රන්මුතුදූව (Island of treasure) චිත්‍රපටය වූ කලී ශ්‍රී ලාංකික සිනමාවේ පළමු අංගසම්පූර්ණ වර්ණ චිත්‍රපටය වේ. මුහුද යට දර්ශන රැගත් පළමු සිංහල චිත්‍රපටය වූ ශ්‍රී ලාංකික සිනමා වංශ කථාවේ සංධිස්ථානයක් සනිටුහන් කරන අපූරු සිනමා නිර්මාණයක් ද වන්නේය. අහෝ… අවාසනාවක තරම මෙම මාහැඟි සිනමා නිර්ම…

රන්මුතුදූව (Island of treasure) චිත්‍රපටය වූ කලී ශ්‍රී ලාංකික සිනමාවේ පළමු අංගසම්පූර්ණ වර්ණ චිත්‍රපටය වේ. මුහුද යට දර්ශන රැගත් පළමු සිංහල චිත්‍රපටය වූ ශ්‍රී ලාංකික සිනමා වංශ කථාවේ සංධිස්ථානයක් සනිටුහන් කරන අපූරු සිනමා නිර්මාණයක් ද වන්නේය. අහෝ… අවාසනාවක තරම මෙම මාහැඟි සිනමා නිර්මාණය මේ වන විට මුළුමනින්ම විනාශ වී ගොසිනි. එබැවින් නූතන අපේ පරම්පරාවේ සාමාජිකයන්ට සේම මතු මෙරට බිහිවන පරම්පරාවල සාමාජිකයන්ට මෙම චිත්‍රපටය නැරඹීමට වාසනාව නැත්තේය.

යටකී කරුණු කාරණා මත හිඳ මෙම මාහැඟි සිනමා නිර්මාණය පිළිබඳව ශාස්ත්‍රීය විමර්ශනයක් කිරීමට මා අදහස් කළේ රන්මුතුදූව චිත්‍රපටය එදා කුළුඳුලේ නැරඹූ අපේ වැඩිහිටි පරම්පරාවේ ඇත්තන්ගේ මතකය යළිදු අලුත් කරගැනීමටත් නූතන අපේ පරම්පරාවේ සාමාජිකයන්ට දැනකියා ගැනීමටත් මතු මෙරට බිහිවන පරම්පරාවල සාමාජිකයන්ගේ ප්‍රයෝජනය පිණිසත් ය.

මෙරට සිනමාවේ පළමු මුහුදු යට දර්ශන

රන්මුතුදූව චිත්‍රපටයේ නාමාවලිය

නිෂ්පාදනය – සෙරන්ඩිබ් සමාගම වෙනුවෙන් ශේෂා පලිහක්කාර

අධ්‍යක්ෂණය – මයික් ජේ. විල්සන්

සහාය අධ්‍යක්ෂණය – තිස්ස ලියනසූරිය

කැමරාකරණය – මයික් ජේ. විල්සන්

සංස්කරණය – ටයිටස් ද සිල්වා (තොටවත්ත)

තිර රචනය – මයික් ජේ. විල්සන් (මෙය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ තිස්ස ලියනසූරිය විසිනි)

දෙබස් – කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

ගී පද මාලා – ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ (එනම් බුද්ධ දිවාකරයාණෝ, ගලන ගඟකි ජීවිතේ, පිපී පිපී රේණු නටන යනාදී ගීත)

සංගීතය – පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව

පසුබිම් ගායනා – පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව, නාරද දිසාසේකර, නන්දා මාලිනී

රංගන දායකත්වය –

ගාමිණී ෆොන්සේකා

ජෝ අබේවික්‍රම

ජීවරාණි කුරුකුලසූරිය

ෂේන් ගුණරත්න

රොඩ්නි ජොන්ක්ලාස්

ඇන්තනී සී. පෙරේරා

ඔස්ටින් අබේසේකර

තිලකසිරි ප්‍රනාන්දු

වින්සන් වාස්

ශේෂා පලිහක්කාර

ධාවන කාලය – විනාඩි 137 යි.

වර්ණය – ටෙක්නි කලර්

චිත්‍රපටයේ ප්‍රමාණය – 35 පප

බෙදාහැරීම – සෙරන්ඩිබ් සමාගම

තිරගත වීම – වර්ෂ 1962 අගෝස්තු 10 වෙනි දින

පළමු චිත්‍රපට ගැයුමට සරසවි සම්මාන ලැබූදා… (1962 රන්මුතුදූව)

රන්මුතුදූව චිත්‍රපටයේ ගීත

රන්මුතුදූව චිත්‍රපටය විශිෂ්ට ගණයේ ගීත 03 ක් (පදමාලාවෙන්, තනුවෙන් හා ගායනයෙන් පිරිපුන්) ඇතුළත්ය. එනම්, බුද්ධ දිවාකරයාණෝ, ගලනි ගඟකි ජීවිතේ, පිපී පිපී රේණු නටන යන එකී ගීත චන්ද්‍රරත්න මානවසිංහයන් (වර්ෂ 1913-1964) ගේ විශිෂ්ට කාව්‍යානුභූතහු ගේයපද රචනාවෙන් ද පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සප්තස්වරයෙන් කම්පනය වන මනමෝහනීය ගී තනුවලින් ද පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමදේවයන්, නාරද දිසාසේකරයන් හා නන්දා මාලිනියන්ගේ සුමධුර ගායනයෙන් ද පෝෂිතය. දශක ගණනාවක් තිස්සේ දනන් තුඩග රැව් පිළිරැව් දුන් මෙම ගීත සිංහල ගී සින්දු සාහිත්‍යයෙහි සරුසාර කාලපරිච්ඡේදයක් නියෝජනය කරන අතර, රසකාමී ගීත ශ්‍රාවකයන්ගේ සිත්සතන් අමෘත ධාරාවකින් මෙන් සනසාලන්නේය. එම ගීත පිළිවෙලින් මෙසේය.

බුද්ධ දිවාකරයාණෝපාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝවෙසක් පොහෝ දින දිනූ සේක ලොවබුද්ධ දිවාකරයාණෝ

සැනසෙමු පුද දී මුනි සිරි පාදේපිහිනමු පිහිනමු බුදු ගුණ මූදේ

සනසා මුළු ලොව නිවන් ලබාදීපුණ්‍ය මහෝදදි ශාන්ත සමාධිසනරාමර ගුරු ලෝක ශිවංකරබුද්ධ දිවාකරයාණෝ

මාර පරාජය කළ මුනිඳුන්ගේකරුණා සීතල මෙත් ධාරාගලා බසී තුන් ලෝ තලයේදුක් ගිමන් නිවා අම සෙත් සාදා

බුදු රැස් කැටි වී නැඟි ආලෝකේපිස යයි දුකඳුරු මුළු තුන් ලෝකේ

ගායනය – අමරදේව, නන්දා මාලිනී ඇතුළු පිරිසතනු නිර්මාණය – අමරදේව

ගලන ගඟකි ජීවිතේ

ගලන ගඟකි ජීවිතේදායාදූ ලෝකයේමිහිර පතා ආදරේළපලු නටයි ගං තෙරේ

වැලි තල කිති කවන නටනපෙම් රළ වැල ඉවුරු බදනමිහි තලයට සුවය දැනෙනඋකුළු තලය බඳු නැළැවෙන

පෙමට පෙම පුදාතුඩට තුඩු දිදීකුරුළු ගී නඟයිආදරේ බැඳීලා

ගායනය – නන්දා මාලිනී සහ නාරද දිසාසේකරතනු නිර්මාණය – අමරදේව

පිපී පිපී රේණු නටන

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලාවරෙන් වරෙන් හුළං පොදක් අපේ ඇඟෙත් ගෑවිලා

කාගෙත් කාගෙත් පිං පල දීලාකාටත් කාටත් දෙයියෝ දීලාපුංචි පහේ ඉල්ලමකුත් පෑදිලාඅසවු අසවු කොයි කාටත් රස පණිවිඩයක් කියාරෑන ගිරව් කුඹුරු උඩන් මල් මල් ගමනක් ගියාපිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලාවරෙන් වරෙන් හුළං පොදක් අපේ ඇඟෙත් ගෑවිලාදෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනාවඅපටත් දවසක හඳ පායනවාඑදා අපිත් මල් පැණියෙන් නානවාඅපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලාවරක ගහේ මී බැඳලා පැණි වරකා මෝරලාකොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලාහෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා

ගායනය – නාරද දිසාසේකර ඇතුළු පිරිසතනු නිර්මාණය – අමරදේව

‘රන්මුතුදූව’ දර්ශන තලයේ විවේකයක් මැද… ජීවරාණි කුරුකුලසූරිය, ජෙස්මින් පෙරේරා, ශේෂා පලිහක්කාර (නිෂ්පාදක), ඔස්ටින් අබේසේකර, ගාමිණී ෆොන්සේකා, සංගීත අධ්‍යක්ෂ අමරදේව, නාරද දිසාසේකර සහ නන්දා මාලනිය.

මෙහි බුද්ධදිවාකරයාණෝ නම් වූ මාහැඟි ගීතය වූ කලී අද්‍යතන සිංහල ගී සින්දු සාහිත්‍යයේ බුද්ධාලම්භන ප්‍රීතිය තිව්‍ර කරවන විශිෂ්ට ගණයේ ගේය පද රචනාවකි. එපමණක් ද නොව බුදු දහමෙහි භක්තිසම්පන්න හැඟීම් අප සිත්සතන් තුළ ජනිත කරවන මෙම මාහැඟි ගීතය පුරා දශක ගණනාවක් තිස්සේ මෙරට නිල නොලත් වෙසක් තේමා ගීතය ද වන්නේය. එබැවින් මෙම මාහැඟි ගීතය නොඇසෙන වෙසක් පුන් පොහෝ දිනක්, වෙසක් තොරණක්, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්, භක්ති ගීත ප්‍රසංගයක් හෝ දන්සැලක් මෙරට තුළ නොමැති තරම්ය.

(මවිසින් මෙම ගීත උපුටාගන්නා ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත මානවසිංහ ගීත ප්‍රබන්ධ – 1991 නම් වූ මාහැඟි කෘතියෙනි.)

රන්මුතුදූව චිත්‍රපටයේ කථා පුවත (සාරාංශගතව)

බන්දු නම් වූ තරුණයාගේ ගෙලෙහි බැඳි මාලයේ වූ රන් කාසියෙන් එක්තරා නිධානයක් පිළිබඳ රහසක් කියැවේ. මෙම රහස ඔස්සේ නිධානය සොයා ගෙන රන්මුතුදූවට යන තරුණයන් තිදෙනෙකි. එහිදී එම නිධානය ගොඩගැනීමට දරණ ප්‍රයත්නයේදී ඔවුන් මුහුණදෙන සිද්ධිදාමය ඇසුරු කරගනිමින් රන්මුතුදූව චිත්‍රපටය නිර්මාණය කර ඇත.

රන්මුතුදූව චිත්‍රපටයට බුදුදහමේ ආභාෂය හා හින්දු ආගමේ ආභාෂය එකසේ ලැබී ඇත. එයට කදිම උදාහරණයක් ලෙස චිත්‍රපටයේ ආරම්භයත් සමගම වෙසක් තොරණ් කීපයක් දර්ශනය වීම හා එයට පසුබිමින් බුද්ධදිවාකරයාණෝ නම් වූ ගීතය ප්‍රචාරය වීමත් නිධානය සොයාගෙන යන තරුණයන් තිදෙනාට හින්දු තාපසයෙකු හමුවීමත් පෙන්වාදිය හැකිය.

රොඩ්නි ජොන්ක්ලාස්, මයික් විල්සන්, ආතර් සී. ක්ලාක්

රන්මුතුදූව චිත්‍රපටය රූගත කිරීම

රන්මුතුදූව චිත්‍රපටයේ මුළුමනින්ම රූගත කරන ලද්දේ ත්‍රිකුණාමලය ඇතුළු නැඟෙනහිර පළාතේය.

රන්මුතුදූව චිත්‍රපටය වෙනුවෙන් දරණ ලද පිරිවැය

රන්මුතුදූව චිත්‍රපටය වෙනුවෙන් සෙරන්ඩිබ් සමාගම විසින් දරණ ලද මුළු මුදල දළ වශයෙන් රු. 250,000/= කට ආසන්න බව ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසූරිය මහතා කියයි.

රන්මුතුදූව චිත්‍රපටයේ වූ විශේෂතා

ශ්‍රී ලාංකික සිනමාවේ පළමු අංගසම්පූර්ණ වර්ණ චිත්‍රපටය වීම.

ශ්‍රී ලාංකික සිනමාවේ මුහුද යට දර්ශන රැගත් පළමු චිත්‍රපටය වීම.

යුරෝපීය ජාතිකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

යුරෝපීය ජාතිකයෙකු විසින් කැමරා අධ්‍යක්ෂණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

යුරෝපීය ජාතිකයෙකු විසින් තිර රචනය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

ලෝ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වූ ආචාර්ය ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය වීම.

නිධන් වස්තුවක් සොයා යන කථා පුවතක් ප්‍රධාන තේමාව කරගත් පළමු සිංහල චිත්‍රපටය වීම.

යොවුන් ප්‍රේමය යන කාරණාව ප්‍රධාන මාතෘකාවට අමතරව යොදන ලද බාහිර සැරසිල්ලක් වූ පළමු සිංහල චිත්‍රපටය වීම.

මෙරට මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ පළමු චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණය වීම.

නාරද දිසාසේකරයන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය වීම.

නන්දා මාලිනියන්ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය වීම.

හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක ආකෘතියට අනුව නිර්මාණය කරන ලද පළමු චිත්‍රපටය වීම.

ඒ වනවිට ලෝකයේ භාවිතා කරන ලද ඉහළම සිනමා තාක්ෂණය (එනම් හොලිවුඩ් සිනමාවේ පවා) යොදාගනිමින් නිර්මාණය කරන ලද පළමු සිංහල චිත්‍රපටය වීම.

රසායනාගාර කටයුතු එංගලන්තයේ සිදුකරන ලද පළමු චිත්‍රපටය වීම.

එතෙක් ලෝකයේ කුඩාම නිෂ්පාදන කණ්ඩායමක් විසින් නිපදවූ වර්ණ චිත්‍රපටය වීම. (මෙය අනුමාන කිරීමකි)

වර්ෂ 1964 දී ශ්‍රී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් පවත්වන ලද පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම ගීත රචකයා ලෙස චන්ද්‍රරත්න මානවසිංහයන් (එනම් බුද්ධදිවාකරයාණෝ නම් වූ ගීතය වෙනුවෙන්) සම්මානයට පාත්‍රවීම.

එම වසරේදීම හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස නාරද දිසාසේකරයාණන් සම්මානයට පාත්‍රවීම.

එම වසරේදීම හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස නන්දා මාලිනියන් සම්මානයට පාත්‍රවීම.

රන්මුතුදූව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයාණන් වූ ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසූරිය මහතා මෙසේ කියයි.

ගාමිණී ෆොන්සේකා සහ ජීවරාණී කුරුකුලසූරිය සමග.

රන්මුතුදූව නිෂ්පාදනය කිරීම පිළිබඳව මුල් අදහස උපන් හැටි ගැන එහි නිෂ්පාදක ශේෂා පලිහක්කාර මහතා සමඟ එක් වැහිබර අඳුරු සන්ධ්‍යාවක රාජගිරියේ කඳු ගැටයක් මත පිහිටි ප්‍රශාන්ත මැඳුරෙක දී අපි කථා කරමින් සිටියෙමු.

“දවසක් මගේ යහළුවෙක් මට හඳුන්වා දුන්නා මයික් විල්සන්. පසුව මයික් මට ආරාධනා කළා ඔහුගේ ‘බිනීක් ද සීස් ඔෆ් සිලෝන්’ නම් චිත්‍රපටය බලන්න. මුහුදුකරයේ ජීවිතය වගේ ම ලස්සන ජල අභ්‍යන්තර දර්ශන රැසකුත් එයට ඇතුළත් වුණා. ඒ වෙලාවේ මට කියවුණේ “මුහුද යට දර්ශන ටිකකුත්, ලංකාවේ ලස්සන තැන් කීපයකුත් පෙන්වන චිත්‍රපටයක් හදන්න ඇත්නම් කොච්චර හොඳද” කියලා විතරයි.

“ඊට පස්සේ අපි කථා කළා කොයි තරම් වියදමක් දරන්න වේද කියලා. අපිට පෙනුණා ලංකාවේ ප්‍රදර්ශනය කිරීමෙන් විතරක් නම් සම්පූර්ණ වර්ණ චිත්‍රපටයකට යන වියදම අපට සොයා ගන්න බැරි බව. ඊළඟට අපට ඕනෑ වුණේ පිට රටවල්වල පවා පෙන්වන්න පුළුවන් විදියේ වර්ණ චිත්‍රපටයක කථාවක්. එදයි අපි පටන් ගත්තේ රන්මුතුදූව.

“අවුරුදු දහයකට කිට්ටු කාලයක් ලංකාවේ ම ගත කර ඇති මයික් තුළ ලංකාව වගේම ඒ අවට මුහුද ගැනත් හොඳ දැනීමක් වගේම හොඳ පැහැදීමකුත් තිබුණා. සරල, එහෙත් රසවත්, චිත්‍රපට කථාවක් මයික් අතින් ම රචනය වුණා. ඊට පසුව අපි ඒ පිටපත එංගලන්තයට යැව්වා. එහි බෙදාහැරීම ගැන බලන්න. අපේ “රන්මුතුදූව” ගැන එතෙරින් උනන්දුවක් දැක්වූවායින් පසුව අපි සිනමාස් සමාගමේ ගුණරත්නම් මහතා සමඟ නිෂ්පාදනය ගැන කථා කළා.

රන්මුතුදූව නම් ප්‍රථම සිංහල වෛවර්ණ චිත්‍රපටයේ නිෂ්පාදනය ඇරඹුණේ එපරිද්දෙනි.

මුලින්ම චිත්‍රපට ගත කිරීමට උචිත පරිසරයක් සොයාගැනීම තරමක ප්‍රශ්නයක් විය. රටපුරා දින ගණන් ඇවිදීමෙන් පසුව “රන්මුතුදූව” ත්‍රිකුණාමලයේදී චිත්‍රපට ගත කිරීමට තීරණය විය.

ත්‍රිකුණාමලයේදී කීපදෙනෙක් ම ජර්මන් ජාතික ස්වාමිවරයෙක් වශයෙන් මයික් වරදවා හැඳින ගත්හ.

ඒ සමඟම ඔවුන්ගේ මුහුදේ මසුන් මැරීමට අපි ආ බවක් සිතමින් ත්‍රිකුණාමලයේ සමහරෙක් අපේ බෝට්ටුවට ඩයිනමයිට් දමන බවක් කියමින් තර්ජනය කළහ.

අපේ කණ්ඩායමට නවාතැන් ගැනීම පිණිස අලුත් ගෙවල් දෙකක් ලැබිණි. ඒ ගෙවල් දෙක සමඟම අපට නෑදෑයින් වශයෙන් රැයකට මාපිළුන් දෙතුන් දෙනෙක් ද පැමිණියහ.

චිත්‍රපට ගත කිරීමේ ප්‍රථම සතිය මහත් උනන්දුවකින් ගතව ගියේය. අපේ මුහුරත් දර්ශනය කෝණේශ්වරම් කෝවිලේදී ගනු ලැබිණ. “රන්මුතුදූව” වර්ණයෙන් චිත්‍ර ගත කිරීම එසේ ඇරඹූ ශිල්පීන් කණ්ඩායම මෙතෙක් ලෝක චිත්‍රපට ඉතිහාසයෙන් ම වර්ණ චිත්‍රපටයක් ඇරඹූ ඉතාම කුඩා කණ්ඩායම විය යුතුය.

කැමරා සහ ශබ්ද පටිගත කිරීමේ උපකරණ රැගත් පිරිසක් මුහුද මැද පුංචි බෝට්ටුවක. අපේ හිස්වලටත් උඩින් මුහුදු රැළ දැඩිව නැඟේ. බෝට්ටුවේ රඩරය මුහුදු දියට වැටේ. නැංගුරම දියට දැමේ. නමුත් ලණුව දිග මදි වීමේ හේතුවෙන් නැංගුරම මුහුදු පත්ලට නො වැදී බෝට්ටුව වියරුවෙන් මෙන් ඒ මේ අත පැද්දෙන්නට පටන් ගනී. මේ හදිය අතර ඇන්තනි සී. පෙරේරා දෙවියන්ට යාඥා කරන හඬ යන්තමින් අපට ඇසේ. හිරු රැස් පරාවර්තනයක් දෙකට කඩා රඩරයක් සෑදීමට මයික් උත්සාහ දරයි.

ළඟම තුබූ ජීවිතාරක්ෂක බඳ පටිය ගත් ජෝ අබේවික්‍රම විහිළුවක් කියන්න සැරසේ.

තමාට කිමිදුම් කට්ටලයක් ඇති නිසාම දෝ මේ කිසිම අතවරයක් ගාමිණී ෆොන්සේකාට නො දැනේ.

අනික් අය හැමෝම ගොළුවතක් රකිමින් මුහුද හා මොනම විදියකින්වත් සම්බන්ධ චිත්‍රපටයකට මින් මතු සහභාගි නොවීමට දැඩිව තීරණය කොට සිටියි.

එක් දිනක් මයික් මුහුදු යෑමට සූදානම් විය. ඔහු බෝට්ටුවට වුවමනා මෝටර් යන්ත්‍ර තුනක්ම එක් තැන් කර ගෙන සිටියේය. ඉන් එකක් අශ්ව බල 40 කද, තවෙකක් 25 කද, අනෙක අශ්ව බල 2 ක කුඩා “සෙල්ලම් මෝටරයක්” ද විය. මුහුද මැදදී මෝටරය නොම්මර 1 ක්‍රියා විරහිත විය. මයික් කී හැටියට නම් “කොයිල් එකේ සුළු වැරැද්දක්.”

මෝටරය නොම්මර 2 ක්‍රියාත්මක කළ නො හැකි විය.

අපි අපේ බියකරු ගමන අශ්වබල 2 තෙවෙනි මෝටරයෙන් ඇරඹිමු. නමුත් එවිට එහි ප්‍රොපෙලරයට මාළු දැලක් අසුවී පැටලී ඇති බව අපට පෙනුණා. කේන්ති ගිය මසුන් මරන්නෙක් මහා පුදුම (මුද්‍රණය කළ නොහැකි) භාෂාවකින් අපට කථා කළේය. මයික් කිමිද දැලේ පටවල් කපා හරියි. ඒ වනවිට ප්‍රොපලරය ඇතුළතින් හිරවී හමාර ය. අපි හබල් අතට ගෙන බෝට්ටුව පැදවීමු. මාටින් හබල් දෙකක්ම මුහුදට අත හරියි. අපි ඈත මුහුදු තීරයේ ගල්පර සහිත දූවකට පාවී ගියෙමු. මයික් මෝටර් අලුත්වැඩියා කිරීමට පටන් ගනී. ඒ දිනය ද ගත වී හමාරය.

අපි නවාතැන් ගෙන සිටි ගෙවල් දෙකින් එකකින් මාපිළුන් පන්නා හරින ලදී. ඒ සමඟම අපි ද එයින් පන්නා හරිනු ලැබුවෙමු. එහි නැවතීමට අපේ නිළියන් කීපදෙනා ද ඔවුන්ගේ ආරක්ෂකයන් ද පැමිණ සිටියහ. අපේ නිළියෝ කොහු ලණු කැබලිවලට පවා සැලකුවේ මාපිළුන්ට සලකන විදියටමය.

සමහර සැන්දෑවල අසල කැලෑවේ ශබ්ද ඉඳ හිට නො ඇසී ගියේ සවස් කල විවේකයෙන් ගත කොට ආපසු නවාතැනට එන අපේ තරුණයන්ගේ කථාබහිනි. (මේ අවදියේ ත්‍රිකුණාමලයේ රා මදින්නන් අතිශය ක්‍රියාශීලී භාවයක් පෙන්වමින් තම රැකියාවල නියැළී සිටි බව අපට දක්නට ලැබුණේ අප චිත්‍රපටයේ එන සුරා හලක දර්ශනය නිසා ම නොවේ.)

නිෂ්පාදකවරු කිසිම විරුද්ධතාවයක් නො දැක්වූහ. හොඳ විරේක බෙහෙතක් රා.

කවුරුත් පසුදා උදේ 4.30ට අවදි වූහ.

පසුවදා “එලිපන්ට් අයිලන්ඩ්” දූවට ගමනයි. හරි උෂ්ණ දවසක්. ඒ සමඟම ලොකු සව්කැඳ කළයක්. අනික් දිනවල මෙන්ම එදින ද දිවා භෝජනය අසුරා එවීමට අපේ කෝකියාට අමතක වී තිබිණ. හවස අපි නවාතැනට ආවේ බඩ ගින්නෙන් මෙන්ම, තරහින් ද යුතුවය. වියළි බිම් මල්වලින් චීන ආහාරයක් සෑදිය යුතු යයි මයික් තීරණය කරයි. වියළි බිම්මල් රාත්තලක් රුපියල් 35.00 ක් වේ. ඉන් බාගයකුත් එළවළු රැසකුත්, එකම හට්ටියකට ගන්නා මයික්, ඔහු සිතන අන්දමේ චීන වූ ආහාරයක් සාදයි. රාත්‍රි භෝජනයේදී කිසිවෙක් කිසිම පැමිණිල්ලක් නො දැක්වූහ. පසුවදා උදේ ද රාත්‍රි භෝජනය ගැන කිසිවෙකු කිසිම පැමිණිල්ලක් නො තිබිණ. (බාල්දියත්, ඉදලත් රැගෙන “එන්න අයියා ඉදි” කියමින් පැමිණි කසළ ශෝධකයාට හැර)

චීන ආහාරයක් අවශ්‍ය වූ විටෙක චීන බොජුන් හලකට යනවා මිස, තමා ම එය පිළයෙල නොකිරීමට ඉන්පසු මයික් දැඩි තීරණයක් ගත්තේය.

මෙවැනි ම සිදුවීම් රාශියක් මැද තැනුණු රන්මුතුදූව හිතුවාටත් වඩා ඉක්මනින් නිෂ්පාදනය හමාර කිරීමට නිෂ්පාදකයන්ට හැකිවූයේ කවුරුත් එකම සොහොයුරන් මෙන් දැරූ මහත් පරිශ්‍රමයත් දැක්වූ උනන්දුවත් නිසාම බව අවසන් වශයෙන් කිව යුතු වේ.

රන්මුතුදූව චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියාණන් වූ ප්‍රවීණ සිනමා හා රූපවාහිනිවේදී ටයිටස් තොටවත්ත මහතා මෙසේ කියයි.

“රන්මුතුදූව චිත්‍රපටය මං සංස්කරණය කළේ බටහිර ගොපළු චිත්‍රපටයක් සංස්කරණය කරල තියෙන විදිහට. මොකද ඒ චිත්‍රපටයේ හැම රූප රාමුවකම තියෙන්නේ තාරුණ්‍යයේ රිද්මය. අන්න එතනදි තමයි ඒ විදිහේ සංස්කරණ ශෛලියක් අවශ්‍ය වුණේ. (හඬකැවීම් අංශය – ජාතික රූපවාහිනි සංස්ථාව වර්ෂ 1998 – 03 – 12 වෙනි දින)

රන්මුතුදූව චිත්‍රපටය තුළින් චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණයට පිවිසි හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් මෙසේ තම මතකය අවදි කළේය.

“මගේ මතකයේ හැටියට ඒ 1960 අවුරුද්දේ අග භාගය වෙන්න ඕනෑ. දවසක් මා මිත්‍ර ශේෂා (එනම් ශේෂා පලිහක්කාරයන්) මාව හම්බවෙන්ට ගුවන්විදුලි සංස්ථාවට ඇවිල්ල තමයි මට රන්මුතුදූව චිත්‍රපටයේ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය කරන්ට කියල ආරාධනා කළේ. ඇත්තටම ඒ වෙනකොට මං චිත්‍රපට පසුබිම් ගායනයට (එනම් අශෝකමාලා – 1947 චිත්‍රපටයේ සිට) එකතුවෙලා හිටියත් චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණයට එකතුවෙලා හිටියේ නැහැ. සමහර විට ඒ මං අවුරුදු කීපයක් ශාන්ති නිකේතනයේ (එනම් විශ්ව භාරතීය සරසවියේ) අධ්‍යාපන කටයුතුවල නිරතවෙලා හිටිය හන්දා වෙන්න ඇති. ඒ කොයිහැටි වෙතත් මෙහිදී මං සෑම අතකින්ම උත්සාහ ගත්තේ අලුත් යමක් කරන්ට. ඒකට මට ශේෂාගෙන් ලැබිලා තිබුණ පූර්ණ නිදහස බොහෝ සෙයින් බලපෑව කියන්ට ඕනෑ.

රන්මුතුදූව චිත්‍රපටය තුළින් මෙරට චිත්‍රපට පසුබිම් ගායනයට පිවිස මෙරට අද්විතීය ගායිකාවක් වූ විශාරද නන්දා මාලිනියන් මෙසේ තම මතකය අවදි කළාය.

“රන්මුතුදූව චිත්‍රපටයේ පසුබිම් ගායනයට මාව තෝරාගන්න කොට මං කුඩා දැරිවියක්. මගේ මතකයේ හැටියට ඒ 1961 අවුරුද්දේ මුල් මාස වලදී වෙන්න ඕනෑ. ඒ වෙනකොට මං ගුවන්විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයේ ගීත ගායනා කරන කුඩා දැරිවියක්. ඔන්න ඔය අතරතුරදී තමයි අමරදේව ගුරුතුමා මගේ තිබුණ ගායන හැකියාව දැකල මාව රන්මුතුදූව චිත්‍රපටයේ පසුබිම් ගායනය සඳහා තෝරා ගත්තේ. මේ වග දැනගත් වේලේ මට පුදුම සතුටක් වගේ ම හරිම බයකුත් දැනුණා. මොකද මං කුඩා කාලයේ ඉඳලම හරිම ලැජ්ජාශීලියි. ඒ කොයිහැටි වෙතත් මගේ මතකයේ හැටියට රන්මුතුදූව චිත්‍රපටයේ ගීත ඔක්කොම පටිගත කළේ කොල්ලුපිටියේ තිබුණු මර්වින් රොද්‍රිගු මහත්තයාගේ ශබ්දාගාරයක. අපි දවස් කීපයක්ම පටිගත කිරීම්වලට සහභාගි වුණා කියලත් මට මතකයි. මෙහිදී මං ගීත දෙකක් ගායනා කළා. ඒ බුද්ධදිවාකරයාණෝ කියන ගීතය සමූහ ගායනයක් විදිහට අමරදේව ගුරුතුමන් සමඟත් ගලන ගඟකි ජීවිතේ කියන ගීතය යුග ගායනයක් විදිහට නාරද දිසාසේකරයන් සමඟත් මං ගායනා කළා. මේ ගීතවලට අමරදේව ගුරුතුමා යොදලා තිබුණු තනු නම් හරිම විශිෂ්ටයි ඒ වගේම මෙහිදී මට අමරදේව ගුරුතුමන්ගෙන් ලැබුණු ගුරුහරුකම් නම් මෙතෙකැයි කියා කියන්ට බෑ. 1964 අවුරුද්දේ මෙරට පැවැත්වූ පළමු වැනි සරසවිය සම්මාන උළෙලේදී සංගීත අංශය නියෝජනය කරපු සම්මානවලින් සම්මාන බොහොමයක් රන්මුතුදූව චිත්‍රපටයට හම්බ වුණා. ඒ කියන්නේ චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයා ඒ අවුරුද්දේ හොඳම ගීත රචකයා විදියටත් නාරද දිසාසේකරයන් එම අවුරුද්දේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා විදියටත් මට එම අවුරුද්දේ හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව විදියටත් සම්මාන හම්බ වුණා. මෙහිලා මාව චිත්‍රපට පසුබිම් ගායනයට හඳුන්වලා දුන්නු අමරදේව ගුරුතුමා ඉතා ආදරයෙන් සිහිපත් කරන්ට ඕනෑ.”

රන්මුතුදූව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය (එනම් බන්දු නම් වූ චරිතය) නිරූපණය කළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා (වර්ෂ 1936 – 2004) මෙසේ කියයි.

“රන්මුතුදූව චිත්‍රපටය තුළින් ශ්‍රී ලාංකික සිනමාවේ සැබෑ තාරුණ්‍යය නිරූපණය වීම මම එහි දකින විශේෂ ලක්ෂණයයි. (සෙනෙහසේ නවාතැන – ජාතික රූපවාහිනි සංස්ථාව – 2003)

රන්මුතුදූව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ මහා රංගවේදී ජෝ අබේවික්‍රම මහතා මෙසේ කියයි.

“රන්මුතුදූව චිත්‍රපටය තමයි මෙරට සැබෑ ජවසම්පන්න තාරුණ්‍යය හා හා පුරා කියල පෙන්නපු පළමු සිංහල චිත්‍රපටය. ඔය චිත්‍රපටයට සම්බන්ධ වෙනකොට අපිත් හොඳ ජවසම්පන්න තරුණයෝ. ඒ හන්දා අපිට චිත්‍රපටයේ කථා පුවත ඉල්ලා හිටිය ජවසම්පන්න තාරුණ්‍යය ඒ විදියටම ලබාදෙන්නට එතරම් වෙරවීර්යයක් දරන්ට සිද්ධ වුණේ නැහැ. මොකද අපිටත් ඕන කරල තිබ්බේ ඇඟට පතට දැනෙන්න අලුත් යමක් කරන්ට. අපි ඒක ඒ විදිහටම කළා කියල මට අද හිතෙනවා.”

(විශේෂ ප්‍රණාමය – අමිල රණසිංහ මහතාට)

● මහ දිසාවේ බංඩාර ඇටිපොළකලකට පෙර අප වෙත එවන ලද්දකි