පොලිසිය ගැහුවේ නැහැ කියන්නේ බොරු පිළිකුල් සහගතයි : දැඩි ලෙස හෙළා දකිනවාඅම්බලන්ගොඩ නගර සභා සභාපති ජාතික හැඳුනුම්පත නොමැතිව අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයකුට අම්බලන්ගොඩ පොලිසියේදී අමානුෂික ලෙස පහරදීම නිසා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ. පොලිස් පහර දීමට ලක්වූ බව කි…

පොලිසිය ගැහුවේ නැහැ කියන්නේ බොරු පිළිකුල් සහගතයි : දැඩි ලෙස හෙළා දකිනවාඅම්බලන්ගොඩ නගර සභා සභාපති

ජාතික හැඳුනුම්පත නොමැතිව අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයකුට අම්බලන්ගොඩ පොලිසියේදී අමානුෂික ලෙස පහරදීම නිසා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

පොලිස් පහර දීමට ලක්වූ බව කියන මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ 61 හැවිරිදි පුද්ගලයකු බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අම්බලන්ගොඩ පොලිසියේදී මෙම පුද්ගලයාට පහරදී ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ මේ වන විට වීඩියෝවක් සංසරණය වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතා මෙසේ පැවසීය.

“24 වැනිදා රාත්‍රී එකොළහයි විස්සට පමණ මගේ හිතවතකුගෙන් මට දුරකථන ඇමතුමක් ආවා. ඔහු කතා කර කිව්වා මගේ බාප්ප අත්අඩංගුවට ගෙන පොලිසියේදී ගහනවා කියලා. මේ සම්බන්ධයෙන් මම පොලිසියට කතා කළත් තොරතුරු නොදුන් නිසා එම අවස්ථාවේ මම පොලිසියට ආවා.

මම දැක්කා මේ පුද්ගලයා ලේ පෙරාගෙන පොලිසියේ ඉන්නවා. හැඳුනුම්පත නැතුව හරි බීලා හිටිය හරි එහෙම පොලිසියෙදි ගහපු එක වැරදියි කියල මම කිව්වා. පසුව මගේ ඉල්ලීමට බලපිටියේ රෝහලට ඇතුළත් කළා. මේ පුද්ගලයාට පොලිසිය පහර දුන්නා කියන එකට ඔහු කළ ප්‍රකාශයක වීඩියෝවක් මගේ ළඟ තියෙනවා. පොලිසිය ගැහුවේ නැහැ කියන්නේ බොරු. එහෙම කියනව නම් ඔය උදවිය ඒ තනතුරුවලට සුදුසු නෑ. තමන්ගේ පහළ නිලධාරීන් ආරක්ෂා කරන්න එහෙම කියන එක වැරදියි.

අම්බලන්ගොඩ උසස් පොලිස් නිලධාරීන් මෙසේ පහළ නිලධාරීන්ගේ වැරදි වහන්න කටයුතු කරනවා නම් ඔවුන් මේ කොට්ඨාසවල රාජකාරී කළ යුතු නැහැ. මේ පොලිසිය ඇතුළෙම බෙල්ල වැලදාගෙනත් මැරුණා. අම්බලන්ගොඩ පොලිසිය ගැන තව මොන කතාද?

අම්බලන්ගොඩ පොලිසිය මේ සිද්ධියේදී ක්‍රියා කරපු ආකාරය පිළිකුල් සහගතයි, මේක දැඩි ලෙස හෙළා දකිනවා. මම මේ පිළිබඳව අම්බලන්ගොඩ ආසනය භාර නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යතුමාටත් ජනාධිපතිතුමා දක්වාත් මේ ප්‍රශ්නය ගෙන ගිහින් තියෙනවා.

මේ පුද්ගලයා මහ අම්බලන්ගොඩ මගේ වසමේ තාවකාලිකව පදිංචි වෙලා ඉන්නේ. ස්ථීර පදිංචි අම්බලන්ගොඩ මහාඅම්බලන්ගොඩ මම පදිංචි වසමෙ. මෙම පුද්ගලයාට විශේෂ අවශ්‍යතා ඇති දියණියන් දෙදෙනකුත් ඉන්නවා.

මේ සම්බන්ධයෙන් මම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාට, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමාට දැනුම් දුන්නා. මේක මහා අමානුෂික ක්‍රියාවක්.”

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී බුද්ධික කෝදාගොඩ මහතාගෙන් ඊයේ (25) දහවල් කළ විමසුමකදී කියා සිටියේ බීමත්ව සිටි මෙම පුද්ගලයාට පොලිසියේදී පහරදී නොමැති බවත් වැටීමකින් ඔහුගේ මුඛය තුවාල වී ලේ ගැලීමක් සිදුව ඇති බවත් ය. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් තිදෙනකු බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලද බවත් හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසුමකදී මේ පිළිබඳව දැනට දැනුවත් නොමැති බවත් සොයා බලන බවත් ප්‍රකාශකයෙක් කීය.

බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන පහරකෑමට ලක්වූ 61 හැවිරිදි පුද්ගලයා ඊයේ දහවල් අක්ෂි සායන පරීක්ෂණයකට යොමු කළ ඇති බවට ද රෝහල් ආරංචි මාර්ග පවසයි.බෙන්තොට – හේමන්ත ද සිල්වා