පරම්පරාවක් වනසන ක්ෂණික ආහාර…. දැන් දැන් හැම දේම ක්ෂණිකය. මෙලොව සත්වයෙකු වන මිනිසාගේ මිනිස් සිරුර සොබාදහමට අනුගතව හැඩ ගැසී ඇත්තේ ඒ ඒ අවයවයන්හි ක්‍රියාකාරීත්වය මත නිරෝගී භාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා වෙමින් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමටය. එහෙත් වසරෙන් වසර මේ ලොවට බිහිවන නව මිනිස…

පරම්පරාවක් වනසන ක්ෂණික ආහාර….

දැන් දැන් හැම දේම ක්ෂණිකය. මෙලොව සත්වයෙකු වන මිනිසාගේ මිනිස් සිරුර සොබාදහමට අනුගතව හැඩ ගැසී ඇත්තේ ඒ ඒ අවයවයන්හි ක්‍රියාකාරීත්වය මත නිරෝගී භාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා වෙමින් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමටය.

එහෙත් වසරෙන් වසර මේ ලොවට බිහිවන නව මිනිස් ජීවීන් හෙවත් දරුවන්, සොයා යන්නේ කඩිනම් විසඳුම් ය. මිනිස් මූලික අවශ්‍යතාවයන් වන ආහාර ඇඳුම් පැළඳුම් නිවාස ආදියෙහි සිට සිතුම් පැතුම්, හැඟීම්, අවබෝධය, බුද්ධි මට්ටම් එකිනෙකා අතර සම්බන්ධතා ඇතුළු සමස්තය කෙරෙහිම කඩිනම් විසඳුම් සොයන්නට තරුණ පරපුර සමත්ය.

ඒ අතරින් මිනිස් ජීවිතවල අනාගත පැවැත්මට ඍජුව බලපාන කාරණයකි ආහාරපාන. පෝෂ්‍යදායී ආහාර වෙනුවට දිව රස කරන ක්ෂණික ආහාරවලින් මිනිසාගේ පැවැත්මට සෘජු බලපෑම් එල්ල කරන බව අවබෝධ කරගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද? මෙය රට පුරා පමණක් නොව ලොව පුරා ප්‍රචලිත දරුණු ගණයේ ගැටලුවක් ලෙස පැතිර යද්දී, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ද අවධානයක් යොමු කර ඇති බවක් දක්නට ලැබිණි.

තරුණ තරුණියන් කෘත්‍රිම ආහාරවලට වැඩිපුර නැඹුරුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අය බඩවැල් ආශ්‍රිත රෝගවලට ගොදුරුවීමේ විශාල ප්‍රවණතාවක් මතුව ඇතැයි ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා අවධාරණය කළේ එහෙයින් විය යුතුය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කරමින් විශේෂඥ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියා සිටියේ, එළවළු, පලතුරු, කොළ වර්ග ධාන්‍ය හා තත්තුමය ආහාර භාවිතය අඩුවී ඇති බවය.

විශේෂඥ වෛද්‍යවරයා මෙම තත්ත්වය සම්බන්ධයෙන් මෙසේද කීය.

“බොහෝ තරුණ තරුණියන් ක්ෂණික ආහාර පාන ගැනීමට පෙළඹී සිටින නිසා ඔවුන් අතර බඩවැල් ආශ්‍රිත රෝග වැඩි වී තිබෙනවා. ආහාර මෙන්ම ලබාගන්නා ඖෂධ හේතුවෙන්ද බඩවැල් ආශ්‍රිත රෝග ඇතිවනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය තිබේ නම් ඔහුට හෝ ඇයට නිතර නිතර වැසිකිළි යෑමට සිදුවනවා.

යම් අයකුට හදිසියේම වැසිකිළි යෑමේ තත්ත්වයේ යම් වෙනසක් වන්නේ නම් සති කිහිපයක් තිස්සේ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. මලබද්ධයත් බඩවැල් ආශ්‍රිත රෝගි තත්ත්වයට හේතුවිය හැකියි.

ඔහුගේ මෙම ප්‍රකාශයන් සමගම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීම වටී.

මොනවද මේ ක්ෂණික කෑම

ක්ෂණික කෑම (Fast Foods / Junk Foods) යනු ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිලදී ගැනීමට හෝ සකසා ගැනීමට හැකි, අධික තෙල්, ලුණු, සීනි සහ කැලරි අඩංගු ආහාර වර්ග වේ. ප්‍රධාන ක්ෂණික ආහාර වර්ග බර්ගර් සහ හොට්ඩොග් (Burgers and Hot dogs) පීට්සා (Pizza) ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් (French fries) ක්ෂණික නූඩ්ල්ස් (Instant noodles) කාබනික බීම සහ පැණි බීම (Soft drinks) ආදියය.

තවද, ගැඹුරු තෙලේ බදින ලද ආහාර සහ භාවිත කළ තෙල් යළි භාවිතයෙන්, සකසන ලද ආහාර ආමාෂගත රෝග තත්ත්වයන් ඉස්මතු කිරීමට බෙහෙවින් උපකාරී වේ.

සෞඛ්‍යයට බලපෑම

ශරීරයේ බර වැඩිවීම, අධික කැලරි ප්‍රමාණය නිසා ස්ථුලතාවය ඇති වේ. ඒ අනුව නොයෙකුත් නිධන්ගත රෝග වන දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග ඇති වීමට ඇති ඉඩකඩ වැඩි කරයි.

පෝෂණ ඌනතා ඇති වේ. මන්ද ක්ෂණික ආහාරවල ශරීරයට අවශ්‍ය සැබෑ පෝෂ්‍ය පදාර්ථ අඩංගු නොවන නිසා ය.

අධික මේදය, ලුණු, සීනි සහ රසායනික ආකලන සහිත ක්ෂණික ආහාර නිතර පරිභෝජනය කිරීම තරුණ ප්‍රජාව අතර තරබාරුකම, දියවැඩියාව සහ හෘද රෝග වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට මුල් වන්නේ ඒ නිසාය.

අහිතකර ක්ෂණික ආහාර

බර්ගර් වර්ග සහ පීට්සා (Burgers & Pizza): අධික මේද ප්‍රමාණයෙන් හා කැලරිවලින් යුක්ත වීම නිසා සිරුරේ බර ඉක්මනින් වැඩි කරයි. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ ගැඹුරේ තෙලේ බදින ලද ආහාර (French Fries): නරක් වූ තෙල් යළි භාවිතයෙන් සෑදෙන මේද නිසා රුධිර නාළ අවහිරතා හා හෘද රෝග ඇති විය හැක. ක්ෂණික නූඩ්ල්ස් (Instant Noodles) පෝෂණ ගුණය ඉතා අඩු අතර, සෝඩියම් (ලුණු) සහ කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය අධික ලෙස අඩංගු වේ. කෘත්‍රිම බීම සහ සෝඩා (Soft Drinks) අධික සීනි ප්‍රමාණය නිසා අක්මාවට හානියක් වී, අකාලයේ දියවැඩියා තත්ත්වයන් මතුවිය හැකිය. සැකසූ මස් වර්ග (Processed Meats – සොසේජස්, හැම්, බේකන්) පිළිකාකාරක රසායනික සහ අධික ලුණු අඩංගු බැවින් ශරීරයට දැඩිව අහිතකරය. සෞඛ්‍යයට වන බලපෑම් සිරුරේ බර පාලනයෙන් තොරව වැඩිවීම විටමින් සහ තන්තු නොමැතිකම නිසා ආහාර ජීර්ණ පද්ධතිය අඩපණ වීම අකාලයේ රුධිරයේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය ඉහළ යෑමක් සිදු වේ.

හෝමෝන අසමතුලිතතා මතු වීම

ක්ෂණික ආහාර ශරීරයේ නිවැරදි හෝමෝන මට්ටමට ඍජු බලපෑම් එල්ල කරයි. විශේෂයෙන්ම ඉන්සියුලින්, ලෙප්ටින් වැනි හෝමෝනවල ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම ට පෙළඹෙයි. මෙම හෝමෝන ආහාර රුචිය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය නියාමනය කරන හෝමෝන වේ. පමණට වඩා සීනි මේදය අඩංගු ආහාර ලබා ගැනීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධය, ලෙප්ටින් ප්‍රතිරෝධය ඇති වී සිරුරේ බර වැඩිවීම, පරිවෘත්තීය ක්‍රියාවලියේ ආබාධ ඇති වීම, ප්‍රජනක සෞඛ්‍ය ගැටලු ඇති වීම වැනි තත්ත්වයන් මතු වීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.

සමේ ආසාදන ඇති වීම

පමණ ඉක්මවා සකසන ලද ආහාර ලබා ගැනීමෙන් සමේ රෝග මතුවීමට ඉඩක් පවතී. සිරුරට අහිතකර මේදය, සීනි වැඩි වශයෙන් අඩංගු ආහාර ලබා ගැනීමෙන් සමේ සෛල වයස්ගත වීමේ ක්‍රියාවලිය වේගවත් වේ. සම රැලි වැටීම, එල්ලා වැටීම වැනි ගැටලු මතුවන්නේ සීනි ශරීරයේ ප්‍රෝටීන සමග ප්‍රතික්‍රියා කිරීම හේතුවෙනි.

මනෝභාවයේ අක්‍රමිකතා මතු වීම

ක්ෂණික ආහාර මානසික සෞඛ්‍යයට සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් ඇති කරයි. ක්ෂණික ආහාර වැඩිපුර ලබා ගැනීමෙන් මානසික අවපීඩනය, කාංසාව, මනෝභාවය වෙනස්වීම වැනි අවදානම් මතුවේ. මනෝභාවයේ ස්ථාවරත්වය දුර්වල වෙන්න ක්ෂණික ආහාර හේතුවක් වේ.

පෝෂණ ඌණතා ඇති වීම

ක්ෂණික ආහාර ලබා ගැනීම හරහා ශරීරයට ලැබිය යුතුම විටමින්, ඛනිජ ලවණ, තන්තු වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබීම අඩු වෙයි. ඒ වෙනුවට සෞඛ්‍යයට අහිතකර මේදය, සීනි ආදිය සිරුරට ඇතුල් වෙනවා. මෙය පෝෂණ ඌණතාවයන් ඇති කරන්නත්, සමස්ත සෞඛ්‍යයට සහ ජීව ශක්තියට බලපෑම් ඇති කරන්නත් හේතු වේ.

තරබාරුකම

සාමාන්‍යයෙන් ක්ෂණික ආහාරවල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගුයි. අධික ලෙස ආහාරයට ගැනීමෙන් පහසුවෙන්ම බර වැඩිවේ. එහි ප්‍රතිඵලයක් ලෙස දියවැඩියාව හෘද රෝග අධි රුධිර පීඩනය සන්ධිආශ්‍රිත ගැටලු රැසක් ඇතිවේ.

ශාරීරික ශක්තිය පිරිහීම

ක්ෂණික ආහාරවල සිරුරට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන්නේ නැත. මේ නිසා දවස පුරා තිරසාර ශක්ති මට්ටමක් සැපයීමට ක්ෂණික ආහාර සමත් වන්නේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර ලබාගෙන ටික වේලාවක් යන විට ශාරීරික ශක්තිය පිරිහේ. මානසික යහපැවැත්ම අඩු වීමටත් එදිනෙදා රාජකාරිවල ඵලදායිතාවය සෘණාත්මක භවයට පත්වීමටත් මෙය බෙහෙවින් ඉවහල් වෙයි. තෙහෙට්ටුව, අප්‍රාණික ගතිය වැනි තත්ත්වයෙන් පීඩා විඳිමින් නිතර නිතර අලස ගතිය ඇතිවීමට නිතර ක්ෂණික ආහාර භාවිතය පිටුවහලක් වෙයි.

දන්ත ගැටලු ඇතිවීම

ක්ෂණික ආහාරවල වැඩිපුර අඩංගු වන්නේ සීනි, පිෂ්ඨය ආදියය. මෙම ආහාර පාන නිතර නිතර පරිභෝජනය කිරීමෙන් දත්වල එනමලයට හානි සිදුවේ. මුඛයේ හානිකර බැක්ටීරියා වර්ධනය වෙමින් එහි ප්‍රතිඵලයක් ලෙස දන්ත ගැටලු ඇතිවේ.

ආහාර දිරවීමේ ගැටලු ඇතිවීම

ආහාර දිරවීමට උපකාරී වන තන්තු ක්ෂණික ආහාරවල අඩංගු වන්නේ නැත. තන්තු නොමැති ආහාර වැඩිපුර ලබා ගැනීමෙන් මලබද්ධය, බඩ පිපීම ඇතුළු ආමාශ ආන්ත්‍රයික රෝගී තත්ත්වයන් වර්ධනය වේ.

කෙස් කලඹේ ගැටලු මතුවීම

හිස කෙස්වල නිරෝගී වර්ධනයට අවශ්‍ය වන විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ක්ෂණික ආහාරවල අඩංගු වෙන්නේ නැත. හිස කෙස්වල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන විටමින් ඒ, සී, ඩී, ඊ, සින්ක්, යකඩ, ප්‍රෝටීන් නොලැබී යෑමෙන් හිස කෙස් තුනී වීම, පහසුවෙන්ම කැඩී යෑම, වර්ධනය අඩාල වීම වැනි ගැටලු මතු වේ. ක්ෂණික ආහාර මගින් හෝමෝන අසමතුලිතා මතුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තට්ටය පෑදෙමින් වයස්ගත පෙනුමක් ඇති කිරීමට උපකාරී වේ.

ක්ෂණික කෑම (Fast Food) නිතර ආහාරයට ගැනීම ආමාශයේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානිකර වන අතර, ආම්ලිකතාවය (Gastritis), අජීර්ණය සහ ආමාශයික බිත්තිවලට හානි ඇති කිරීමට හේතු වේ. ආමාශයට වන බලපෑම් අධික මේදය සහ අජීර්ණය: ක්ෂණික ආහාරවල ඇති අධික මේද ප්‍රමාණය ආමාශය ආහාර දිරවීමට ගන්නා කාලය දීර්ඝ කරයි. බඩ පිපීම, අජීර්ණය සහ බර ගතිය ඇති වේ. ආම්ලිකතාවය (Gastritis) වැඩි වීම: මේවායේ ඇති අධික කුළුබඩු, කෘත්‍රිම රසකාරක සහ ලුණු ආමාශයේ අම්ල නිෂ්පාදනය වැඩි කරයි. මෙය ආමාශ බිත්ති දැවිල්ලට සහ තුවාල (Ulcers) ඇති වීමට මග පාදයි. හිතකර බැක්ටීරියා විනාශ වීම: ක්ෂණික කෑමවල අඩංගු පිරිපහදු කළ සීනි සහ රසායනික ද්‍රව්‍ය ආමාශයේ සහ අන්ත්‍රයේ ඇති හිතකර බැක්ටීරියා පද්ධතිය අඩපණ කරයි. හෝමෝන අසමතුලිතතාවය: මෙම ආහාර මගින් ආමාශය සහ මොළය අතර සම්බන්ධ වන ආහාර රුචිය පාලනය කරන හෝමෝන මට්ටම් කඩාකප්පල් කරන අතර ඒ හේතුවෙන් කුසගින්න පාලනය වීම අක්‍රමවත් වේ.

මෙම සියලු කාරණා මත එදිනෙදා වැඩකටයුතු අඩපණ කරමින් ජීවිතයේ ප්‍රබෝධමත් ගතිය පාලනය කර තරුණ ජීවිතවලට අරමුණක් කරා යෑමේ වේගවත්භාවය අඩු කරන්නට ක්ෂණික ආහාර රුකුල් දෙනු ඇත.

මේ සඳහා විසඳුම් ලබා නොදුනහොත් හානියට පත් වන්නේ අනාගතයය.

සමන්තී වීරසේකර