මෙවර අවසන් රන්දෝලි මහා පෙරහැර හෙට සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ දීම විජය කුමරු ඇතුළු පිරිස පැමිණ ශ්‍රී ලංකාව ආර්ය ජනාවාසයක් බවට පත් කළහ. ඉන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස මිහින්තලයට වැඩම කොට මෙරට නිර්මල ථෙරවාදී බෞද්ධ ධර්මද්දීපයක්…
මෙවර අවසන් රන්දෝලි මහා පෙරහැර හෙට
සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ දීම විජය කුමරු ඇතුළු පිරිස පැමිණ ශ්‍රී ලංකාව ආර්ය ජනාවාසයක් බවට පත් කළහ. ඉන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස මිහින්තලයට වැඩම කොට මෙරට නිර්මල ථෙරවාදී බෞද්ධ ධර්මද්දීපයක් බවට පත් කරන ලදී. කාලයාගේ ඇවෑමෙන් අපට හිමි වූ ජය ශ්‍රී මහා බෝධිය, දන්ත ධාතුව, අකුධාතු සහ පාත්‍රා ධාතුව අප රටේ රාජ්‍යත්වය ඇතුළු සමස්ථ සමාජයටම බුදුන් වහන්සේගේ සහ බුද්ධ ධර්මයේ උරුමය, හිමිකම අවියෝජනීය වටිනාකම සහ අගය ඍජුවම හිමිවිය. මෙම දායාදයන් නිසාම ලොව මවිත කළ විශ්මිත නිර්මාණයන් රැසක් හිමිකරගත් අදීන ජාතියකගේ ඓතිහාසික ආරම්භය සහ විකාශනය සිදු විය. එහි නිජභූමිය වන්නේ රජරටයි. ජනාවාසකරණය සහ ධර්මද්දීපයක් බවට පත්වීමත් සමග මෙරට සිදුවූ ආධ්‍යාත්මික සහ භෞතික පරිසරීය පුනරුදය නිසා රාජ්‍යත්වය ඇතුළු පොදුජන විඤ්ඤානය තුළ සිදු වූ නවතම ප්‍රවණතා අති විශාලය. ශ්‍රේෂ්ඨ ජාතියක අසමසම ශිෂ්ටාචාරයක් නිර්මාණය වීමට මෙය ප්‍රමුඛතම ගාමක බලවේගය විය. මහින්දාගමනය, දුමින්දාගමනය සහ දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව ඊට සමගාමීව මෙටර සිදුවූ චින්තනමය සහ නිර්මාණාත්මක වෙනස අති විශාලය. ඒ අනුව භාෂා සාහිත්‍යය, ලේඛන කලාව, වාස්තු විද්‍යාව, කැටයම්, මූර්ති, ගෘහ නිර්මාණ, වාරි තාක්ෂණය, ජල ශිෂ්ටාචාරය, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, ජීවනෝපාය ආදී ප්‍රපංචයන් රැසක වාස්තවික ප්‍රබෝධයක් ඇතිවිය. ඒ අනුව එතෙක් පැවැති චූල සම්ප්‍රදායික ගතික ස්වරූපයන් මහා සම්ප්‍රදාය බවට පත්වේ. මේ නිසා ම එතෙක් පැවැති සංස්කෘතිය ශිෂ්ටාචාරයක් බවට පත් වේ. එය බෞද්ධ සභ්‍යත්වයක් බවට පත් වීම නිසා සමාජයට කරන ලද ගුණාත්මක වෙනස අතිවිශාලය. එතෙක් ප්‍රාථමික හා ප්‍රාකෘත තත්ත්වයෙන් පැවැති ආධ්‍යාත්මික හා භෞතික පරිසරීය ව්‍යූහය ප්‍රශස්ථ වෙනසකට පත්වන්නේ මේ නිසාය. පොදුජන විඤ්ඤානය හා රාෂ්ට්‍ර පාලනය ද අතිවිශාල ලෙස වෙනස් වී නව්‍යත්වයකට පත් විය.
අනුරාධපුර රාජධානි සමයේ ක්‍රි.ව. හතරේදී (4) පමණ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ පාලන කාලයේ දී මෙරටට හිමි වූ බුදුන් වහන්සේගේ වාම රදනක දන්තධාතුන් වහන්සේ නිසා මෙරට සිදුවූ ආධ්‍යාත්මික හා භෞතික සමස්ත සංස්කෘතිකමය වෙනස අතිවිශාලය. ඒ අනුව වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ලෙස දළදා මාලිගාවද, දළදා වහන්සේට ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකා පවත්වන පුද සත්කාර සම්මාන හා තේවාවන් ඇතුළත් දළදා පෙරහැර සහ ධාතු වන්දනාව මෙන්ම දළදා වහන්සේ තේමා කරගත් ගද්‍ය පද්‍ය නිර්මාණ සහ චිත්‍ර ශිල්පය මේ අතරින් ප්‍රමුඛ වේ.
මෙම ලිපියේ දී අවධානය යොමු කරන්නේ ශ්‍රී දළදා වහන්සේ තේමා කරගෙන නිර්මාණය කරන ලද සිංහල ගීත සාහිත්‍යය පිළිබඳ කරුණු විමසා බැලීමකි. ශ්‍රී දළදා වහන්සේ තේමාකර ගනිමින් ගද්‍ය පද්‍ය ක්ෂේත්‍රය තුළ මහාවංශය, දාඨාවංශය සහ දළදා සිරිත ඒ අතර ඓතිහාසිකම නිර්මාණයන්ය. සිංහල බෞද්ධ ගීත සාහිත්‍යය දෙස බැලීමේ දී බෝසත් චරිතය, සම්බුදු සිරිත, බෞද්ධ දර්ශනය, නිර්වාණය තුණුරුවන්, බුදුන් වහන්සේගේ ශාරීරික හා පාරිභෝගික ධාතුන් වහන්සේ ආදියට ප්‍රමුඛත්වය ලබාදී ප්‍රශස්ත ගණයේ බෞද්ධ ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. දේශාභිමානය, ප්‍රේමය, විරහව, ස්වභාව සෞන්දර්ය සහ පරිසරය, දිළිඳුකම, විප්ලවය, පන්ති පරතරය, විමුක්තිය, චරිතාපදාන හා මාතෘපීතෘ භූමිකාව සහ ගේහසික සහ සැලමුසු ප්‍රේමය ආදී ක්ෂේත්‍රයන්ට අදාළව නිර්මාණය වී ඇති සිංහල ගීත සම්භාරය දෙස සාපේක්ෂව බැලීමේදී දළදා වහන්සේ තේමා කරගත් ගීත ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ඉහළ අගයක පවතින බව පෙනේ.
ගීතයද ප්‍රාසාංගික ලලිත කලා ක්ෂේත්‍රයේ දී රසික හා සහෘද ජන විඤ්ඤානය අවදි කරන ප්‍රබලතම විඤ්ඤාපන මාධ්‍යකි. එය ආනන්දයෙන් ප්‍රඥ්ඥාවට ශ්‍රාවකයා ගෙන යන්නේ චමත්කාරයේ, අපූර්වත්වයේ, සෞන්දර්යයේ සහ විශ්මයාර්ථයේ සුසංයෝගයෙන්ය. ප්‍රතිනිර්මාණ කාර්ය සෑම කලා කෘතියකට ම උපස්තම්භක මූලික ලක්ෂණයයි. ප්‍රතිභානය, ව්‍යුත්පත්තිය, සතථාභ්‍යාසය සහ පරිකල්පනය ඒ සඳහා මහෝපකාරී වේ.
දළදා වහන්සේ තේමා කරගනිමින් නිර්මාණය වන සාහිත්‍යය පුළුල් ක්ෂේත්‍රයක පවතින නිසාම දළදා සාහිත්‍යය යනුවෙන් වෙන්කර ගත හැකි ගීත ක්ෂේත්‍රයක් දක්වාම මෙම නිර්මාණ බහුල විය. මෙම නිර්මාණයන් හි ගද්‍ය, පද්‍ය, වෘතගන්ධි චම්පු ආදී විවිධ ආකෘතීන් භාවිත කර ඇත. මෙම ගීත නිර්මාණයන්වලදී ද පරිකල්පනය, ප්‍රතිභානය, ව්‍යුත්පත්තිය, සතථාභ්‍යාසය සංවේදී බව අපූර්වත්වය සහ ප්‍රතිනිර්මාණය යන ගුණාංගයන් උපයෝගී කරගෙන ඇත. විශේෂයෙන් ම රසිකත්වය සහ ප්‍රතිවිරෝධී භෞතිකවාදී සංකල්පයන්ද මෙම සාහිත්‍ය නිර්මාණවල අන්තර්ගතයේ සහ වස්තු විෂයය තුළ දක්නට හැකිය. මහනුවර දළදා මාලිගාවට සම්බන්ධ කවිකාරමඩුව විසින් ගායනා කරන ලද දළදා සින්දුව සහ භක්ති ගීත දළදා සාහිත්‍ය වංශකතාවේ සුවිශේෂී මඟ සලකුණකි. දළදා වහන්සේ පිළිබඳ සාහිත්‍ය නිර්මාණයන් හි ඓතිහාසිකම නිදසුන ලැබෙන්නේ පොලොන්නරු යුගයේ දී ලීලාවතී රැජිනියගේ කාලයේ දී එනම් 13 වන සියවසේ දී පමණ පාලි භාෂාවෙන් රචිත දාඨා වංශයයි. මීට පෙර අනුරාධපුර යුගයේ දී දළදා වහන්සේ දළදා ගෙයි සිට අභයගිරියට වැඩම කරන අවස්ථාවේ දී කවියන් විසින් පද්‍ය නිර්මාණය කර ගායනා කර ඇත. මෙම කවිකාරමඩුව හඳුන්වා ඇත්තේ විජ්ජතුන් ලෙසයි. එම කවි දාඨා වංශය සඳහා පාදක වූ බවත් විද්වතුන්ගේ මතයයි. මෙය ධර්ම කීර්ති නම් රාජගුරු ආචාර්යවරයෙක් විසින් රචනා කරන ලද්දකි. මහාවංශයේ දී දක්වන්නේ දළදා වහන්සේ පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසකි. පූජාවලියේදී ද දළදා වහන්සේ පිළිබඳ තොරතුරු සඳහන්ව පවතී. කුරුණෑගල රාජ සමයේ දී පැරකුම් රජු දවස රචිත දළදා පුවත දළදා වහන්සේ තේමා කරගත් නිර්මාණශීලිත්වයෙන් යුතු ප්‍රබන්ධයකි. එහි විශේෂත්වය වන්නේ එය රචනා කිරීමේ දී ගද්‍ය රචනා ශෛලිය ඉක්මවා ගොස් ගීත ශෛලියට සමීපවන සකු ශෛලියට අයත් වෘතගන්ධී නමින් සම්භාවිතා ශෛලියක් භාවිත කිරීමයි. මෙය වෘත ලක්ෂණ වලින් යුතුව ඇත. එය දළදා සාහිත්‍යයේ ප්‍රමුඛතම ගීත ස්වරූපයේ ප්‍රාථමික ස්වරූපයයි. ඒ බව දළදා සිරිතේ පහත සඳහන් උපුටා ගැනීම නිදසුන් කරගත හැකිය.
විසල් ඒ සුනිල් කෙස්එක හෙළාපිට හෙළාසෝදුකින් තැවි තැවීමහ හඬින් හඬ හඬා
දළදා වංශ කාව්‍ය, දළදා ශතකය, දළදා වරුණ ආදී දළදාව විෂය කර ගත් නිර්මාණයන් මෙහිදී සිහිපත් කළ හැකිය. එහෙත් දළදා වහන්සේ තේමාකර ගත් ගීත නිර්මාණයේ මුල්ම ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ දළදා සිරිත තුළින් ය. හියුනෙවිල් මහතා විසින් එකතු කරන ලද දළදාවලිය නම් කාව්‍ය සංග්‍රහයේ දළදා වහන්සේගේ ලංකාවට වැඩම කිරීම පිළිබඳ කදිම තොරතුරක් දක්වා ඇත්තේ පහත සඳහන් පරිදිය. එය දළදා ගීතාවලියේ දී සුවිශේෂී සංධිස්ථානයකි.
දළදා සමිඳුන් අඹුසැමි දෙදෙනෙක්එලවා ආ රුපුවන් හට නොමදත්ගලවා ගන්නට වල්වැදී සිරිලක්දළදා කරඬුව වඳිනෙමි නැතදුක්
කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ මහනුවර දී පැවැත්වූ දළදා පෙරහැර පිළිබඳව ළය, තාල, වෘත්ත ආදී මුසු කොට කර ඇති නිර්මාණයක් පහත සඳහන් පරිදි වේ. මෙය මුංකොටුවේ රාල නම් පුද්ගලයෙකුගේ බවට කරුණු පවතී.
රන් සිව් ගෙයක් කොටවිජයොත් රත ය විලසටතබා ඇත් රජු පිටවැඩමවා කරඬුවක් සිව් ගෙට
දළදා ගීතාවලි ඉතිහාසය දෙස බැලීමේ දී මීළඟ අදියරක් ලෙස දක්නට හැක්කේ සංදේශ සාහිත්‍යයයි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ තම සැළලිහිණි සංදේශයේ දී දළදා වහන්සේ වැඳ පුදා ගන්නා ලෙස සැළලිහිණියාට කියාදෙන්නේ පහත සඳහන් ලෙසිනි.
ලොව විහිදා සුදුපැහැ සඳ රැසෙව් සැදීදෙන නොමදා සිරසඟමොක් සැප නිසැඳිලද මුණිදා දම්කඳ පහස මන බැඳිවඳු දළදා හිමි තෙමහල් පහය රැඳි
මීට අමතරව හංස සංදේශය, ගිරා සංදේශය හා පරෙවි සංදේශයද දූතයා ලවා දළදා වහන්සේ නමස්කාර කරවීමට කර්තෘවරු අමතක කර නැත. අඥාත කවියෙකු විසින් රචිත දළදා වරුණේ නම් කාව්‍ය සංග්‍රහයක එන පහත සඳහන් නිදහස් පද්‍ය ආරේ නිර්මාණය ද මෙහිදී සලකා බැලීම සුදුසුය. එම නිර්මාණය පහත සඳහන් පරිදි වේ.
සිරි දන්ත කුමරුගන්නා ළඟට සොඳුරුයුදෙන් මම නිසරුධාතු එරජුට නොදෙමි ලොව්තුරු
මේ අනුව දළදා වහන්සේ තේමාකර ගනිමින් නිර්මාණය වූ ප්‍රබන්ධ සාහිත්‍යයක් පැවැති බව පෙනේ . දළදා මන්දිරයේ ක්‍රියාත්මක වන කවිකාරමඩුව සහ දළදා සින්දුව පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුව ඇත. එම ප්‍රබන්ධයන් දළදා සින්දුව ලෙස ව්‍යවහාර වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත.
ශ්‍රී දන්තධාතුන් වහන්සේ තේමා කරගනිමින් නූතන යුගයේ නිර්මාණය වන ගීත සමුච්චයක පැහැදිලි ආරම්භයක් සටහන් කරන්නේ පැරණි නූර්ති හා ග්‍රැමෆෝන් ගී යුගවලදීය. එය ගීත ප්‍රබන්ධ හා නිර්මාණ යන හැඳින්වීමට වඩාත්ම සමීප සහ සාධාරණ කරුණු සපයයි. 1930 දශකයේ පමණ ආරම්භ වන මෙම ගීතාවලියේ දී ආගම ප්‍රධාන ප්‍රස්තූතයක් විය. දළදා වහන්සේ විෂය කරගත් ගීත අතරින් චාර්ලස් ඩයස් මහතාගේ හේමමාලි නූර්තියේ එන පහත සඳහන් ගීතය දළදා ගීත වංශකථාවේ නූතන අවධියේ සමාරම්භයක් පෙන්වයි. මෙම ගීතය මුලින්ම ගායනා කර ඇත්තේ ඇනීබොතේජ විසින් බව ප්‍රකටය.
ලෝනා මුණි රාජගේ ශ්‍රී දළදා පෙන්වමිමාගේ හිසකේ ගර්භයේහී සඟවාගෙන ආ සාදරෙන්…..
මෙහිදී දළදා වහන්සේ වැඩම කිරීමේ ඓතිහාසික අවස්ථාව මනාකොට නිරූපණය කරන්නේ සංකල්ප රූප මැවෙන ආකාරයටය. පී.එල්. බෝධිපාල මහතා විසින් රචනා කරන ලද දුෂ්ට නීතිඥයා නමැති නාටකයේ එන
අග්‍ර නගරයේමේ මධ්‍යම ලංකාවේදන්ත දාතුන් වහන්සේදිලේ මාලිගාවේ…………
පද රචනයේ දී එතරම් ව්‍යක්ත බවක් නොමැති අතරම මහනුවර දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින බව ප්‍රකාශ කිරීමට ගන්නා ලද දුෂ්කර ප්‍රයත්නයක් බව පෙනේ.
His Master Voice (H.M.V) ග්‍රැමෆෝන් තැටි උදෙසා නිර්මාණය කරන ලද බෞද්ධ ගීත ප්‍රමාණයෙන් හා ගුණාත්මක අතින් ද ඉහළ අගයක් ගෙන ඇත. එස්.ඩබ්. රූපසිංහ සහ රුක්මණී දේවී විසින් ගායනා කරන ඇති “මුණි ශ්‍රී දළදා නමඳිමු බැතිනා” යන ගීතය රචනා කොට ඇත්තේ උපතින්ම බෞද්ධයෙකු නොවූ පසුව බෞද්ධයෙකු බවට පත් වූ ඩබ්.ඩී. මර්සලීනු ඇල්බට් නමැත්තෙකි. මෙම ගීතයෙන් ද දළදාවේ ඉතිහාසය කියවෙන අතර එම ගීතයේ එන
වැඩම කර සිටියා කිණිහිරෙහිඅකාස කුසේ බුදුරැස් විහිදාප්‍රාතිහාර්ය පෑවේ බුදුගුණ හින්දා…….
යන කියමන් තුනේදීම බෞද්ධයෙකුට නවමු අත්දැකීමක් ගෙන දෙයි. කුරක්කන් ගලක සඟවා ආරක්ෂා කළා යැයි ප්‍රචලිත ප්‍රවෘත්තිය මෙන්ම කම්මලක කිණිහිරයක් සම්බන්ධ ප්‍රවෘත්තියක් ද ජනගතව ඇත. තවත් එක් ග්‍රැමෆොන් ගීතයකින් අප විසින් දැනටමත් දන්නා කරුණක් වන අපේ දළදා මාලිගාවේ වැඩ සිටින්නේ බුදුන් වහන්සේගේ වාම රදනක දන්ත ධාතුව බව තවදුරටත් තහවුරු වේ. පද රචනය සහ සංයෝජනය ඇතැම්විට අව්‍යක්ත බවක් පෙන්නුම් කළ ද එම ගීතවලින් දළදා වහන්සේ පිළිබඳ විවිධ සහ නවතම අර්ථයක් අනුව කරුණු ඉදිරිපත් කර ඇත. සිංහල ගීත සාහිත්‍යයේ ක්‍රමික විකාශනයේ දී සහ පරිණත බවට පත්වීමේදී ද ප්‍රශස්ත ගීත නිර්මාණය වීමේ දී ද භක්ති ගීත ක්ෂේත්‍රය සුවිශේෂී වේ. මෙතෙක් ගීත නිෂ්පාදනයක් ලෙස පැවැති ගීත සාහිත්‍යය ප්‍රස්තූත තේමා සහ වස්තු විෂය, ආකෘති, සන්ධර්භය ව්‍යක්ත භාෂාව, ශාස්ත්‍රීය සංගීතය, සුමධුර ගායනය, නිර්මාණය, රසවින්දනය හා විචාරය ආදී ගුණාත්මක පෝෂණයක් සඳහා විගද්ධ සේවනය සංවර්ධනය වේ. මේ අනුව දළදා වහන්සේට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන් හා ප්‍රවේශයන් ඔස්සේ ගීත රැසක්ම නිර්මාණය වී ඇත.
සී. වීරසේකර නමැත්තෙකු විසින් පද රචනය කරන ලද සුජාතා අත්තනායක ශිල්පිනිය විසින් ගායනා කරන ලද “සාදු දන්ත දා” යනුවෙන් ආරම්භ වන ගීතය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව ලියවුණු ප්‍රශස්ත ගීතයකි. එහි අර්ථ, රස, භාෂා ප්‍රයෝග, ගායන ශෛලිය සහ ස්වර රාග නිර්මිතය අතිශයින්ම ව්‍යක්තය. අපූර්ව අත්දැකීමක් සහ චමත්කාරයන් ජනිත කරන ගීතයකි. 1963 වර්ෂයේ දී පමණ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ පුෂ්පරාණි සහ රෝහණ බෝගොඩ ශිල්පීන් විසින් හේමමාලා සහ දන්තු කුමරු අතර ඇතිවන දෙබසක් ලෙස ගායනා කළ ගීතයකින් දළදා වහන්සේ සතුව පවතින අදෘශමාන බලවේගයන් පිළිබඳව ගීතමය ප්‍රකාශනයක් ඉදිරිපත් කරයි. සිංහල ගීතය චූල සම්ප්‍රදාය ඉක්මවා මහා සම්ප්‍රදායට අවතීර්ණ වීමේදී දළදා වහන්සේ ගීත විෂයට අතිශයින්ම කදිම අවකාශයන් සහ ප්‍රවේශයන් සපයයි. ආචාර්ය අජන්තා රණසිංහ විසින් ගේය පද රචනය කළ ධර්මදාස වල්පොළ ගායනා කරන
“උත්තම මුණි දළදා වඩම්මනමොක්පුර රන් නෞකා බලන් සකිසත්සමුදුර ගැඹරේ…..”
මෙම ගීතයේ දී සංකල්ප රූප මැවීමට සමත් රම්‍ය වූ ව්‍යක්ත භාෂාවක් උපයෝගී කරගෙන ඇත. ඉතා ප්‍රබල කාව්‍යමය චිත්තරූපයක් ගෙන එන ගීතයකි. මහා කවීත්වයක් පැවැති අරිසෙන් අහුබුදුසූරින් අතින් රචනා වන සරත් දසනායක ස්වර රටා මැවූ අමිතා වැදිසිංහ ශිල්පිනියගේ රම්‍ය ස්වරයෙන් ඇසෙන පහත සඳහන් ගීතය අතිශයින්ම දළදා වහන්සේ උදෙසා රචිත දළදා ගීතාවලියේ අපූර්වතම නිර්මාණයකි. මෙම ගීතයේ දී වීර කැප්පෙටිපොළ සම්බන්ධ කරගනිමින් උඩරට සිංහලත්වය දළදා වහන්සේට ඍජුවම සම්බන්ධ කර ඇත.
“සෙන්කඩගලපුර දළදා බුදුරැස්විහිදෙනතුරු නැහැ වරදින්නේසිංහලයන් හට සිංහල දේශෙටසරණයි දළදා සමිඳුන්නේ…………”
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහාගාන්ධර්වයාණන් අපේ හඬින් අපට ගයන සුවහසක් ගී අතර දළදා වහන්සේ තේමා කරගත් ගායනා කරනු ලබන පහත සඳහන් ගීතය දළදා වහන්සේ ඇසින් දැක සිත්පහන් කරන භාවනාවක් වැනිය.
“කඳුකරයේ හෙළ රජදහනේසෙංකඩගල පුරවර දෙරණේසේසත් නංවා චාමර සොලවාගිගිරි හඬින් දෙයි අනුකරණේ……”
රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණන් විසින් රචනා කරන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ සහ දිස්නා අතපත්තු ගායනා කරන පහත සඳහන් ගීතයද දළදා වහන්සේම නිමිති කරගත් දළදා පෙරහැරේ අසිරිය කියාපාන්නකි.
“මහ පෙරහැර දෙව්ලොව සිරි මිහිපිට ලෙසිනාබලන් ඇසළ සඳ පානේදළ ඇතුපිට දා කරඬුවබුදුරැස් සේමා”
සුනිල් සරත් පෙරේරා කවියාණන් රචනා කර ඇති පහත සඳහන් ගීතය ත්‍රී සිංහලයම දළදා සමිඳුන්ගේ රැකවරණයෙන් පවතින බව අවධාරණය කරන අතර සිංහල බෞද්ධයාට අතිශය උරුම වූ වස්තුවක් ලෙස දළදා වහන්සේ හඳුන්වයි. එම ගීතය වන්නේ
“මගේ රටට දළදා හිමි සරණයිමගේ රටට දළදා හිමි සෙවණයිසැපතින් සපිරුණු නිවහල් දෙරණයිඋපතින් මා හට මේ හැම උරුමයි….”
මෙම ගීතයේ එන “මෙතැනම මේ දැය එක ලෙස බැඳුනේ” යන්න විමසා බැලීමට සුදුසු ගැඹුරු කියමනකි. ඒකීය රාජ්‍යත්වය සහ ජාතික සමගිය පිළිබඳ කරන ලද සංකථන ඉඟියකි. දළදා වහන්සේ පිළිබඳ ලියවුණු ගීතාවලිය තුළ විවිධ මංපෙත් හා දෘෂ්ටීන් ඔස්සේ තම කාව්‍යමය අනුභූතීන් ප්‍රදර්ශනය කර ඇත. දළදා හිමියන් වැඩම කිරීම රාජ්‍යත්වය පිළිගැනීම, පුද පෙරහැර කිරීම දළදා අනුහස් රටට ආශිර්වාදයක් හා ආරක්ෂාවක් වීම ආදියට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇත. මෙයට අමතරව කිසියම් භෞතික වටිනාකමක් ප්‍රතිවිරෝධී ආකල්ප රැගත් පඨීසෝතගාමී පඨීපදාවේ (උඩුගම් බලා යන) ගීත ද දළදා වහන්සේ තේමා කර ගනිමින් රචනා වී ඇත. රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කරන ලද පහත සඳහන් ගීතය එවැනි භෞතික වාදී ප්‍රතිවිරෝධිත වූ නවතම සංකල්ප ජනිත කරයි.
“හන්තානයේ දුක් කඳුළු එකතු වීනුවරට වැවකුත් තැනුණා නම්ඒ වැව් ජලයේ සුපිපි නෙළුම් මල්දළදා පාමුල පිපුණා නම්….”
මහනුවර දළදා මන්දිරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය තේමා කරගනිමින් රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත පහත සඳහන් ගීතය සමකාලීන හා භෞතික වාදී අනුභූතියක් විෂය කරගෙන ඇත.
‘සිරි සම්බුද්ධ සාසනේ – වන්දනීය පූජනීයදන්ත ධාතුන් රාජනේ – සමාවෙන්න දෙව්දතුන්ට යළිත් වරක්වැරදීමක් වෙන්න ඇති අනේ”
මෙම ගීතය දෙස බැලීමේ දී වෑත්තෑවේ හිමියන් ලියූ “අනේ දෙව්දත් නොදුටි මොක්පුර” යන්න සිහිපත් වේ. ප්‍රවීණ කවීත්වයක් හා භෞතිකවාදී රැඩිකල් මතවාදී පෝෂණයකින් සමන්විත රත්න ශ්‍රී විජේසිංහ අතින් රචිත ගේය පද රචනයක ප්‍රතිවිරෝධිත ආකල්ප ගෙන හැරපාන බව පෙනේ. එය ඔහු සතු ව්‍යක්ත හා ප්‍රතිභාපූර්ණ කවීත්වයේ මහිමයෙන් ප්‍රශස්ත නිර්මාණයක් ලෙස ඉදිරිපත් කර ඇත.
“පාත ඉඳන් අපි ආවේනා මල් පූජා කරන්නදළදා හාමුදුරුවනේපාත මාලයට වඩින්න
හීල් හෙවණෙ හිඳගෙන බෑහේන් කුඹුරු වැඩ කරන්නඇඟ පත කළු වුණත් අපේකිලි කුණු නැති හිත බලන්නදළදා හාමුදුරුවනේපාත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැළුවාපිළී ගඳින් බෑ මිදෙන්නඒත් අපේ මල් සුවඳයිඑපා භාර නොගෙන ඉන්නදළදා හාමුදුරුවනේපාත මාලයට වඩින්න….”
මෙය විශාරද වික්ටර් රත්නායකයන්ගෙන් මධුර මනෝහර ස්වරයෙන් ඇසෙනවිට ඒ ගීතය තුළ ඇති පීඩිත පන්තියක සංයමයෙන් යුතු ආඳෝනාව පසක් කරගත හැකිය. මෙහිදී ගැඹුරින් සඟවා ඇති අරුත වන්නේ පන්ති පරතරයයි. මහාචාර්ය සුනිල් ආරියරත්න මහා කවියාණන් විසින් පද රචනය කළ විශාරද නන්දා මාලනී ශිල්පිනිය විසින් ගායනා කරන පහත සඳහන් ගීතය දළදා වහන්සේට සම්බන්ධ වන්නේ උන් වහන්සේ වැඩම කරන පෙරහැර ආශ්‍රිතවය. දළදා වහන්සේ තේමා කරගත් ගීතාවලියේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න සහ විශාරද නන්දා මාලනී ශිල්පිනියගේ සුසංයෝගය සුවිශේෂී අවස්ථාවකි. භක්තිය, සෞන්දර්යය, ආනුභාවය, ඉතිහාසය ගරු සරු දැක්වීම අභිමානය මහේශාක්‍ය බව, රාජ්‍යත්වය ආදිය පෙරහැරක නියෝජනය වන ඉතා ජනප්‍රිය සහ කාටත් හුරු පුරුදු අංශයන්ය. එය සම්ප්‍රදායික වූ ගීතාවලියකි. එහෙත් විශාරද නන්දා මාලනී ශිල්පිනිය ගායනා කරන පහත සඳහන් කියවෙන්නේ පෙරහැරක මතුපිටින් නොපෙනෙන අඳුරේ පවතින යථාර්ථයකි.
පෙරහැර එනවා කස පුපුරනවාහේවිසි නද පතුරනවාකසකරුවන්ගේ දහදිය මුගුරින් පාවඩ මඟ අතුරනවායදමින් බැඳි ඇතු අසීරු ගමනින් හෙමිහිට පාද තබන්නේයන ගමනේ ඉම දැක ගනු රිසියෙනි ඇත් ගොවුවන් ගාටන්නේගුරුන්ගෙ අණටයි නිදි මත දරු කැළ කළ ගෙඩි අරගෙන එන්නේපන්තේරුව බොල් පින්නෙන් නැහැවී දෑතට දිය වී යන්නේ……
යන ගීතය සම්ප්‍රදායිකව ආරම්භ වී ඇති නමුත් පෙරහැරක් පිළිබඳ පඨිසෝතගාමී ලෙස (උඩුගම්බලා) ප්‍රතිවිරෝධී භෞතික ආකල්ප අනුව පහත සඳහන් යථාර්ථයක් අනාවරණය කරයි. කස කරුවෙකුගේ දහදිය නිදිමත, පින්නට දියවෙන පන්තේරු, පොඩි මිනිසුන් දෙස නොබලන නිලමේවරු, රජු සිට ඇමැතිවරුන්ට නිලමේවරු ගරු කිරීම, හිතේ වේගයට හොරණෑ සහ තම්මැට්ටම් හැඬවීම නළුවන්ගේ පීඩිත මුහුණු අඹුදරුවන්ගේ කුස පුරවන්නට වන්නම් ගැයීම, අතමිට සරු වීමට කොහොඹ කළේ නැටවීමත් ආදිය මෙම ගීතයෙහි අඩංගුව ඇත. එම ගීතයේ දක්වා ඇත්තේ පෙරහැරක සම්ප්‍රදායකත්වයන්ගේ දුක්බර අඳෝනාවයි. එම ගීත දළදා වහන්සේ ඇසුරින් කාව්‍යමය අනුභූතීන් ප්‍රසාරණය වී ගිය තවත් නවතම සොඳුරු පරිසරයකි. එය සිංහල ගීත සාහිත්‍යයේ නවතම ප්‍රගතිශීලී ප්‍රවණතාවයකි.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ම රචනා කරන ලද පහත සඳහන් ගීතය ඔස්ටින් මුණසිංහ මහතාගේ සංගීතයට විශාරද නන්දා මාලනී ශිල්පිනිය විසින් ගායනා කරන අතර මෙම ගීතයෙන් දළදා හිමියන්ට කරනු ලබන පුද සත්කාර අතර අභ්‍යන්තරයේ පවත්නා යථාර්ථයක් ව්‍යක්ත හා සංයමශීලී කවීත්යකින් ව්‍යංගාර්ථවත්ව විෂධ කර පෙන්වයි.
පානම් පත්තුවේ ඩිංගිරි අම්මායගමේ අයටනම් ගජමන් නෝනායකවිකර කියන්නේ දෑහින් දුටු දේයවටවන්දනාවේදී නඩයම දුටු දේය
වඳිනට ගිය කලට නුවරට දළදාවගමේ චණ්ඩි ස්ටැන්ලි ද සිටියායයාළු නිලමෙලා දොරහැර දුන්නායළඟටම ගිහින් ඔහු දළදා වැන්දාය
ඉහත සඳහන් ගීත සාහිත්‍යය අනුව ශ්‍රී දළදා වහන්සේ තේමා කරගනිමින් එය වස්තු විෂය කරගනිමින් භෞතික සහ ලෞකික ප්‍රතිවිරෝධී ආකල්ප රැගත් ගීත රැසක් මෙන්ම ශ්‍රද්ධාව සහ ගෞරව වන්දනීය බව ඇතුළත් ගීත රැසක්ම නිර්මාණය වී ඇත. දළදා වහන්සේ තේමා කරගනිමින් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වූ ප්‍රමුඛතම ක්‍රියකාරීත්වයන් වන්නේ ශ්‍රී දළදා පෙරහැර සහ එහි සංයුතිය මෙන්ම දළදා වහන්සේට කරනු ලබන තේවාවන් සහ පුද සත්කාර සම්මානයන් සහ සිරිත් විරිත් සම්ප්‍රදායන්ය. ඊට අමතරව දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා වාස්තු විද්‍යාත්මකව ඉදි කරන ලද දළදා මන්දිරය ද දීර්ඝ විමර්ශනයකට හසු කර ඇත. ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව විකාශනයේදී ද දළදා වහන්සේගේ විවිධ ප්‍රවෘත්තීන් වෙත අවධානය යොමු කර ඇත. ඉහත සඳහන් කරුණුවලට අමතරව දළදා වහන්සේ තේමා කරගත් සාහිත්‍යමය නිර්මාණ රැසක් ද පවතී. මේවා ගද්‍ය පද්‍ය වෘත්තගන්ධී චම්පු ආදී විවිධ ආකෘතීන් භාවිත කර ඇත. සිංහල ගීත කෙත පෝෂණය කිරීමේ දී විවිධ අනුභූතීන් අනුව පරිකල්පනය හා ප්‍රාතිභානය ඇති පරිදි දළදා වහන්සේගේ විවිධ අවස්ථාවන් සහ භූමිකාවන් සහ සංකල්පමය ප්‍රතිනිර්මාණයන් අඩංගුව, ගීත නිර්මිතයන් රැසක් ඇතිවිය.
මෙම වස්තු විෂය සිංහල ගීතයේ ආරම්භය, විකාශනය සහ ප්‍රශස්ත බවට පත්වීමට ගුණාත්මක සහ ප්‍රමාණාත්මක අතින් ඍජුවම බලපා ඇත. ඇතැම් අවස්ථාවන් සම්ප්‍රදායික ආකල්ප හා විෂය ක්ෂේත්‍රය ඉක්මවා ප්‍රතිවිරෝධිත ආකල්පවලින් පිරිපුන් භෞතිකවාදී සංක්පයන්ගෙන් සමන්විත පඨිසෝතගාමී ලෙස උඩුගම් බලා ගිය ගීත රැසක් නිර්මාණය වී ඇත. වත්මන් සිංහල ගීතයේ පරාභවය දෙස බැලීමේ දී දළදා වහන්සේ තේමා කරගෙන නිර්මාණය වූ ප්‍රශස්ත වූ සිංහල ගීත පුනරුදය සහෘද රසිකයන්ගේ සම්භාවනාවට පත් වී ඇත.
එස්.එම්. සිරිවර්ධනමහවඡායාරූප – ශ්‍රි දළදා මාළිගාවේ වෙබ් අඩවියෙනි.












