අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල ඊයේ (25දා) අලුයම ජල සැපැයුම තාවකාලිකව අත්හිටුවීමට හේතුව බියගම, හෙයියන්තුඩුව, නයාගල ප්‍රදේශයේ ස්ථාපිත කර්මාන්තශාලාවකින් අවට පරිසරයට කාන්දු වූ රසායනික ද්‍රව්‍යයක් බවට හෙළිව ඇත. ලොව ප්‍රමුඛ පෙළේ ආරක්ෂිත උපකරණ නිෂ්පාදනය කරන ඔස්ටේ්‍රලියානු සමාගමක ශ්‍රී…
අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල ඊයේ (25දා) අලුයම ජල සැපැයුම තාවකාලිකව අත්හිටුවීමට හේතුව බියගම, හෙයියන්තුඩුව, නයාගල ප්‍රදේශයේ ස්ථාපිත කර්මාන්තශාලාවකින් අවට පරිසරයට කාන්දු වූ රසායනික ද්‍රව්‍යයක් බවට හෙළිව ඇත.
ලොව ප්‍රමුඛ පෙළේ ආරක්ෂිත උපකරණ නිෂ්පාදනය කරන ඔස්ටේ්‍රලියානු සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ කර්මාන්තශාලාවක මෙම කාන්දුවීම සිදුව තිබේ. එම උපකරණ වර්ණ ගැන්වීමට භාවිත කෙරෙන රසායනික ද්‍රව්‍යයක් මීට හේතු වී ඇත. මේ කර්මාන්තශාලාව අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරයට ඉහළින් ස්ථාපිත කර ඇත.
පෙරේදා (24දා) සවස සිට මෙම කාන්දුවීම සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ආරක්‍ෂක අංශ, සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු පානීය ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවදානම් තත්ත්වය පිළිබඳව සහතිකයක් ලබාගන්නා තෙක් අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරයන්හි ජල සැපැයුම එදින රාත්‍රි 11.30 ට පමණ තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය, බත්තරමුල්ල, කෝට්ටේ, වැල්ලවත්ත යන ප්‍රදේශවල ද ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම සහ කැලණිය යන ප්‍රදේශවල ද ජල සැපැයුම තාවකාලිකව අත්හිටුවා තිබිණි.
මේ හේතුවෙන් එකී ප්‍රදේශවල ජනතාව දැඩි අර්බුදයකට පත්ව සිටියහ. සිය දෛනික කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ බව ජල පාරිභෝගිකයෝ සඳහන් කරති.
කෙසේ වෙතත් රසායනාගාර පරීක්‍ෂාවේදී ජලයේ ප්‍රමිතිය සහතික කිරීමෙන් අනතුරුව උදෑසන 4.30 ට පමණ ජල සැපැයුම යථාවත් කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා ‘දිවයින’ ට කීවේය. එසේම මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද හෙතෙම කීවේය.
මෙම පුද්ගලික ආයතනය, පරිසරයට එක්වූ රසායනික ද්‍රව්‍යය ජලයට මුසුවීම වැළැක්වීමට කටයුතු කර ඇති බව ද මෙම රසායනිකය විෂ රහිත එකක් බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඊයේ (25දා) ‘දිවයින’ට පැවැසීය.
මෙම ස්ථානය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එම නිලධාරීන් රසායනික ද්‍රව්‍යයේ සාම්පල ලබාගෙන පරීක්‍ෂණ සඳහා යොමුකර ඇත. මෙම රසායන ද්‍රව්‍යය ගබඩා කර තැබීම සඳහා අවසර ගෙන තිබේ දැයි පරීක්‍ෂා කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අංශ සඳහන් කරයි.
මෙම ජල සැපැයුම යථාවත් කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහාය හිමිවූ බව පානීය ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා කියා සිටියේය.සිරිමන්ත රත්නසේකර












