කුඩුවලට ඇබ්බැහි වූ අසරණ වින්දිතයන්ගෙන් හිර ගෙවල් පුරවන්නේ මෙවැනි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපෙමිනි.
සම්බන්ධතා ජාලය…
කොළඹ මැරීන් ඩ්‍රයිව්හි පිහිටි බාසික්ගේ සෝල්බීච් හෝටලය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගැනීමටත්, මත්පැන් බලපත්‍ර ලබාගැනීමටත් එකල සිටි ප්‍රබල දේශපාලනඥයන්ගේ සහ පොලිසිය භාරව සිටි අමාත්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන් සෘජුවම මැදිහත් වූ බව අනාවරණය වී තිබිණි. දේශබන්දු තෙන්නකෝන් නැමැති හිටපු වැඩබලන පොලිස්පති සිය තනතුර ස්ථිර කරගැනීමට අවශ්‍ය ප්‍රචාරක කටයුතු සහ රැස්වීම් පවත්වා ඇත්තේ ද සෝල්බීච් හෝටල් පරිශ්‍රයේදීය. පොලිස් ප්‍රධානියෙක් ඉල්ලූ මිලියන 250ක කප්පමක් නොගෙවීම නිසා එම හෝටලය කඩා දැමූ බවට එවකට චෝදනා එල්ල විය.
බාසික්ගේ මත්ද්‍රව්‍ය ජාලය සහ කළු සල්ලි සුදු කිරීමේ ක්‍රියාවලිය සමාජයේ ඉහළම ස්ථරයන් දක්වා විහිදී තිබිණි. මොහුගේ පුත්‍රයා වන නදීම් බාසික් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට පත්වන විට, එම නිවසේ ඊට පෙර පදිංචිව සිට ඇත්තේ මෙරට ප්‍රකට ආන්දෝලනාත්මක නිරූපිකාවකි. රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරමින් හිටි හැටියේ ප්‍රකෝටිපතියෙක් වූ මෙම නිරූපිකාව බාසික්ගේ කළු සල්ලි සුදු කළ පිල්ලියක් බව කියැවිණි. එම ක්‍රියාවලිය සඳහා නෛතික උපදෙස් ලබා දී ඇත්තේ හරක්කටාගෙන් කප්පම් ගත් බවට චෝදනා ලැබ හිරේ විලංගුවේ වැටී දැන් ඇප මත නිදහස්ව සිටින හිටපු අධිකරණ ඇමැතිවරයෙකුගේ පුතෙක් බව ද කියැවෙමින් ඇත.
බාසික්ගේ මුදල් විවිධ දේශපාලන පක්ෂ අරමුදල් වෙත ගලාගෙන ගොස් තිබිණි. මහා පරිමාණ සුබසාධන වැඩ සඳහා සැකසුන පදනම් හරහා එම කුඩු සල්ලි පන්සල් වෙත ද ගලා ගෙන ගියේය. ඇතැම් හිමිවරු බාසික්ගේ කුඩු සල්ලි වැළඳුවේ ඒ සමාජ අපරාධකරුවකුගේ අපරාධයකින් උත්පාදිත කුණු වුණ මුදල් බව දැන දැනමය. උන්වහන්සේලාටත් ඒවා වමාරන්නට සිදුවනු ඇතිදැයි නොදනිමු. එය සිංහල බෞද්ධ ආගමික උත්කර්ෂයට එල්ල කරන ප්‍රහාරයක් දක්වා අර්ථකථනය විය හැකි බැවිනි. බාසික්ගේ මත්කුඩු ජාලය පිළිබඳව කෙරෙන විමර්ශන ඒ තරම්ම සංකීර්ණ බව ලියා තැබිය යුතුව ඇත.
වීථි මට්ටමේ භීෂණය සහ සංවිධානාත්මක ලේ වැගිරීම්: ‘වනාතේ චතූ’….
ජාත්‍යන්තර මට්ටමේ ජාවාරම්කරුවන් දේශපාලන සහ ආරක්ෂක අංශවල ආරක්ෂාව ලබමින් සුපිරි ජීවිත ගත කරද්දී, මෙරට වීථි පුරා බිය සහ ත්‍රස්තවාදය වපුරනු ලැබුවේ ‘වනාතේ චතූ’ වැනි සංවිධානාත්මක අපරාධකරුවන් විසිනි. මත්ද්‍රව්‍ය ජාලයේ පහළම සහ දරුණුම ස්ථරය නියෝජනය කරන මොහු, මනුෂ්‍ය ඝාතන, වෙඩි තැබීම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සෘජුවම වගකිව යුතු ප්‍රධාන නියමුවෙකි.
වනාතේ චතූගේ අපරාධ ඉතිහාසය දෙස බැලීමේදී, කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි සිදුවූ දරුණුතම අපරාධ රැසක ඔහුගේ සෙවනැල්ල පැහැදිලිවම දර්ශනය වේ:
සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන සහ මෙහෙයවීම්
2022 නොවැම්බර් 28 වන දින මට්ටක්කුලිය මිලාන් හෝටලය ඉදිරිපිටදී මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් අර්ෂාත් නමැත්තා කපා කොටා ඝාතනය කිරීම, 2023 මැයි 15 දින බොරැල්ල සිරිසර උයනේදී තම්බිරාජා ප්‍රදීප් කුමාර් නමැත්තා කපා කොටා ඝාතනය කිරීම මෙහෙයවීම, මාලිගාවත්ත ප්‍රදේශයේදී තරුණයකු ඝාතනය කර කැලණි ගඟට දැමීම සහ කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම මොහුගේ ප්‍රධාන අපරාධ අතර වේ.
ගිනිඅවි භාවිතය සහ වෙඩි තැබීම්:
2024 පෙබරවාරි 19 වන දින බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේදී ‘වනාත බිම්සර’ නමැත්තාට පිස්තෝලයකින් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම, 2025 අගෝස්තු 22 දින බොරැල්ලේදී පියුමරගේ සංඛ කුමාර පෙරේරා ඉලක්ක කර ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම, 2026 ජනවාරි 01 වන දින නාරාහේන්පිටදී නිවසකට ඇතුළු වී සිදුකළ වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් දෙදෙනකු තුවාල ලැබීම සහ 2026 ජූලි 23 වන දින දෙමටගොඩදී ‘දිනෝජ්’ නොහොත් ‘ජිනෝ’ නමැත්තාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම මොහු විසින් මෙහෙයවන ලද වෙඩි තැබීම්ය.
පැහැරගැනීම් සහ කප්පම් ගැනීම්:
2025 අගෝස්තු 25 වන දින වැල්ලම්පිටිය අනෝරා හෝටලයේදී බාලක්‍රිෂ්ණන් චන්ද්‍රන් සහ බාලක්‍රිෂ්ණන් අරුන් නමැත්තන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීම මෙන්ම, 2025 නොවැම්බර් 14 දින මෝදරදී කප්පම් ඉල්ලීමේ ජාලයන්ට සහාය දක්වමින් පුද්ගලයකුට සහ ඔහුගේ 16 හැවිරිදි පුතුට පහරදී තුවාල සිදුකිරීම මොහුගේ මූලිකත්වයෙන් සිදුව ඇත.
මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී අවි ජාලය:
2019 වසරේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග අත්අඩංගුවට පත්ව ඇති මොහු, 2021 ජූනි 23 වන දින ගංජා ජාවාරමෙන් උපයන ලද රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් සමග අත්අඩංගුවට පත්විය. තවද, 2025 සැප්තැම්බර් 09 වන දින කොල්ලුපිටියේදී ඔ-56 ගිනි අවියක්, සජීවී උණ්ඩ 30ක් සහ තියුණු ආයුධයක් සමග අත්අඩංගුවට පත් සැකකරුවන් 05 දෙනා ක්‍රියාත්මක වී ඇත්තේ ද චතූගේ සෘජු උපදෙස් මත බව අනාවරණය වී ඇත.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි වනාතේ චතූ, මෙලෙස මෙරට වීථි පුරා ලේ වැගිරීම් සහ මත්ද්‍රව්‍ය ජාලය පාලනය කරමින් සිටියදී ජාත්‍යන්තර මෙහෙයුම් හරහා කොටුකර ගැනීමට හැකිවීම, මෙරට පාතාලයේ කොඳු නාරටිය බිඳහෙළීමට ලැබුණු ප්‍රබල පිටිවහලකි.
පාතාලය සහ රාජ්‍ය යන්ත්‍රණයේ බිඳවැටීම
සිරාන් බාසික් සහ වනාතේ චතූ වැනි අපරාධකරුවන්ගේ නැඟීසිටීම දෙස බලන විට පැහැදිලි වන්නේ, මෙරට මත්ද්‍රව්‍ය පාතාලය යනු හුදෙක් තනි තනි පුද්ගලයන්ගේ අපරාධ එකතුවක් නොව, සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම වෙළාගත් සංවිධානාත්මක පිළිලයක් බවය.
රටේ ආණ්ඩු වෙනස් වුවද රාජ්‍ය තන්ත්‍රය සහ පොලිස් පද්ධතිය තුළ පැරණි දූෂිත ජාලය තවදුරටත් සක්‍රීයව පවතින බව පෙනී යයි. නව ආණ්ඩුවක් යටතේ වුවද සමස්ත රාජ්‍ය යන්ත්‍රණය එක රැයකින් වෙනස් කළ නොහැකි අතර, පැරණි දූෂිත ක්‍රමවේදයන් තවමත් පොලිසිය තුළ ක්‍රියාත්මක වේ.
මත්ද්‍රව්‍ය පාතාලය මර්දනය කිරීම යනු හුදෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව, දේශපාලන අධිකාරිය, ආරක්ෂක අංශ, නීති පද්ධතිය සහ ආගමික සංස්ථා තුළ පැතිර ඇති මෙම දූෂිත සබඳතා ජාලය සම්පූර්ණයෙන්ම කපා දමන සුද්ධ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියකි. බාසික්ගේ සහ චතූගේ අනාවරණයන් මගින් පෙන්වා දෙන්නේ එම දැවැන්ත සමාජ ශෝධනයේ දැඩි අවශ්‍යතාවය ය.
ගයාන් සමරසිංහGayan982@gmail.com












