සොබාදහම රැකගැනීමේ අරගලය ගැන කතා කරන විට, බොහෝ විට අපි සිතන්නේ එය සිදුවන්නේ දුර බැහැර වනාන්තරවල, කඳු මුදුන්වල හෝ සාගර ගැඹුරේ කියලයි. නමුත් සැබෑ පාරිසරික ක්‍රියාකාරීත්වය (environmental activism) යනු පුද්ගලයෙකුගේ ජීවිතය, ඔහුගේ භූමිය, එහි ජීවත් වන ගස් වැල් සතුන් ඇතුළු ඔහුගේ ජනතාව වෙ…

සොබාදහම රැකගැනීමේ අරගලය ගැන කතා කරන විට, බොහෝ විට අපි සිතන්නේ එය සිදුවන්නේ දුර බැහැර වනාන්තරවල, කඳු මුදුන්වල හෝ සාගර ගැඹුරේ කියලයි. නමුත් සැබෑ පාරිසරික ක්‍රියාකාරීත්වය (environmental activism) යනු පුද්ගලයෙකුගේ ජීවිතය, ඔහුගේ භූමිය, එහි ජීවත් වන ගස් වැල් සතුන් ඇතුළු ඔහුගේ ජනතාව වෙනුවෙන් කරන අරගලයයි. ඉන්දියාවේ ලදාක් කලාපයේ (Ladakh) ගෞරවණීය පුරවැසියෙකු වන සෝනම් වන්චුක් (Sonam Wangchuk) එවැනි චරිතයක්. ඔහු ලොව පිළිගත් ඉංජිනේරුවෙක්, නව නිපැයුම්කරුවෙක්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදියෙක්, සහ වඩාත්ම වැදගත් ලෙස, ඔහු තම නිජබිමේ සහ එහි ස්වභාවික පරිසරයේ අනාගතය වෙනුවෙන් නොසැලෙන කැපවීමක් තිබෙන සමාජ-දේශපාලන සහ පරිසර ක්‍රියාකාරිකයෙක්.

මාද ඇතුළු බොහෝ දෙනෙක් සෝනම් වන්චුක්ව හඳුනා ගන්නේ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘ත්‍රී ඉඩියට්ස්’ (3 Idiots) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට මූලාශ්‍රය වූ අපූර්ව විද්‍යාඥයා ලෙසයි. නමුත් ඔහුගේ සැබෑ ජීවිතය චිත්‍රපටයට වඩා ගැඹුරුයි. ලදාක්හි උස් කඳුකරයේ උපන් ඔහු, එම ප්‍රදේශයේ අභියෝගාත්මක දේශගුණය සහ සම්පත් හිඟය තම සියැසින් දුටුවා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් එල්ල වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ඔහු කල්පනා කළා. ඔහු ඉංජිනේරුවකු ලෙස සරල හා තිරසාර විසඳුම් සෙවීමට පෙළඹුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශීත කාලයේ දියවන ‘අයිස් ස්තූප’ (ice stupas) නිර්මාණය කිරීම වැනි නව්‍ය තාක්ෂණයන් හරහා කඳුකර ප්‍රජාවන්ට ජලය සැපයීමේ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කළා. “අධ්‍යාපනය යනු මිහිතලය සුවපත් කිරීම සහ අප මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් සෙවීම පිළිබඳව විය යුතු බව මම විශ්වාස කරනවා” ඔහු වරෙක මාධ්‍යයට පවසා තිබුණා. නමුත් අර්බුදයට සැබෑ විසඳුම ඔහු දකින්නේ වෙනත් තැනකයි. “හිමාල කලාපයේ අපට ග්ලැසියර දියවී යෑමේ ගැටලුවට මුහුණ දීමට සිදුවූ අතර, ඒ නිසා අපටම කෘත්‍රිම ග්ලැසියර නිර්මාණය කිරීමට සිදු විය. නමුත් මම එය ආඩම්බර විය හැකි හෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස නොසලකමි. එය මූලික වශයෙන් සිදු කෙරුණේ මෙම පෘථිවිය තුළ අප විසින්ම ඇති කරගත් ගැටලුවලට අනුගත වීම සඳහා පමණි. සැබෑ විසඳුම් ඇත්තේ වෙනත් තැනකය. සමහරවිට ඉන්දියාව, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල මහා නගරවල වෙසෙන ජනතාවට එය විසඳිය හැකි වනු ඇත” මේ ඔහුගේ වදන්.

සෝනම් වන්චුක්ගේ පාරිසරික භූමිකාව හුදෙක් ගස් සිටුවීම හෝ ජලය ඉතිරි කිරීමෙන් ඔබ්බට විහිද යනවා. ඔහුගේ අරගලයේ හරය වන්නේ ජනතාවගේ ජීවනෝපාය සහ ස්වභාවික පරිසරය අතර සමතුලිතතාවය සොයා ගැනීම. ලදාක්හි ජනතාවගේ ඉල්ලීම්, විශේෂයෙන්ම ඔවුන්ගේ ඉඩම් සහ සම්පත් සම්බන්ධයෙන් වැඩි පාලනයක් ඉල්ලා සිටින ‘හයවන උපලේඛන තත්ත්වය’ (Sixth Schedule status) වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ ඉල්ලීම්, ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමේ අරගලයේම කොටසක් බවට පත්ව තිබෙනවා. මන්ද යත්, ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඔවුන්ගේ වනාන්තර, ජල මූලාශ්‍ර සහ කඳුකරය පාලනය කිරීමේ බලය නොමැති විට, එම සම්පත් බාහිර ආයතන විසින් සූරා කෑමට ඉඩ තිබෙන බව ඔහු හඳුනාගෙන තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ අපටද පොදු අත්දැකීමක් වන ගෝලීය පාරිසරික අර්බුදයේ මූලික ගැටලුවක් ස්පර්ශ කරනවා. බොහෝ විට, පරිසරය විනාශ කරන තීරණ ගනු ලබන්නේ එම පරිසරය මත ජීවත් වන ජනතාවගෙන් ඈත්ව, දේශපාලන හා ආර්ථික අගනුවරවලයි! වන්චුක් මෙම තත්ත්වයට අභියෝග කරන්නේ හිමාල ජනතාවගේ හඬ දිල්ලි ජාතික අගනුවර වෙත පමණක් නොව ගෝලීය වේදිකාව දක්වා ගෙන යමින්. ඔහුගේ උපවාස ව්‍යාපාර (hunger strikes) සහ සංවිධානාත්මක ජනතා විරෝධතා, අවධානය යොමු කරන්නේ ලදාක්හි ස්වාධීනත්වය පමණක් නොව, එම ප්‍රදේශයේ පාරිසරික පැවැත්ම අනතුරේ හෙළීම ප්‍රශ්න කිරීම වෙනුවෙන්.

මේ වනවිට වන්චුක් නැවතත් පුවත් මාතෘකාවට පත් වූයේ, ඉන්දියාවේ විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් විරෝධය පෑම සඳහා දින 26ක උපවාසයක් (hunger strike) ආරම්භ කළ නිසාවෙනි. මෙම ක්‍රියාව ඔහු තම අරමුණ වෙනුවෙන් වන අසාමාන්‍ය කැපවීම පෙන්නුම් කරනවා. බොහෝ දෙනෙක්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහීම හේතුවෙන් උපවාසය අවසන් කරන ලෙස ඉල්ලා සිටියද, තම අරමුණ වෙනුවෙන් නොසැලී සිටියා. අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඔහුගේ දැක්ම වඩා පුළුල් එකක්. “අධ්‍යාපනය සේවකයන් බිහිකිරීම පමණක් නොකළ යුතුයි, එය විඥානශීලී, දයානුකම්පිත සහ හැකියාවෙන් යුත් මිනිසුන් බිහි කළ යුතුයි” ඔහු කියනවා. අවසානයේ රජය ඔහුව බලහත්කාරයෙන් රෝහල වෙත රැගෙන ගිය බව මාධ්‍ය වර්තා කළා. ඔහුගේ මෙම උත්සාහය ඉන්දියාවේ තරුණ පරපුර සහ විපක්ෂ නායකයන් අතර පුළුල් සහයෝගයක් දිනා ගත් අතර, අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලියක් හරහා ගැටලුව විසඳන බවට පොරොන්දු වීමෙන් පසුව ඔහු උපවාසය අවසන් කළා.

මෙය පාරිසරික ක්‍රියාකාරීත්වයේ නව මුහුණුවරක් බව කිව යුතුයි. එය හුදෙක් පරිසරය වෙනුවෙන් පෙනී සිටීම පමණක් නොව, එම පරිසරය මත යැපෙන ප්‍රජාවන්ගේ පැවැත්ම, අධ්‍යාපනය, සහ පාලනය වෙනුවෙන් ද පෙනී සිටීමක්. සෝනම් වන්චුක් අපට පෙන්වා දෙන්නේ සැබෑ තිරසාරභාවය ළඟා කර ගත හැක්කේ, මිනිසුන්ට සහ ස්වභාවධර්මයට එකට වර්ධනය විය හැකි සාධාරණ පද්ධති නිර්මාණය කිරීමෙන් පමණක් බවයි. ඔහුගේ ගමන, හිමාලයේ ශීතල කඳු මුදුන්වල සිට දිල්ලියේ කාර්යබහුල වීදි දක්වා විහිදෙන අතර, එය එක් මිනිසෙකුගේ උනන්දුව සහ කැපවීම තුළින් ජාතියක අවධානය වෙනස් කළ හැකි ආකාරය පිළිබඳ ප්‍රබල මතක් කිරීමකි. ඔහුගේ පැවැත්මේ ආලෝකය තව බොහෝ මාවත් හෙළි කරනවාට සැකයක් නැහැ. මේ ලිපිය ඔහු අධ්‍යාපනය, දරුවන් සහ මිහිතලයේ අනාගතය ගැන කියන මේ ප්‍රකාශයත් සමග අවසන් කරන්නම්, “අපගේ දරුවන් සහ යෞවනයන් පන්ති කාමර තුළ හුදෙක් සවන් දෙන්නන් ලෙස රඳවා තබා ගැනීම මට අමුතු දෙයක් ලෙස පෙනේ. මීට පෙර අධ්‍යාපනය යනු වෘත්තියක් සහ ජීවනෝපායක් සඳහා වූ දෙයක් විය. නමුත් දැන්, පෘථිවිය මුහුණ දී සිටින අර්බුදය විසඳීම සඳහා අධ්‍යාපනය ඉහළ මට්ටමකට පැමිණිය යුතු අතර, මෙම ග්‍රහලෝකය බේරා ගැනීම පිණිස ජාතීන් විසින් දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත”.

ශ්‍රී ලංකාවේ අප හිමාලයේ වංචුක් ගේ දැක්මට කොපමණ දුරස්ථ ද?

මංජුල කරුණාරත්නසංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය,රුහුණ විශ්වවිද්‍යාලය,මාතර.