බන්ධනාගාර නිලධාරීන් 13 කගේ – නළු නිළියන් ඇතුළුදේශපාලනඥයන් 7කගේ පැටිකිරිය හෙළි කරයිඇමතුම් 8441ක් – ඡායාරූප තුන් ලක්ෂයක්වීඩියෝ දර්ශන 5031ක් – පටිගත කළ ඇමතුම් 1101 ක්රතු වරෙන්තු අපරාධකරුවන් 19ක් සමග සබඳතා පවත්වලා – සීඅයිඩී ය උසාවිය හමුවේ කියයිකොහේ දැම්මත් කමක් නෑ වැලිසරට නම් එපාසැක…

බන්ධනාගාර නිලධාරීන් 13 කගේ – නළු නිළියන් ඇතුළුදේශපාලනඥයන් 7කගේ පැටිකිරිය හෙළි කරයිඇමතුම් 8441ක් – ඡායාරූප තුන් ලක්ෂයක්වීඩියෝ දර්ශන 5031ක් – පටිගත කළ ඇමතුම් 1101 ක්රතු වරෙන්තු අපරාධකරුවන් 19ක් සමග සබඳතා පවත්වලා – සීඅයිඩී ය උසාවිය හමුවේ කියයිකොහේ දැම්මත් කමක් නෑ වැලිසරට නම් එපාසැකකරුගේ නීතිඥ ඉල්ලයිරැඳවුම් භාරයෙන් පද්මේ රිමාන්ඩ් භාරයටත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයේ තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනකුගේ දුරකථන අංක සහ නිරූපණ ශිල්පීන් මෙන්ම දේශපාලනඥයන් 7 දෙනකුගේ ඡායාරූප සොයා ගැනීමට හැකි වූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කියා සිටියේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි කෙහෙල්බද්දර පද්මේ ඊයේ (25දා) අධිකරණයට ඉදිරිපත් කරමිනි. සැකකරු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබීය. දැඩි ආරක්‍ෂාව යටතේ සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටියේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු පවසා සිටියහ. ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව 18 වන සැකකරු ලෙස මොහු නම් කර ඇති බවත් එම නඩුව නැවත කැඳවන ලබන 4 වැනිදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සැකකරු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන 2025/8/31 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගෙන ඒමෙන් පසු ඊයේ දක්වා රැඳවුම් නියෝග මත තබා සිටි බවත් රැඳවුම් කාල සීමාව අවසන් බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු මෙලෙස පැවසුහ.

“ස්වාමීනි, මෙම සැකකරු අත්අඩංගුවට ගන්නේ ජාත්‍යන්තරව නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුවයි. ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යවරයාගේ නියෝග මත රැඳවුම් නියෝග අද දක්වා විටින් විට ලබා ගත්තා. එහිදී කරන ලද විමර්ශනවලදී සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තා. එහි දත්ත සියල්ල මකා දමා තිබුණා. නමුත් එම දත්ත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශ විසින් ප්‍රති උත්පාදනය කළා. ඒ අනුව කරන ලද විමර්ශනවලදී දුරකථන ඇමතුම් 8441ක් ලබාගෙන තිබුණා. තුන් ලක්ෂයක පමණ ඡායාරූප, 5031 ක වීඩියෝ දර්ශන සහ පටිගත කරන ලද දුරකථන ඇමතුම් 1101 ක් සොයා ගැනීමට හැකි වුණා.

තවද මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනකු පිළිබඳ තොරතුරු ඔහුගේ ජංගම දුරකථනයෙන් සොයා ගැනීමට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කළා. එම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසිදෙනාට වෙන වෙනම ගිණුම් 20ක් විවෘත කරලා. ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් සිදු කරනවා. තවද මෙම සැකකරු ඉන්දුනීසියාවේ නැවතී සිටි ස්ථානයේ ලේඛන 13ක් සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරුගේ ජංගම දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනකුගේ අංක සොයා ගත්තා. තවද නිරූපණ ශිල්පීන් ඇතුළු දේශපාලනඥයන් 7 දෙනකුගේ ඡායාරූප සොයා ගත්තා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වනවා. ඒ ගැන සැකකරුගෙන් ප්‍රකාශ ද සටහන් කළා. තවද දිවයිනේ විවිධ ප්‍රදේශවල බැංකු ්ඔඵ යන්ත්‍ර මගින් බැර කරන ලද ස්ලිප් රාශියක් සොයා ගැනීමට හැකි වුණා. සැකකරුගේ බැංකු ගිණුම් 17ක් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරනවා.

තවද රතු වරෙන්තු නිකුත් කර සිටින අපරාධකරුවන් 19ක් සමග මොහු සබඳතා පවත්වලා. ඒ සම්බන්ධයෙන් ජංගම දුරකථනයේ දත්ත වාර්තා වුණා. සැකකරු විදෙස්ගත වෙලා නීත්‍යනුකූල විදිහට පසුව ව්‍යාජ වීසා හදලා රටවල් 13 කට අවස්ථා 15කදී ගිහින්. මෙම සැකකරු ගිනිඅවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද විවිධ අධිකරණවල නඩු දක්නට ලැබෙනවා.”

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.

“ස්වාමීනි ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු 18 වැනි සැකකරු ලෙස නම් කර තිබෙනවා. ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවන අවස්ථාවලදී මෙම සැකකරු අධිකරණය ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. තවද එම සිද්ධියට අදාළව මෙම සැකකරු අත්‍යවශ්‍ය සැකකරුවකු වන බැවින් නිසි ආරක්‍ෂාව සහිත බන්ධනාගාරයකට සැකකරු යොමු කරන ලෙසද ඉල්ලා සිටිනවා.

තවද සැකකරු කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍යවරයා ලිඛිතව දන්වා ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

තම සේවාදායකයාට බන්ධනාගාරය තුළ නිසි ආරක්ෂාව සලසා දීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඉල්ලා සිටියේය. තවද තම සේවාදායකයා වැලිසර බන්ධනාගාරයට නොදමා වෙනත් ඕනෑම බන්ධනාගාරයකට යොමු කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුට බන්ධනාගාරය තුළ නිසි ආරක්‍ෂාව සලසා දෙන ලෙසත් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා වගකිව යුතු බවත් දැනුම් දුන්නේය. එලෙසම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුට එරෙහිව තිබෙන වැරදි සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළ අතර සැකකරු ලබන 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.ඒ.ජේ.ඒ. අබේනායක

කෙහෙල්බද්දර පද්මේ ඊයේ උසාවියට රැගෙනවිත්