පොඩි එකාට ඇහැ ඇරෙන්නට කලියෙන් නාන කාමරයට රිංගා ඇඟ පත සෝදා ගත යුතු යැයි සිතූ කාන්ති මදුරුදැල අතරින් රිංගා පොළවට පය තැබුවාය. පොළවේ සීතල පයට දැනෙත්ම කොහේදෝ සිට ‘චුක් චුක්’ ගෑ හූනෙකු ගේ හඬින් කාන්ති ගල් ගැසුණාය. ශාන්ත මුදලාලිගේ ‘ශාන්ත හෝටලය’ උඩ තට්ටුවේ ගෙස්ට් හවුස් එක වැඩ පටන් ගන්නේ…

පොඩි එකාට ඇහැ ඇරෙන්නට කලියෙන් නාන කාමරයට රිංගා ඇඟ පත සෝදා ගත යුතු යැයි සිතූ කාන්ති මදුරුදැල අතරින් රිංගා පොළවට පය තැබුවාය.

පොළවේ සීතල පයට දැනෙත්ම කොහේදෝ සිට ‘චුක් චුක්’ ගෑ හූනෙකු ගේ හඬින් කාන්ති ගල් ගැසුණාය.

ශාන්ත මුදලාලිගේ ‘ශාන්ත හෝටලය’ උඩ තට්ටුවේ ගෙස්ට් හවුස් එක වැඩ පටන් ගන්නේ අදය.

මුදලාලි ඊයේ කාන්තිට පැවසුවේ උදෙන්ම එහි යන ලෙසය.

ඒ අනුව කාන්ති මේ උදෙන්ම පිටත් වන්නට සැරසෙන්නේ අද දිනයේ හාපුරා කියා වැඩ අරඹන එම ගෙස්ට් හවුසියේ පාලිකාව ලෙස වැඩ බාර ගැනීමට යෑමටය.

එහෙත් සිවිලිමක් නැති ඇගේ නිවසේ දහයයි දහය කාමරයේ මදුරු දැල එල්ලූ පොල් ලී බාල්කයේ සිටි හූනා නිදි ඇඳෙන් බසිද්දීම කාන්තිට ‘චුක් චුක්’ හඬින් සංඥා කරන්නේ තමාගේ අලුත් රැකියාවේ කිසියම් පරහක් ඇතිවන බවද?

“මේ වගේ කාමර දෙන තැන්වලට පිරිමි මැනේජර්ලා සෙට් නෑ… නිතර අනවශ්‍ය කුණු ගොඩවල් පටල ගන්නවලු…”

“අනේ මන්දා මුදලාලි… ඉතින් මං ඔය තරමටම ඔය වැඩේට ගැලපෙනවයැ?..”

“අඩව් අල්ලලා පළපුරුදු කෙනෙක් එපායැ කාන්ති තොවිලෙක අත් උදව්වට ගන්න එහෙම නේද…?

ඉදුනු ඇහිබැම හකුළුවා මුදලාලි ඇසක් ඉඟි මැරුවේය.

“මොකද්ද මුදලාලි ඒ කතාව… ඇනුම් පදයක් නේද? මං පළපුරුද්දක් ලැබුව නම් ඒ ශාන්ත මුදලාලි එක්කම විතරනේ.. මොකෝ අතින් අත ගියා කියලයැ.

මගේ උන්දැ නැතිවෙලා තුන්මාසෙ යන්නත් කලින් උණු උණුවෙම මං ශාන්ත මුදලාලි ගාවට නේ ආවේ… ඉතින් එහෙම එකේ ඇයි මුදලාලි මට නක්කලේට වගේ පළපුරුදු කතාවක් කීවේ….?”

“අනේ කාන්ති මේ…. පිස්සු නොකෙළා හිටහන් බං. විස්වාසවන්ත හොඳ මෝරපු ගෑනු කෙනෙක් මැනේජර් වැඩේට ගත්තාම කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගෙස්ට් හවුස් කර්මාන්තෙ ඕනෑ අතකට නවන්න පුළුවන්ය කියලා තමයි මට මගේ මිත්‍රයො උපදෙස් දුන්නේ.

ඉතින් ඒ කියනකොටම මගේ ඔළුවට ආවේ වෙන කවුද ඉතින් කාන්තිම මිසක්..”

“අනේ මංදා.. මුදලාලි කියනවා.. මං අහනවා..”

“අනික බං.. මං ඇඟපත හයිය හත්තිය තියෙන කාලේ උඹලාගෙන් පල ප්‍රයෝජන අරගෙන බොලාගෙ හම පොත්ත බුරුල් වෙනකොට පස්ස පැත්තට පයින් ගහලා පන්නා දැම්මේ නෑනේ.

අදත් මම මේ හදන්නේ ඒ ගෙස්ට් එකේ පාලනේ සම්පූර්ණයෙන්ම උඹට බාර දෙන්න නේ කාන්ති… ඉතින් අන්න ඒකට, වැඩේ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක්ම ඕනෑ කියන එකයි මං ඒ පළපුරුදු කථාවෙන් කීවේ…”

“ඒක මිසක්.. මට ඉතින් ඒ වගේ වැඩ කියා දුන්නෙත්, ඒ වගේ තැන්වලට එක්කං ගියෙත් මුදලාලිම ඇරෙන්න වෙන කවුද ඉතින්.”

“හරි හරි බං. දැන් අපි බහිමු කාරණාවට. ඉතින් මං කලින් කියාපු විදියටයි වැඩේ වෙන්න ඕනෑ.

ජෝඩුවක් කාමරයක් ගන්න ආපු හැටියෙම දෙන්නාගෙම අයිඩෙන්ටි කාඩ් ඉල්ලගෙන වයස දහ අටට වැඩිද බලන්න ඕනෑ… ඉන් පස්සේ සී. ආර්. පොතේ නම ගම ආපු වෙලාව ලියාගෙන ඉස්සර වෙලාම කාමර බිල කඩලා අතට සල්ලි ගන්න ඕනෑ. තේරුණාද?…”

ඒ වගේම මට තව කාරණාවක් කියන්න බැරි වුණා. මං එතනට කාන්තිගේ උදව්වට ඩල්සි කියලා ටිකක් ළාබාල පෙනුම තියෙන තවත් කෙල්ලෙකුත් වැඩට ගත්තා. ඒකිත් ගින්දර වගේ. ඕනම දේකට රෙඩි..”

“කවුද?.. ඩල්සි..?.”

“ඔව්… ඔව් බං.. ටිකක් ඉංග්‍රීසියෙන් ටෝක් කරන්න පුළුවන් කෑල්ලකුත් උඹේ සහයට එපායැ..”

කාන්ති මුහුණ කට දොවාගෙන විත් අලුතින්ම මිලට ගත් ඩෙනිම් කලිසමෙන් සැරසී වෙනදාටත් වඩා උනන්දුවෙන් කැඩපතින් හැඩ බලන්නට වූයේ අද සිට බාර ගන්නා අලුත් රැකියාවේ නව තනතුරට තමා වයසක වැඩිදෝ යි ඇතුළු සිතින් කම්පා වෙමිනි.

කපලාරු නොකළ නම රියන් රටඋළු නිවසේ ඇය සමගම එකම කාමරයේ නිදා ගන්නා හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාන්තිගේ එකම පුත්‍රයා ද නින්දෙන් පිබිදී මදුරු දැල අකුලන අතරේ තම මව දෙස හෙලුවේ විමතිය මුසු බැල්මකි.

“අම්මේ… මම ඊයේ රෑ අපේ තාත්තාව හීනෙක් දැක්කා… සුදු පාට සරමක් ඇඳන් කමීසෙකුත් නැතුව ඇවිත් තාත්තා අම්මාට හොඳටම බැන්නා… එතකොට අම්මා ඇඬුවා…”

කණ්ණාඩියෙන් හැඩ බලමින් සිටි කාන්ති පුත්‍රයාගේ වදනින් ගල් ගැසුණාය.

මිය ගියදා පටන් තවමත් එකම දිනයකවත් සිහිනෙන් නොදුටු සිය සැමියා මීට පෙර තම පුත්‍රයාට මෙලෙස සිහිනෙන් පෙනී තිබුණේ ඔහු ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට පෙර දිනයේය.

එහෙත් එදින තම පුත්‍රයා සිහිනෙන් දැක තිබුණේ සිය පියා සිනාසෙමින් ගේට්ටුව විවර කරගෙන ගෙට ගොඩවෙන දසුනක් නොවේද?

ඊයේ රාත්‍රියේ තම පුත්‍රයාට තාත්තා සිහිනෙන් පෙනෙන්නට ඇත්තේ අද දින තමා මෙම අලුත් රැකියාවේ වැඩ භාර ගන්නා තීරණාත්මක පියවර තබනා නිසාද?

එහෙත් පුත්‍රයා ඊයේ සිහිනෙන් දැක තිබුණේ පියා තම මවට බැණ අඬ ගසමින් දොස් නගනා දසුනකි.

ඉන් කියැවෙන්නේ කුමක් ද?

මෙම රැකියාව තමාටත් එකම දරුවාටත් හානියක් සිදුකරනා බවද?

උදෑසන නිදි ඇඳෙන් බිමට බසිද්දී යටලීයේ සිට චුක්… චුක්… හඬින් හූනකු සංඥා කළේද එම අනතුරු හැඟවීම ම ද?

කාන්ති දිගු සුසුමක් මුවින් පිට කළාය.

“අම්මා අද නේද අර මුදලාලිගේ කඩේ වැඩට යන්නේ…”

“ඔව් පුතේ ඔයත් පන්ති යන්න ඉක්මනට ලෑස්ති වෙන්න..”

“අනේ මංදා.. අම්මගෙ ඔය අලුත් රස්සාවට තාත්තා කැමති නැතුවද දන්නෑ. තාත්තා අම්මට බනිනවා හීනෙන් දැක්කේ.”

පුත්‍රයාගේ වදනින් කාන්තිගේ දෙපා වාරු නැති වෙන්නට ගියේය.

“අනේ මගේ පුතේ… ඒත්… ඉතින් මමත් යහමින් කීයක් හරි හම්බ නොකර හැමදාමත් අපිට මෙහෙම ජීවත් වෙන්න බෑනේ පුතේ…”

කාන්ති බසයෙන් බැස පය ඉක්මන් කළාය.

ශාන්ත මුදලාලිගේ බත් කඩ හෝටලයේ උඩ තට්ටුවේ මීට කලින් තිබුණේ මොකක් දැයි හිතා ගන්නටවත් බැරි තරමට ලස්සනය.

ඇය එහි ආලින්දයේ එහාටත් මෙහාටත් ඇවිද ගියේ ආසාවේ බැරුවය.

“මුදලාලි මහත්තයෝ මේං මං ආවා…”

උරහිසෙන් තම අත් බෑගය පන්නමින් ගෙස්ට් හවුසියට ඇතුළු වෙමින් කාන්ති උස් හඬින් කීවේ හුරතල් හඬිනි.

“ආ ඔයාද බොස්ගෙ අර පරණ කැච් එක…?”

කාන්ති තිගැස්සුණාය.

“මට මුදලාලි සේරම ස්ටෝරිය කියලයි තියෙන්නේ…. අනික ශාන්ත මුදලාලි කියන්නේ මේ ආයතනයේ ජී. එම්. ඉතින් එයා මෙහෙ එන්නෑ.. මමයි මෙහේ ඉන්චාජ්… අයෑම් ඩල්සි…”

කාන්තිගේ තොල කට වියැළී ගියේ නිමේෂයකිනි.

“හරි ඉතින්… එග්සයිට් වෙන්න එපා… අපි සහයෝගයෙන් වැඩටික කරන් යමු. හැබැයි මං හිතුවේ ඔයා මීට වඩා “යංග්” කෙනෙක් වෙන්න ඇති කියලා.

ඉතින් ජී. එම්. සර් මට දීපු ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව මගේ ජොබ්රෝල් එක තමයි මෙතන සියලුම දේ මැනේජ් කරන එක.

ඔයාට තියෙන්නේ කපල් එකක් ආවාම රූම් එකේ යතුර දෙන එකයි, පිට වෙලා ගියාම රූම් එක අතුපතු ගාලා ඩස්ට් බින් ක්ලීන් කරලා බෙඩ් ෂීට් ටික හදලා එයාර් ෆ්‍රෙෂ්නර් ටිකක් ගහලා කාමරවල හවුස් කීපින් පැත්ත බලන එක විතරයි හරිද?

ඊට පස්සේ ඉතින්… සේල්ස් ඩිවලප් උනාට පස්සේ පිටින් තව ගර්ස්ලාව අරන් නතර කරගෙන ‘මසාජ් ස්පා’ එකකට යන්න වගේ තමයි සර්ගේ ෆියුචර් ප්ලෑන් එක… ඉතින් ඔයාට තමයි ඒ සේරම බලා කියා ගන්න වෙන්නේ…

බොස් ඊයේ මට කෝල් කරලා කීවා ස්පෙෂලි ඔයාට ඔය ටික කියන්න කියලා…

එහෙනම් මෙන්න කොස්ස… ඉස්සර වෙලාම රූම්ස් ටික අතුගාලා ඉමු.

ඊට කලින් අනේ අර බුදුසාදුගේ පහන පත්තු කරලා ඉන්න. මොකද ඔයා බුඩිස්ට් නේ.”

ලේ රතු තොල් ආලේපනයක් දෙතොලෙහි උලා, ස්ට්‍රේට් හිසකේ වනා දමා, ඇඟටම හිරවූ අත් නැති කොට ගවුමක් හැඳ කළමනාකරු අසුනේ සිට තමාට උපදෙස් දෙන මේ ගිනි කිකිළිය කවුරුන්ද?

කාන්තිට ඉකි බිඳුණාය.

රන්ජන් ගාමිණී ජයවර්ධන