ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය අද ට (26 වැනිදාට) යෙදී තිබේ. ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමාණෝ උපත ලැබූහ. සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේම…

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය අද ට (26 වැනිදාට) යෙදී තිබේ.

ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමාණෝ උපත ලැබූහ. සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ. මුහම්මද් නබි නායකතුමන් ක්‍රි.ව.570 දී සෞදි අරාබියේ මක්කා නගරයේදී උපත ලැබූ අතර එතුමෝ ක්‍රි.ව. 632 දී සෞදි අරාබියේ මදීනා නගරයේදී අභාවප්‍රාප්ත වූහ.

යුක්තිගරුක සහජීවන සමාජයක් බිහි කිරීමටඇවැසි මගපෙන්වීම නබි නායකතුමාගේ දර්ශනයෙන් ලැබෙනවා

මිලාද්-උන්-නබි සැමරුමට සුබ පතමින් ජනපති පවසයි

නීතියේ ආධිපත්‍යය රජයන, යුක්තිගරුක සහ සියලුදෙනාට සමානව සලකන රටක් සහ සහජීවන සමාජයක් බිහි කරලීමේ අපගේ අපේක්ෂාව යථාවක් කර ගැනීමට අවැසි මගපෙන්වීම නබිතුමන්ගේ දර්ශනයෙන් නොමඳව සැපයෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා…

අදට යෙදී ඇති මිලාද්-උන්-නබි සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටී. එය මෙසේය.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ ‘රබී අල්-අව්වල්’ මස උදාවෙත්ම, ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගය පෙරටු කර මහත් භක්ත්‍යාදරයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දින සැමරුම හෙවත් මිලාද්-උන්-නබි සැමරුම අදට (26) යෙදී තිබේ. සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීම පරමාර්ථ කරගත් මෙය, හුදු උත්සවයකට එහා ගිය ගැඹුරු ආධ්‍යාත්මික හැඩගැස්මක් අපේක්ෂා කෙරෙන සැමරුමකි.

අන්ධකාරයෙන් ආලෝකය වෙත කැඳවාගෙන යනු පිණිස, අසීමිත ඉවසීමේ සහ දයානුකම්පාවේ මාවත හෙළිපෙහෙළි කළ මුහම්මද් නබිතුමා, මනුෂ්‍ය වර්ගයා වෙත එදාමෙදාතුර පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙකි. වසර 23ක් පුරා උන්වහන්සේ අභිමුඛ වූ අනේකවිධ කම්කටොලු සහ සිදු කළ අසමසම පරිත්‍යාගවල පරමාර්ථය වූයේ සාමය, සහෝදරත්වය, පාරිශුද්ධභාවය, විශ්වසනීයත්වය සහ යුක්තිය රජයන යහපත් සමාජයක් ගොඩනැගීමයි.

ජාතිය, කුලය, වර්ණය හෝ වංශවත් බව මත මිනිසා මැනීම ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ, සමස්ත මානව සංහතියම එකම මූලයකින් පැවත එන බවත්, ශ්‍රේෂ්ඨත්වය මැනිය හැක්කේ සත්‍යවාදී බව, උපේක්ෂාව සහ කරුණාව වැනි උතුම් සාරධර්මවලින් පමණක් බවත් පසක් කළහ. සමාජයේ ඇති-නැති පරතරය දුරලමින්, පීඩිතයාටත් නිසි අයිතිවාසිකම් දිනා දෙමින් උන්වහන්සේ ගොඩනැගුවේ සමාජ සාධාරණත්වයේ සහ සමානාත්මතාවේ හර පදනමයි. නීතියේ ආධිපත්‍යය රජයන, යුක්තිගරුක සහ සියලුදෙනාට සමානව සලකන රටක් සහ සහජීවන සමාජයක් බිහි කරලීමේ අපගේ අපේක්ෂාව යථාවක් කර ගැනීමට අවැසි මගපෙන්වීම නබිතුමන්ගේ දර්ශනයෙන් නොමඳව සැපයේ.

මනුෂ්‍යයාගේ අභ්‍යන්තර පාරිශුද්ධත්වය මෙන්ම සමාජයේ ආචාරධාර්මිකභාවය කිළිටි කරන සියලු විෂයන් ඉස්ලාම් දහම විසින් බැහැර කරනු ලබයි. එබැවින් අප මාතෘභුමිය මත පිළිලයක්ව වැඩෙන විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව රජය විසින් දියත් කරන ලද ජාතික මෙහෙයුම වැනි සමාජයීය ආචාරධාර්මිකභාවය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළවලට නබිතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මගින් සැපයෙන්නේ මහඟු සවියකි.

බිඳුණු සිත් සුවපත් කරමින්, වෛරය වෙනුවට ප්‍රේමයත්, විරසකය වෙනුවට සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී, නබිතුමන් විසින් පෙන්වා දෙන ලද අසමසම පරිත්‍යාගයේ සහ මනුෂ්‍යත්වයේ ආලෝකය එමග බබළවන බව මාගේ දැඩි විශ්වාසයයි. ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජීවනාදර්ශය, කැපවීම සහ සද්-පරිශ්‍රමය සැබෑ ලෙස අරුත් ගන්වමින් ජීවන ගමන හැඩගන්වා ගැනීමට ඔබ සැමට ආරාධනා කරමි.

ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට අර්ථවත් මිලාද්-උන්-නබි උත්සවයක් වේවා!