සාහිත්‍ය කලා ආවර්ජනා සිංහල සුභාවිත ගීතයට සුවිශිෂ්ට සම්ප්‍රදානයන් එක් කළ යති පරපුරේ ප්‍රමුඛ යති ගී පතිඳුන් ලෙස වැඩ සිටි රඹුකන සිද්ධාර්ථ හිමියෝ දැන් නිවන්පුර පෙනෙන මානයේ වැඩ සිටිතියි මට සිතේ. බුදුන් වදාළ ධර්මය ගැඹුරින් විමසා බලන විට නිවන සාක්ෂාත් කර ගත හැකි වන්නේ කමටහන් වඩා රහත් ඵ…
සාහිත්‍ය කලා ආවර්ජනා
සිංහල සුභාවිත ගීතයට සුවිශිෂ්ට සම්ප්‍රදානයන් එක් කළ යති පරපුරේ ප්‍රමුඛ යති ගී පතිඳුන් ලෙස වැඩ සිටි රඹුකන සිද්ධාර්ථ හිමියෝ දැන් නිවන්පුර පෙනෙන මානයේ වැඩ සිටිතියි මට සිතේ. බුදුන් වදාළ ධර්මය ගැඹුරින් විමසා බලන විට නිවන සාක්ෂාත් කර ගත හැකි වන්නේ කමටහන් වඩා රහත් ඵලයට එළඹීමෙන් පසුවය. උන්වහන්සේ නිවන් පුරට නුදුරුව වැඩ සිටිතියි ලිව්වේද එහෙයිනි. ගතවූ සතියකටත් වැඩි කාලය මුළුල්ලේම රඹුකන හිමියන්ගේ ගීත මෙහෙවර තේමා කරගත් ලියුම් ද කියුම් ද බොහෝ විය. උන්වහන්සේ සිය සංසාර යාත්‍රාව දහම් අමා සයුරක් ඔස්සේ නිරුපද්‍රිතව පැදවීමට ඡන්ම වාසනා ගුණ ලද්දෝය. ඒ සංසාර යාත්‍රාවෙහි වැඩවසමින් අප්‍රමාණ බොදුනුවන්ට ද කිතුනු හා වෙනත් ආගමික සංස්කෘතික ප්‍රජාවන්ට ද බුදු මහිමයත් බුදු තෙද හා බුදු මගත් සිහිපත් කර දුන්හ. කාව්‍ය නාටක ගර්හිත විද්‍යාවකැයි පැනවූ නියමයක් තිබුණත් මෙරටේ හිමිවරු එය නොතකා බුදුගුණත් බුදුබණත් පහන් සංවේග දනවනා අයුරින් ලිවීමට ගැදි – පැදි දෙකම යොදා ගත්හ. අපේ හිමිවරු සාහිත්‍යයෙන් හා කලාවෙන් ඈත්කර තැබීමේ වුවමනාව කාගේ ද? කවුරුන් විසින් පනවන ලද නීතියක් ද යන්න පැහැදිලි නැත. එහෙත් බුදුන්වහන්සේ කිසිවිටෙක භික්ෂුව වනගතව හෝ අරණක වාසය කළ යුතු බවක් වදාළේ නැත.
බුදුන් වහන්සේ, රජවරුන්, සිටුවරුන්, මහාධනීන් පමණක් නොව කුලකතුන් හා ප්‍රභූ සමාජය ඇසුරු කළ අයුරු බෞද්ධ සාහිත්‍යයෙහි හමුවේ. එපමණක් නොව ගිහියන්නට ද අබිනික්මන් කරන ලෙස අනුශාසනා නොකළහ. ගිහි-පැවිදි දෙපාර්ශ්වයටම අදාළ ධර්මෝපදේශ වෙත වෙනම වදාළ බුදුහු එදා රාජ්‍ය පාලනයට පවා අනුශාසනා ලබා දුන්හ. ‘නච්ච ගීත වාදිත’ සීලය ගිහියන්ට ද සමාදන් විය හැකිය. බුද්ධ කාලීනව විසූ පබ්බන්ගිය භික්ෂුන්ගේ චර්යාව බුදුන් අනුමත කළේ නැත. මේ පම්බන්ගීහු ගිහියන් සමග නැටුම් ගැයුම් කළහ. එය භික්ෂු විනය නොතැකීමක් සේ වදාළ බුදුහු එය දුක්කට ගනයට අයත් වරදක් සේ නම් කළහ. මෙරටේ ප්‍රචලිතව තිබුණු නාඩගම් හා නූර්ති රසවිඳීමට භික්ෂුන් වහන්සේලාට තහනමක් නොවූයේ ඒවා බොහොමයක් බෞද්ධ තේමා අනුව නිර්මාණය වීම නිසාය. වෙස්සන්තර කතාව, විදුර ජාතකය ඇසුරෙන් නිර්මාණය වූ නාට්‍යයක් බැලීම වරදක් විය නොහැකි බව බෞද්ධ සමාජයම පිළිගනී. ශ්‍රී රාහුල හිමියන් ලියූ කාව්‍යශේඛරය රසවිඳීමෙන් සිල් බිඳිය නොහැකි බව එදාත් වටහා ගෙන තිබුණි.
සිංහලයේ අග්‍රගණයේ නිර්මාණයක් ලෙස ගැනෙන ගුත්තිලය මෙන්ම පොදු ජනයා හද පහන් කළ බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව ඇතුළු නිර්මාණ පෙළක්ම අපට හමුවේ. බෝසත් සිරිත ඇසුරෙන් ලියැවුණු කාව්‍ය රචනා ද වේ. වෙස්සන්තර හා සඳකිඳුරු වැනි ජාතක කතා පහන් සංවේග දනවන නිර්මාණ වේ. ඒවා ජනකවීන්ගේ යැයි පොදු පිළිගැනීමක් තිබුණත් ඒවාට යතිවරුන්ගේ දායකත්වයක් තිබිය හැකි බව ද සමහරු අනුමාන කරති. අනෙක් අතට අපට තිබෙන ප්‍රබලම සාහිත්‍ය අංගයක් වන කවිය බුදුබණ හා බුදුගුණ පැවසීමට වුව ද වඩාත්ම උචිතය.
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීත සමුච්චය ඉතා ජනප්‍රිය වූ හා පොදු ජනයා අතර ප්‍රිය වූ සදහම් ගඟුලක ලකුණු විශද කරවන්නක් බව නිසැකය. එහෙත් ඒ ගීතවල සහ තේමාවන්හි එන දාර්ශනික හා විමුක්තිකාමී ස්වරූපය වෙනම විමසා බැලිය යුත්තකි. මානව සබඳතා මෙන්ම සමාජ දේශපාලන කම්පනයේ යථාර්ථය ද මෙම ගීතවල ගැබ්වී තිබේ. ගීතය ශ්‍රවණ මාධුරය ගුණය ඉක්මවූ බුද්ධිමය නැතහොත් ප්‍රඥාන්විත ආමන්ත්‍රණයක් බව සිද්ධාර්ථ හිමියෝ මානව ්‍රපත්‍යක්ෂ කර ගෙන සිටියහ. උන්වහන්සේ තුළ වූ නිර්ප්‍රභූවාදී දෘෂ්ටිය, මානව සමානත්වය ඉතා උසස් තලයක දාර්ශනික නැඹුරුවකි. පොදු ජනතාවාදී සමාජ චින්තනයක් ඒ ගීතවල දැකගත හැකිය.
මහාචාර්ය සුනිල් ආරියරත්න හා විශාරද නන්දා මාලිනිය සුසංයෝගයෙන් බිහිවූ නිර්මාණ සමාජ අසාධාරණයට තුඩුදුන් වංක දේශපාලන ආධිපත්‍යයට ඍජුව අභියෝග කළහ. ඒ සමාජ විපත අනාවරණය කළ ‘පවන’ කෙතරම් විවාදාත්මක වුව ද එබඳු අහීත ප්‍රශ්න කිරීම් අගය කළ යුතුය. මේවා හුදු විරෝධාකල්ප ගී ලෙස හැඳින්වීම පමණක් නොසෑහේ. සම්මත වැඩවසම් ප්‍රභූ දේශපාලන ආධිපත්‍ය නිර්දය ලෙසම ප්‍රශ්න කළ ඔවුන්ගේ ගීත ජනතාව වැලඳ ගත් ආකාරය අපි දනිමු. ඔවුන්ගේ ඇතැම් ගීයක එන දැඩි කර්කශ වාග්මාලාව රඹුකන හිමියන්ගේ ගීතවල හමු නොවේ. එහෙත් ඒ ව්‍යාජ ප්‍රභූ පන්තියේ රැවටිලි ස්වරූපය උන්වහන්සේ මුදුව ප්‍රශ්න කරති.
අව්වට වැස්සට හුරු මිනිසුන්නේදෑතේ විරියෙනි රටවල් නැගුනේඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ
පොදු ජනයාට ඒ මැදුරුවල දොර නොඇරේ. එහෙත් ජනතාවගේ කරපිටින් බලයට යන ඔව්හු යසඉසුරු වළඳිති. ලෝක කම්කරු දිනය වෙනුවෙන් උන්වහන්සේ ලියූ මේ ගීතය අදටත් වලංගුය.
රටෙන් අඩක් බඩ ගින්නේරටෙන් අඩක් නෑ දන්නේඑයින් වැඩක් නෑ වෙන්නේඋන්ට මොළේ දීපන්නේ
වචීපරම දේශපාලනඥයන්ට ප්‍රඥාව දිය යුතු බව රඹුකන හිමියෝ අවධාරණය කරති
අසූවේ දසකයෙන් උඩුයටිකුරු වූ සංස්කෘතික ප්‍රවාහයට හසුවී දෙගොඩ තලා ගිය ගංවතුරක් සේ යහපත් සුපිළිපන් සමාජ වටිනාකම් වැනසී ගියේය.
කුස ගින්නට බත්පත නැතිදිළිඳු ගෙවල් ඉකිලන කොටසිදාදියේ අපි ඉඳගෙන ජෝගි නටනවාරටක් මෙහෙම යනකොට අපි මොකද කරනවා
බුදුන් වහන්සේ පතිරූප දේශයක් ගොඩ නැගීමට වුවමනා සමාජ දේශපාලන මැදිහත්වීම ඍජුව නොකළ බව ඇත්තය. එහෙත් උන්වහන්සේ බ්‍රාහ්මණ ආධිපත්‍යය, කුල පීඩනය, ස්ත්‍රී නිදහස වැනි සමාජ අර්බුදවලට තියුණු ආමන්ත්‍රණ සිදු කර ඇත. සමානාත්මතාව හා විමුක්තිය පිළිබඳ නව මානයකින් බැලීමට ඒ බුද්ධිමය ආලෝකය ඉවහල් විය. සුරාකෑමට, දුගී භාවයට හේතු පෙන්වූ සූත්‍ර බුදු සමයෙහි එයි. විමුක්තිය සඳහා සමාජ ප්‍රඥාව අවදි කළ යුතු බව රඹුකන හිමියෝ ගීතයෙන් යෝජනා කළහ. විද්‍යාලංකාර සම්ප්‍රදාය ලෙස හැඳින්වෙන දේශපාලන ධාරාවක් සමාජ ගත කළ වල්පොළ රාහුල, උඩකැන්දවල සිරි සරණංකර වැනි හිමිවරු ප්‍රසිද්ධියේ වාමාංශික දේශපාලනය අනුමත කළහ. එය භක්තිවාදය හා බුද්ධිවාදය ඉක්මවූ සමාජ කියැවීමක් විය.
පිහිටක් නැති සරණක් නැතිසතුටක් ඇති මුහුණක් නැතිමේ සසර දනව්වේඅපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවාබුදුහාමුදුරුවනේ
දුක හා අසරණකම දේශපාලන බලය සඳහා තක්කඩි ලෙස පරිහරණය වන බව රඹුකන හිමියෝ දකිති. සිනාව වියැකී ගිය ජනයා විඩාපත්ව සිටිති.
මළ බත වළඳා මළගෙට නොකියාමළගං යනවා අපේ සිරිත්ගොඩ ගනු හැකි වේමේ මගේ මව් රටවිරාදීන හිස් වැසුම් හළා
‘පරාදීන හිස් වැසුම්’ යන යෙදුම ඒ බොල් පිළිම බඳු සමාජ දේශපාලන පැලැන්තිය සංකේතවත් කරන්නකි. ඔව්හු පරාදීන මූග්ධ පන්තියකි. ජාතික අභිමානයක් ඔවුන්ට නැත. ඇත්ත වශයෙන්ම ඒ වනවිට සමාජ ආධිපත්‍යය නතු කරගත් බහුතරය ලුම්පන් යනුවෙන් හැඳින්විය හැකි අය යි. විවෘත ආර්ථිකයෙන් වළ ඉහගත් ඔව්හු සමාජය වෙළා ගත් සර්පයන් බඳු වෙති.
අපට උරුම සැප සම්පත්උදුරා ගෙන උන් පොහොසත්එහෙම වෙලා මහපාරටඅපි යන කොට උන් බෝසත්
උන්වහන්සේ සෞන්දර්ය සීමාවලට කොටු නොවී සමානාත්මතාවෙන් යුතු සමාජ පරිවර්තනයක අපේක්ෂාව දල්වයි. ධනවාදී පාරිභෙෘ්ගික සමාජය ධනය රැස් කරන්නේ යහපත් හෝ දැහැමි පිළිවෙත් අනුව නොවේ. ජනතාවට සමාජ විඥානයක් ලබාදීමට මේ ගීතවලින් සපයන ආලෝකය ඉමහත්ය. යථාර්ථවාදී සාහිත්‍යයෙහි විෂය විය යුත්තේ රජුන් ඇමැතියන් නොව පොදුජන ජීවිතයයි. මනුෂ්‍ය ජීවිතය වෙලාගත් අඳුර, කර්මය නොව සමාජ දේශපාලනයෙහි ප්‍රතිඵලයක් බව අපි දනිමු.
රඹුකන හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන චෝදනා පත්‍රය බරපතළය. සත්‍යය අඳුරේය. මනුෂ්‍යත්වය අනතුරේය. අරමුණක් නැති අර්ථයක් නැති ගමනකට රට යොමුව සිටියි.
බුදු බණ කිව්වත් නිරන්තරේබුදුබණ ඇසුවත් නිරන්තරේගති ගුණ අතින්අපි තවමත් වනන්තරේ
මේ අසූව, අනූව දසක වනවිට තිබුණු රටය. බුදු සසුන බැබලේවායි වෙසක් පොහෝ දිනයට ගෙයක් ගානේ ලියන වෙනත් දවස්වල හරක් මස් මඩුවට දක්කා ගෙන යන රැවටිලිකාර රටක් මේ තරමින්වත් ඉතිරිවී තිබීම ද විස්මය දනවයි. රඹුකන හිමියන් වීදාගම පරපුරේ හිමිවරුන් මෙන් සරලව බුදුගුණ පවසන ආකාරයට අගනා නිදසුන් ලෙස බොහෝ ගීත දැක්විය හැකිය. සාහිත්‍ය හා සෞන්දර්ය බුදු සමයට පටහැනි නොවේ. බුදුන් අබියස සිට පංචසිඛ ඔහුගේ බේලුවපණ්ඩු නමැති වීණාව වයමින් සූරියවච්චසාව පිළිබඳ සරාගී වැණුමක් කළ අයුරු අමාවතුරේ විසිතුරුව දැක්වේ. බුදු හිමියන් කිඹුල්වත් නුවරට වැඩමවා යෑමට පැමිණි කාලුදායි තෙරුන් විසින් මවන ලද අසිරිය ද අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙහි මැනවින් දැක්වේ. සිදුහත් හා යසෝදරා අතර වූ සසර බැඳීම කෙළෙස් මළ නිසා කිළිටි වූවක් නොව දීර්ඝ සංසාර සම්මුතියක් බව බොදු ජනතාව දනිති. ජාතක පොතෙහි එන කතා ගණනාවකම මේ සංසාර ඇසුර අපට හඳුනාගත හැකිය. ළා දළු බෝපත් ගීතය සම්භාව්‍ය සාහිත්‍යයෙහි එන කිඹුල්වත් නුවර සංචාරයෙහි සිදු වූ පුවත යළි කරුණා රස දනවන සෝක ගීයක් බවට පත් කළ දුලබ අවස්ථාවකි.
ළා දළු බෝපත්සෙමින් සැලෙන සේයසෝදරා දේවිවාවනු බැරි තැන රහසේ හැඬුවාසිටියා නොසැලෙන පහන් ටැඹක් සේ
යසෝදරාගේ කැපකිරිම්, දිරිදීම් පිළිබඳ බුදු මුවින් ගලා යන ප්‍රශංසාත්මක වදන් පූජාවලියෙහිද දැක්වේ. වෙස්සන්තර ජාතකයෙහි දරුවන් මෙන්ම දේවිය දන් දෙන බෝසත් සිය දාන පාරමිතාව මුදුන් පමුණුවා ගත් සංවේදී කතාව බෞද්ධයෝ දනිති. මද්‍රී දේවිය සමග සැසඳිය හැකි මාතාවක්, පතිනියක් විශ්ව සාහිත්‍යයෙහි හෝ අපට හමු නොවේ. විරාගය, ස්වාමි භක්තිය, දාරක ප්‍රේමය ආදි සියල්ල එක් තැන් වූ මාතාව යසෝදරා බුදු සසුනෙහි පැවිදි වී රහත් වන්නීය.
රඹුකන හිමියන්ගේ ගී මුතු හරෙහි එන සුවිශිෂ්ට ගීතයක් ලෙස පොදු ජනයා වැලඳගත් ගීතය ලෙස
බුදුහාමුදුරුවො අපිත් දකින්නැතිබණත් අහන්නැති ඒ කාලේනිවන් දකින්නට පින් මදි වෙන්නැතිඒකයි තවමත් සංසාරේ
මෙය අපේ උපාසිකාවන්ගේ හදට සමීප ගීතයකි. ඒ සරල වාග් මාලාවත්, වික්ටර් රත්නායකගේ මධුර ගායනයත් නිසාය. මේ සරල ගීතයෙන් ඉතා සියුම් ලෙස බුදුදහමේ එන පුනරුත්පත්තිය සිහිපත් කරන අයුරු කෙතරම් අගනේද? සසර දනව්වේ අපේ සක්මන දිගු එකකි. “පින් මදි වෙන්නැති” යන යෙදුම අතිශය සරල වුවත් එයින් නැගෙන ව්‍යංග්‍යාර්ථ බොහෝය. රඹුකන හිමියන්ගේ තේමාව සංසාරයයි. ඒ සංසාරයේ පවත්නා අන්තෝ ජටා බහි ජටා ස්වරූපය ඒ ගීතවල යටි පෙළ සේ දිවෙයි.
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීතයක් නොඇසූ ශ්‍රාවකයෙක්, රසිකයෙක් සිටිත් දැයි කිව නොහැක. ඒ තරමටම උන්වහන්සේගේ රූපකාය තුළින් නිර්මාණය වන්නේ ද ඒ ගීතයමය.
මේ සටහන උන්වහන්සේගේ ගීතාවලිය දෙස වෙනස් ආකාරයක කියවීමකි. මා දන්නා තරමින් මෙරටේ බෞද්ධ ගීතය හා සංස්කෘතිය අරභයා ගීතයෙන් අප්‍රමාණ බලපෑමක් කළ යතිවරයාණන් වහන්සේද රඹුකන සිද්ධාර්ථ හිමියෝ වෙති. සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමියන් මෙන්ම වීදාගම පරපුරේ කවියෙන් බුදුගුණ ලියූ හිමිවරුන්ගේ සාහිත්‍ය කලා සම්ප්‍රදානයට නව මුහුණුවරක් දීමට උන්වහන්සේ ගීතය භාවිත කළ ආකාරය ද විචාරක රසික දෙපාර්ශ්වයේම අවධානයට ලක්විය යුතුය.
ගාසු












